BLOOD MOON - ලෝහිත සඳ - 01
BLOOD MOON
ලෝහිත සඳ - 01
ලෝහිත සඳ - 01
©උපුටා ගැනීම තහනම්..
මට ආදරය කිරීමේ අවැසිතාවයක් නොතිබිණි. වසර කීපයකට පෙර මා ආදරය කිරීමට, ආදරය ලැබීමට ආශාවෙන් බලා සිටි නමුත්, තවදුරටත් මට ඒ වෙනුවෙන් ආශාවක් නොමැත. පළමු ප්රේමවන්තයා මාගේ හදවතේ ආදරය මුලුමනින් ම උදුරාගෙන හදිසියේ ම සාධාරණ හේතුවක් නොමැතිව මා හැරදමා ගිය දිනයේ පටන් මගේ සිතේ ආදරය මැරිණි. මා නිතරම ඔහු මා හැරදමා යාමට හේතුව කුමක් විය හැකිදැයි කල්පනා කළෙමි. ඔහු සංගීතයට ලැදිය. නැටුමට ලැදිය. ඔහු ගිටාරය හෝ පියානෝව වාදනය කරන විට මා දෑස්දල්වාගෙන ඔහු දෙස බලා සිටින්නට පුරුදුව සිටියෙමි. ඔහු පුදුමාකාර ප්රේමවන්තබවක් මා කෙරෙහි දැක්වීය. කලාවට ලැදි අය ප්රේම කිරීමට දක්ෂයැ යි මා අසා තිබූ පරිදිම ඔහු ප්රේම කිරීමට දක්ෂයෙකු විය. එහෙත්, එතරම් ආදරණීය ප්රේමවන්තයන් තමාට පණ මෙන් පෙම් කරන තම ආදරවන්තිය අත් හරින බව මා අසා තිබුණේ නැත. මා එය කිසිසේත් ම බලාපොරොත්තු වූයේ ද නැත. මා රැවටුනාද ? ඔහු මට සැබෑවට ම ප්රේම කළා නම් මා අත්හැරීමට තරම් නිර්භීත නොවනු ඇත. මන්ද යත් ඔහු මගේ ජීවිතයෙන් මිදුන පසු මා මරණය සොයා යනු ඇති බව ඔහු තේරුම්ගත යුතුව තිබිණි. මා එතරම් ඔහුට පෙම් කළෙමි.
උස පාලමට පහළින් ගලායන විශාල ගංගාව දෙස මා බලා සිටියෙමි. මගේ කඳුලු පැයක පමණ කාලයක් තිස්සේ පාලම මතටත් ගංගාවේ දිය රැලි මතටත් වැටෙමින් තිබිණි. මා ජීවත් විය යුතු බව මා දැන සිටියෙමි. මට ජීවත්වන්නට බලාපොරොත්තුවක් හෝ ආශාවක් ඇති වේයැයි සිතා මා තවදුරටත් බලා සිටියෙමි. එහෙත් ආත්මය සිසාරා පැතිර ඇත්තේ දරාගත නොහැකි දුකකි. අනාගතය ගැන සිතා බලන විට මට දැන් එය හිස්ව පෙනේ. මගේ ජීවිතය දුක්බරව හා හිස්කමින් යුතුව ගෙවීමට සිදුවීම භයංකරය. මා මින් පෙර එවැනි අත්දැකීමකට මුහුණ දී නැත. ඉතින්... මා මේ ජීවිතය ඉක්මණින් කෙළවර කළ යුතුය. මා කඳුලු පිසලාගෙන සිත දැඩිකරගතිමි. තව මොහොතකින් මේ මහා ජල කඳ යට මගේ හුස්ම නවතිනු ඇත. මාව නවතන්නට හෝ බේරාගන්නට මේ පාලු කැලෑ පාරේ කිසිවෙක් නොමැත.
එක්වරම යමක් සිදුවිය. එය මගේ සංවේදන ග්රන්ථීන් තුළ සිදු වූ යමක් විය හැක. නොඑසේ නම් මට ආපසු හැරී බලන්නට කිසිදු හේතුවක් නොතිබිණි. එහෙත්, හදිසියේ ම මා ගැස්සී මගේ දකුණුපස හැරී බැලුවෙමි. මා දුටු දෙය මා විශ්මයට පත් කළේය. මා සිටි ස්ථානයේ සිට මීටර පණහක් පමණ ඈතින් තරුණයෙක් මා දෙස බලා සිටියේය. වැදගත් මහතෙකු සේ ඇඳ පැළඳ සිටි ඔහු ගලක් සේ නිසොල්මන්ව බලා සිටියේය. මා කරන්නට යමින් සිටි දෙය මට ක්ෂණයකින් අමතකව ගිය සෙයකි. මා පුදුමයෙන් ඔහු දෙස ටික වෙලාවක් බලා සිටියෙමි. ඔහුගේ මුහුණේ ඇත්තේ කෙබඳු හැඟීමක්දැයි දැනගැන්මට මට අවැසි විය. එහෙත් බැස යමින් තිබූ ඉරේ මන්දාලෝකය කැලෑවේ මායිම් හොඳින් ආලෝකමත් කරන්නට සමත්ව නොතිබුණෙන් තුරු සෙවණේ උන් ඔහුගේ මුහුණ කියවීම මට අපහසු විය.
මා ගඟට පනින්නට ගිය බව ඔහු දකින්නට ඇත. එහෙත් ඔහුට මා නවතන්නට අවැසි වූ බවක් මට නොපෙනිණි. එසේ අවැසි වූවා නම් මේ වන විට ඔහු මා අසළට කලබලයෙන් පැමිණිය යුතුය. මා පුදුම වීමි. ඔහු කෙබඳු පුද්ගලයෙක්ද ? තම දෑස් ඉදිරිපිට සිදුවන්නට යන මරණය වළක්වන්නට ඔහු මඳකුඳු උත්සාහ නොකළේ මන්ද ? මට ඔහු කෙරේ ඇති වූයේ කෝපයකි.
“හහ්... කොල්ලෝ හැමෝම එකයි.” මම උපහාසයෙන් මට ම කියා ගතිමි. යළිත් මා ගඟ දෙස බැලුවෙමි. මා නතර කළ තැනින් යළි පටන් ගත යුතුව ඇතැයි කීම වැරදිය. මක්නිසාද යත් මෙය අවසානයක් ම මිස කිසිවක පටන් ගැන්මක් නොවේ. මම අවසන් වතාවට ඈතින් බැස යන රත්පැහැ හිරු දෙස බැලුවෙමි.
“සමුගන්නම්...” මා හිරු දෙස බලා අවසන් වතාවට කොඳුලේ සමුගන්නට වෙනත් කෙනෙකු මට නොවුනු හෙයිනි. මා පරඬැලක් මෙන් මගේ සිරුර පාලමෙන් පහළට ඇදවැටෙන්නට සැලැස්වුවෙමි. ඉතින්, මා නිදහස්ය.
“දබොක්...” මා වතුරට ඇදවැටෙන හඬ මටම ඇසිණි. වතුර යටට... තව තවත් යටට මා ගිලෙමින් සිටියෙමි. මා හුස්ම නොගෙන සිටින්නට වෙර ගතිමි. එහෙත් ඉන් සිරුරට දැනෙන වේදනාව ඉමහත්ය. මරණයේ සුවඳ මා වෙලාගනිමින් සිටින විට මා මරණයට බිය වන්නට පටන් ගතිමි. මට ජීවත්වන්නට අවශ්ය විය. එහෙත් මා ප්රමාදය. මන්ද යත් මම පීනන්නට නොදැන සිටියෙමි.
තව තත්පර කිහිපයකින් මගේ හුස්ම අල්ලා සිටින්නට මා අපොහොසත් වනු ඇත. මා ගන්නා පළමු හුස්ම සමඟම මගේ පෙණහලු වතුරෙන් පිරී යනු ඇත. එය සිහිවන විට මා භීතියෙන් ඇළලී ගියෙමි. මා වතුර සමඟ පොර බදිමින් ගඟ මතුපිටට යන්නට උත්සාහ දැරුවේ තව එකම එක හුස්මක් ගැනීමට දැඩි තණ්හාවෙනි. හුස්ම යනු මේ තරම් වටින දෙයක් යැයි මා දැනගත්තේ ප්රථම වතාවටය. මම වතුර යට දඟලමින් වේදනාවෙන්, බියෙන් මිරිකී යමින් සිටියෙමි. අනතුරුව මා බියෙන් සිටි දෙය ම සිදුවිය. මා දිය යට පළමු හුස්ම ගත්තේ මගේ උවමනාවට නොව. එය ඉබේම සිදුවිය. මගේ පෙණහලු වතුරෙන් පිරී බරව යන විට මා වේදනාවෙන් දැඟලුවෙමි. තව එක හුස්මක් යදිමින් මගේ සිරුර දෙතුන් වරක් ගැස්සෙනු මට මතකය. ඉන්පසු සියල්ල අඳුරු වෙමින් මා යළි දිය යටට නිසොල්මන්ව ගිලී යනු දැනිණි. ඒ සමඟ ම මා ඔහු දුටුවෙමි. ඔහු වතුරට පනින විට මට පෙනුනේ කලු ඡායාවක් පමණි. ඔහු දිය යටින් මා වෙත අරුම පුදුම වේගයකින් පීනා එනු මට පෙනුණේ මා මිය යමින් සිටි නිසා විය යුතුය. ඔහු මා බේරාගනු ඇත. සියල්ල අඳුරුවන විට මා එසේ සිතුවේ නව බලාපොරොත්තුවක් සමඟ ය.
පපුවේ ඇති වූ දැඩි වේදනාවක් සමඟින් මා හිස එසෙව්වෙමි. මම කහිමින් සිටි අතර පෙණහළුවල තිබූ වතුර කට දෙපැත්තෙන් බේරෙමින් තිබිණි. මා අපහසුවෙන් නුමුත් වේගයෙන් හුස්ම ගතිමි. වේදනාවට වඩා සිතට දැනුණේ ප්රීතියකි. මා මරණයෙන් ගැලවී ඇත. භයානක, අඳුරු, සීතල මරණය... එය පහදන්නට වෙනත් වචනයක් මා නොදන්නෙමි. මා ඉදිරියේ දණගසා මා දෙස බලා සිටින ඔහු දෙස මා පුදුමයෙන් බැලුවෙමි. ඔහුගේ සිරුරෙන් තවමත් තෙත බේරෙමින් තිබේ.
“සමාවෙන්න...” මට කතා කරගත හැකි වූ මුල් අවස්ථාවේදී ම මම එසේ කීවේ මන්දැයි මම තවමත් පුදුම වෙමි. හරි නම් මා පැවසිය යුතුව තිබුණේ ‘ස්තූතියි..’ කියාය. ඔහු කිසිවක් නොපවසා මා ඔසවාගත්තේය. ඔහු දැඩි සෙයින් ශීතලය. ඒ ඔහු තෙමී සිටින නිසා විය හැක. එහෙත් එතරම් තද ශීතලක් ??? මා වෙවුලා ගියේ ඒ ශීතලය සිරුරට දැනුණ නිසා ම පමණක් නොව, එය මගේ ආත්මයට සීතල මරණයේ පහස සිහි කළ බැවිනි.
විනාඩි දහයක් පමණ ඔහු මා ඔසවාගෙන නගරය දෙසට ඇවිද ගියේය. මේ වන විට මට ඔහුගේ සිරුරෙන් ඈත්වන්නට දැඩි සේ අවැසිව තිබිණි. ඔහුගේ සිරුරෙන් දැනෙන ශීතලය දැන් දැන් මගේ ඇටමිදුළු පවා විනිවිද යමින් තිබේ. මා වෙවුලමින් ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි. ඔහු වේගයෙන් ඇවිද යමින් සිටි අතර වේගයෙන් හුස්ම ගත්තේ මහන්සිය නිසා විය යුතුය. මම අනුකම්පාවෙන් හා පසුතැවීමෙන් ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. අඳුර නිසා මට ඔහුගේ මුහුණ පැහැදිලිව නොපෙනේ. එහෙත් ඔහුට ඇත්තේ සුදුමැලි වූ මුහුණක් හා වියළි තොල් දෙකක් බැව් මට මතකය. මගේ තොල් පුපුරු ගසමින් තිබෙන්නේ ඔහු මට පණ දෙන මොහොතේ ඔහුගේ වියළි තොල් මගේ තොල් මත තැබූ නිසා විය හැක. නගරයට සේන්දු වූ විගස ඔහු ගමන් කළේ බිමට හරවා ගත් මුහුණිනි. කවුරුන් හෝ තමාව දකිනු ඇතැයි ඔහු බිය වෙන්නාක් මෙන් මට පෙනිණි. විදුලිපහන් වල ආලෝකයෙන් මම ඔහුගේ මුහුණ හොඳින් දුටු නමුත් ඔහුගේ මුහුණ දෙස දිගට ම බලා ඉන්නට නොහැකි වූයේ ඔහු මා දකිනු ඇතැයි මා ලැජ්ජා වූ බැවිනි. ඔහුට කලකට පෙර සුන්දර මුහුණක් තිබූ බව මුහුණ බැලූ විට ඕනෑම කෙනෙකුට හැඟෙනු ඇත. ඔහුගේ දෑස් යට ගොස්, තොල් වියළී ගොස්, මුහුණ සුදුමැලි වීමට හේතුව දන්නේ දෙවියන් පමණි.
ඔහු වේගයෙන් හා අපහසුවෙන් හුස්ම ගනිමින් මා බිම නොතබා ම රැගෙන ගොස් නතර වූයේ නගරයේ රෝහල ඉදිරිපිට ය. මා හෙදියකට භාර දී ඈ ඇසූ පැණයකටවත් පිළිතුරු නොදී ඔහු වේගයෙන් ආපසු හැරී යන විට මගේ හදවත නැවත වතාවක් කඩා වැටිණි.
“යන්නෙපා... ආයෙත් එන්න.” මා කොඳුරන විට ඔහුට එය නෑසෙන්නට ඇත. මගේ දෑස් කඳුලින් තෙත් විය. මා යළි තනි වී ඇත.
(දෙවන කොටසින් හමුවෙමු.)
--------------------------
©උපුටා ගැනීම තහනම්...
දිල්හාරා සන්දීපනී.
Comments
Post a Comment