BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON
ලෝහිත සඳ - 03


පසුදා නගරයේ දුරකතන අලුත්වැඩියා කරන ස්ථානයකට මගේ ජංගම දුරකතනය ලබා දුන් මා අවන්හලකට ගොඩ වී කෝපි කෝප්පයක් තොල ගාන්නට වීමි.

“ඊයෙත් තරුණ ගෑණු ළමයෙක් අතුරුදහන් වෙලා නේද ?” අවන්හලේ කොණක රැස්ව සිටි මිනිසුන් කිහිප දෙනෙක් අතරට ආ මැදිවියේ යැයි කිව හැකි පෙනුමකින් යුත් මිනිසෙක් කීවේය. මගේ අවධානය ඉබේට ම ඔවුන් වෙත යොමු විය.

“ඔව්... මේ මාසේ ඇතුළත අතුරුදහන් වුන දෙවෙනි ගෑණු ළමයා... කලින් මාසෙත් එක්කෙනෙක් නැති වුනා.” වෙනකෙක් කීවේය.

“ඇයි පොලීසියට තවමත් බැරි වුණේ හෝඩුවාවක් හොයාගන්න ?” තවත් එකෙකු තරහෙන් ඇසුවේය.

“මම නම් කියන්නේ මේක මානසික ලෙඩෙකුගේ වැඩක්. ඌ එක්කෝ ඒ ළමයින්ව තමන්ගේ පහත් ආශාවන් වෙනුවෙන් අරගෙන යනවා. නැත්නම් ඌ විනෝදයට කෙල්ලන්ව මරන එකෙක්....” තවකෙකු තම මතය ඉදිරිපත් කළේය. එය අසා මගේ ඇඟේ රෝම කෙළින් වනු මට දැනිණි.

“පොලීසිය මේ ගැන හරියට හොයලා බලන්නේ නැත්නම් ඊ ළඟ වතාවේ අපි බහිමු වැඬේට....”

“ඊ ළඟ වතාවේ ?”

“ඔව් ඊ ළඟ වතාවේ... මොකද මේ කෙල්ලන්ව අරගෙන යන එකා කවුරු වුනත් දිගටම මේ වැඬේ කරනවා...”

මිනිසුන්ගේ කතාබහ අසමින්ම මම කවුන්ටරයට මුදල් ගෙවා දැමුවෙමි.

“නැති වුන ගෑණු ළමයින්ගෙන් දෙන්නෙක් ම නැති වෙන්න දවස් කීපයකට කලින් අවේලාවන් වල පාලු කැලෑ පාරේ ගැවසෙනවා කීපදෙනෙක් දැකලා තියෙනවා....” මා එළියට බසිනවිට ම මට ඔවුන්ගේ කතාබහෙන් ඇසුණ අවසන් කොටස එය විය. එය ඇසුණු විගස මගේ සියොලඟ වෙවුලා ගියේය.

එදින රාත්රියේ බෲනෝ මිදුලේ සිට එක දිගට බුරන්නට වූ බැවින් අසල්වැසියන් මට චෝදනා කළහ. මා බෲනෝ නිවස තුළට ගෙන දොර වසා දැමුවෙමි. එහෙත් ඌ බිම දිගාවී දොර දෙස බලමින් ගොරවන්නට විය.

“බෲනෝ... ඔයා කාටද ගොරවන්නේ..?” දොරේ වූ කුඩා විවරයෙන් හා ජනේලවලින් පිටත පිරික්සා බලන අතරතුර මා කීවෙමි. පිටත කිසිවෙක් සිටියේ නැත. එහෙත් එදින රාත්රිය පුරාවටම බෲනෝ නිවස තුළ සිට වරින් වර බුරමින් සහ ගොරවමින් මගේ නින්දට බාධා කළේය.

පසුදින ප්රමාද වී අවදි වූ මා ස්නානය කර නගරයට යන්නට සූදානම් වූයෙමි. පසුම්බියේ තිබූ සුලු මුදල අතට ගත් මා ඒ දෙස බලාගෙන මඳ වේලාවක් කල්පනා කළෙමි.

“අලුත් ජොබ් එකක් හොයාගන්න වෙනවා....” මා සුසුමක් හෙළමින් කීවෙමි. බෲනෝගේ හැලහොල්මනක් නොවූයෙන් මා ඌ දෙස බැලුවෙමි. බලු පැටවා තද නින්දේ පසුවන බව දුටු මා තනිවම සිනාසුනෙමි. ඌ මුලු රාත්රිය ම නිදිවර්ජිතව ගෙවා ඇති බවට එය කදිම සාක්ෂියකි. බෲනෝගේ පිඟානට විස්කෝතු සහ කිරි දැමූ මා එය ඌ අසළින් තැබුවේ අවදි වූ පසු කන්නට ය. ඉන්පසු නිහඬව ම නිවසින් පිටතට බැස්සෙමි.

මුද්රණාලයක් ඉදිරිපිට නතර වූ මා එහි අයිතිකරු මුණගෑසුනෙමි.

“මට හොඳට ටයිප්සෙටින් පුළුවන්....” මා ඉදිරිපිට සිටින තලතුනා මිනිසා දෙස බලා මා කීවෙමි. මට මෙහි රැකියාව ලැබුණහොත් මගේ ප්රධානියා වන්නේ මොහුය.

“දැනට අපිට ටයිප්සෙටින් කරන්න ගෑණු ළමයෙක් ඉන්නවා. අවශ්ය වුනොත් කතා කරන්න මට ඔය ළමයාගේ දුරකතන අංකයක් දීලා යන්න...” ඔහු කී දේ මගේ බලාපොරොත්තු සුන් කළේය.

“හොඳයි...” මම මලානික හඬින් කීවෙමි. මම ඔහුට දුරකතන අංකය ලබා දී එතනින් පිටව ගියෙමි.

“වෙළඳ සේවිකාවන් අවශ්ය කර තිබේ...” සුපුරුදු අවන්හලට ගොඩ වී කෝපි කෝප්පයක් තොල ගාන අතරතුර එහි වූ පුවරුවක එසේ සටහන් කර තිබෙනු මගේ ඇස ගැටිණි. මා වහා කෝපි කෝප්පය බී අවසන් කර එහි වූ කවුන්ටරය අසළට ගියෙමි.

“පළවෙනි මාස තුනේ නම් ලොකු වැටුපක් අපි දෙන්නේ නෑ. ඒත් උදේ, දවල්, රෑ තුන්වේලට ම අපි කෑම දෙනවා. අවශ්ය නම් නවාතැන් පහසුකම් තියෙනවා...” මා ඇබෑර්තුව පිළිබඳව විමසූ විට අවන්හලේ අයිතිකරු කීවේය.

“නවාතැන් අවශ්ය නෑ. මට උදේ හවස යන්න එන්න පුලුවන්...” මා කීවෙමි.

“හවස ? ඔයා වැඩට එනවා නම් ඔයාට රෑ වෙනකල් වැඩ කරන්න වෙනවා...”

“රෑ වෙනකල් ?” මම වික්ෂිප්තව කීවෙමි.

“ඔව්... රෑ අට වෙනකල්....”

“අහ්...” මම දෙගිඩියාවෙන් කල්පනා කළෙමි.

“ඔයා වැඩට එනවා නම්, හෙට උදේ අට වෙද්දි මෙතන ඉන්න...” ඔහු කීවේය.

“හොඳයි... මම කල්පනා කරලා බලන්නම්...” මම එසේ කියා එතනින් පිටව ගියේ කල්පනාභරිත හදවතිනි. පසුගිය කාලයේ සිදු වූ දේවල් ගැන සිතා බලන විට රාත්රියේ තනිවම පාරේ යෑම අනාරක්ෂිතය. මා වෙනත් රැකියාවක් සොයාගත යුතුය.

අලුත්වැඩියා කරන ලද දුරකතනය මුදල් ගෙවා ලබාගත් පසු අතේ ඉතිරි වූ සුලු මුදලින් කිරි පැකට්ටුවක් හා එළවලු දෙක තුනකුත්, බෲනෝ වෙනුවෙන් විස්කෝතු පැකට් එකකුත් මිලට ගතිමි. මුදල් ගෙවන කවුන්ටරය අසළ තිබූ බල්ලන් සඳහා සකස් කළ ආහාර පැකට් දෙස මා බලා සිටියේ කණගාටුවෙනි. බෲනෝ වෙනුවෙන් ඉන් එකක් මිලදී ගැනීමට හැකියාවක් මට නොතිබිණි.

“ඌ ලයන් ෂෙපඞ් වර්ගයේ බල්ලෙක්. වයස මාස තුනයි. මට තවදුරටත් ඌව බලාගන්න පුළුවන්කමක් නෑ. ඌ දැනටමත් දුර්වලයි...” මා බල්ලන් සුරකින මධ්යස්ථානයකට කතා කර කීවෙමි.

“හොඳයි.. ලිපිනය ලබා දෙන්න. අපි හෙට ම එන්නම්....” ඔවුන් පැවසූහ. මා ලිපිනය ලබා දී කිරි සහ විස්කෝතු කමින් සිටින බෲනෝ දෙස බැලුවෙමි. මා ඌ ඉදිරිපිට වාඩි වී කඳුලු පිරි දෑසින් බලා සිටියේ මේ මා බෲනෝ සමඟ ගෙවන අවසන් රාත්රිය බැව් දුකෙන් සිහි කරමිනි.

“අන්තිමට මට ඔයාවත් නැති වෙනවා....” මා දුකෙන් කීවෙමි.

බෲනෝ එදින රාත්රියේත් බුරන්නට වූ බැවින් මා ඌ මගේ කාමරයට රැගෙන ගියෙමි.

“ඔයා නිදාගන්න ඕනා පැටියෝ. ඔයාට හෙට දුර ගමනක් යන්න තියෙනවා...” මා බෲනෝ ඇඳ මතට ගනිමින් කීවෙමි. එහෙත් ඌ තවමත් නොසන්සුන්ය. මා බෲනෝ ලයට තුරුලු කරගතිමි.

“ඔයාට එහෙදි හොඳ කෑම ලැබෙයි. ඔයාව බලාගන්න හොඳ අයිතිකාරයෙක් ලැබෙයි...” මා එසේ පවසනවාත් සමඟම මට නැවත හැඬුම් ආවේය.

“මාව අමතක කරන්න එපා. කවදාවත් ම එපා...” මා බෲනෝගේ සිනිඳු මවිල් අතර මුහුණ තබාගෙන හැඬුවෙමි. බෲනෝ මඳ වේලාවකින් සන්සුන් විය. මටත් නොදැනීම නින්ද ගොස් තිබිණි. එක්වර ම මා තිගැස්සී අවදි වූයේ බෲනෝ බුරන හඬිනි.

“බෲනෝ...” මා නිදිමතේ අපහසුවෙන් ඇඳ මත වාඩි වූයෙමි. බලු පැටවා එක දිගටම මගේ කාමරයේ ජනේලය දෙසට බුරමින් සිටී. එය දුටු මගේ හදගැස්ම මඳක් වැඩි විය. මා හෙමින් ජනේලය අසළට ගොස් එහි වූ තිර රෙද්ද මෑත් කළෙමි. ජනේල වීදුරුවේ මීදුම් පටලයක් වැනි යමක් බැඳී තිබූ අතර මා පුදුමයෙන් වීදුරව මත ඇඟිලි තුඩුවලින් අතගා බැලුවෙමි. එය ඇත්තේ පිටතින් බව මා තේරුම් ගත්ත ද ජනේලය විවර කිරීමට තරම් මා නිර්භීත නොවූයෙමි. එක්වර ම එය සුලඟට පාව යන්නාක් මෙන් ඉවත්ව යන විට මා තිගැස්සුනෙමි. මා අඩි දෙකක් පමණ පසුපසට වී පුදුමයෙන් සහ බියෙන් පපුවට අත තබා ගතිමි.

රාත්රියේ ඉතිරි කාලය මා ගෙවා දැමූයේ නිදිවර්ජිතවය. බෲනෝව උදෑසනින් ම නහවා මම ද ස්නානය කර බෲනෝට කිරි සහ විස්කෝතු ලබා දුනිමි.

“ඔයාට මේවා කන්න වෙන්නේ අද විතරයි...” මම බලුපැටවාගේ සිනිඳු මවිල් අතගාමින් ඌ අසලට ම වී සිටියෙමි.

මධ්යහ්නය උදාවෙන්නට ප්රථම බෲනෝව රැගෙන යන්නට බල්ලන් සුරැකීමේ මධ්යස්ථානයේ කීප දෙනෙකු පැමිණියහ. බෲනෝ ඔවුන්ට බුරන්නට විය. මට දැනුණේ මගේ හදවත කඩාවැටෙන්නට ආසන්න බවකි. මම බෲනෝව රැගෙන පපුවට තුරුලු කරගතිමි.

“මිස් ලෞරා....” කරුණාවන්ත පෙනුමකින් යුත් ස්ත්රියක් පැමිණ ඇසුවාය.

“ඔව්...” මා බිඳුණු හඬින් කීවෙමි.

“මෙයා ගැන ද කිව්වේ ?” ඇය මගේ අවසරයකින් තොරව ම බෲනෝව මගේ අතින් ගන්නා විට මා අසරණව බලා සිටියෙමි.

“ඔයා කිව්වා හරි... එයාගේ බර හොඳට ම අඩුයි. මාස තුනට වර්ධනය වෙලා තියෙනවාත් අඩුයි...” ඇය තම සඟයන් සමඟ එක්ව බෲනෝව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කීවාය.

“හ්ම්...” මා හැඬුම් වාවාගන්නට යත්න දැරුවෙමි.

“ඔයාට දුක බව තේරෙනවා. ඒත් එයාට මීට වඩා ගොඩක් හොඳ තැනක් ලැබෙයි. ඒ ගැන හිතලා සතුටු වෙන්න...” ස්ත්රිය කණගාටුවෙන් මගේ පිටට තට්ටු කර කීවාය. බෲනෝව කූඩුවකට දමා ඔවුන්ගේ වාහනයට දමාගන්නා විට මට තව එක් වතාවක් උගේ සිනිඳු මවිල් අතගාන්නට, උගේ හිස සිපගන්නට දැඩි උවමනාවක් ඇති විය. බෲනෝ වික්ෂිප්තව කූඩුවේ එහා මෙහා යමින් මා වෙතට එන්නට උත්සා හදරන විට මට එය බලා සිටිය නොහැකි විය.

“මට... මට පුලුවන්ද ටිකක්....” මා අසන්නට ගියේ බලු පැටවාගෙන් තව වතාවක් සමුගන්න අවසර ලැබේද යන්නයි.

“මේක තියාගන්න...” මා අසන්නට ගිය දේ නොතැකූ ස්ත්රිය එක්වරම මා වෙත මුදලක් දිගු කර කීවාය. මා විශ්මයට පත් වූයෙමි.

“මට එපා... ස්තූතියි...” මා එය ප්රතික්ෂේප කරමින් යළි බෲනෝ දෙස බලන විටම එහි දොර වසා දැමිණි.

“අනේ...” මට කියවිණි.

“මේක ගන්න. මේක ඔයා ලැබිය යුතුමයි. අපිට පුලුවන් ඔයාගේ බලු පැටියාව මේ වගේ දෙගුණයක මුදලකට විකුණන්න...” ස්ත්රිය මුදල මා අත මිට මොලවා කීවාය. ඇය වාහනයට ගොස් නගින විට මා අත තිබූ මුදල් බිම අතහැරී ගියේය. බෲනෝ කෑගසන හඬ ඇසෙන විට මා කළේ වරදක්යැයි මගේ සිත කෑ ගසා කියන්නට විය. එහෙත් දැන් මා ප්රමාදය. වාහනය වේගයෙන් පිටව යන විට මා දෙපා පණ නැතිව බිම වාඩි වූයෙමි.

“බෲනෝ...” මා මිමිණුවෙමි. මගේ නෙත්වලින් නොනවත්වා කඳුලු ගලාගෙන යන්නට විය.
(04වන කොටසින් හමුවෙමු.)
-----------------------------------------------
@උපුටා ගැනීම තහනම්...
දිල්හාරා සන්දීපනී.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02