BLOOD MOON - ලෝහිත සඳ - 02

BLOOD MOON
ලෝහිත සඳ - 02


©උපුටා ගැනීම තහනම්..




දින තුනකට පසු මා රෝහලෙන් පිට වී යළි මාගේ කුඩා නිවසට පැමිණියෙමි. 

“බෲනෝ....” මා ගේට්ටුව හැර ඇතුල්වන විට ම ඉදිරියට දිව ආ බලු පැටවා තුරුලු කරගනිමින් මා කීවේ සංවේගයෙනි. මා මිය ගියා නම් අසරණ බලු පැටවා හාමතේ මිය යන්නට තිබිණි. දැනටමත් ඌ දින 3ක් නිරාහාරාව සිටීමෙන් දුර්වලව ඇත.

“මට සමාවෙන්න... මට සමාවෙන්න...” කෙඳිරි ගාමිනුත් මා දුටු ප්රීතිය උහුලාගත නොහැකිව නොසන්සුන්කමිනුත් මගේ සිරුර ලෙවකන බලු පැටවා අල්වාගෙන සංවේගයෙන් කීවෙමි. මා වහ වහා නිවසේ දොර විවරකරගෙන ගොස් බලු පැටවාගේ ආහාරය සඳහා විස්කෝතු සහ කිරි ලබා දුනිමි. දොර ළඟ බිම තිබූ ලියුම කියවූ මා අසරණව පුටුවක් මතින් වාඩි වූයෙමි. ලියුමේ සඳහන්ව තිබුණේ දින දෙකක් නොදන්වා නිවාඩු ගැනීම හේතුවෙන් මා රැකියාවෙන් නෙරපා දමා ඇති බවයි.

“කණගාටුයි... අද මස් නෑ. හෙටත් නෑ. අපිට ඉස්සරහට එන්නේ අමාරු කාලයක්.” නොඉවසිල්ලෙන් තම ආහාර වේල කටට දෙකට ගිල දමන බලු පැටවා දෙස බලාගෙන මම දෙඩෙව්වේ ඌට මා කියනා දේ නොතේරෙන බැව් නොදැන නොවේ. එහෙත්, මගේ තනිකම මැකෙන්නටදෝ මම එදින දවස පුරාම බලු පැටවාට ඇසෙන්නට කතා කළෙමි.
සවස් වන විට හදවතට දැනෙන්නට වූ පාලුව සහ කාන්සිය තව තවත් උග්ර වූයෙන් මා ගෘහ දුරකතනය අසළට ගියෙමි.

“මම ගඟේ ගිලෙනකොට මොබයිල් එකත් ගිලුණ නිසා දැන් අපිට පාවිච්චි කරන්න වෙන්නේ මේ ෆෝන් එක...” මම බලු පැටවා දෙස බලා කීවෙමි. මම රිසිවරය ඔසවා දෙගිඩියාවෙන් අංක දෙස බලා සිටියෙමි. නැවත වෙවුලන අතින් රිසිවරය තබා මඳ වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව යළි රිසිවරය අතට ගතිමි.

“කිසිම දෙයක් නොකර ඉන්නවාට වඩා උත්සාහ කරලා බලන එක හොඳයිනේ...” මම බලුපැටවා දෙස බලා එසේ කීවේ මගේ සිතට දිරිගැනීමට අවශ්ය වූ බැවිණි.

මම වෙවුලන ඇඟිලි තුඩුවලින් ඔහුගේ අංකය ඩයල් කළෙමි. අනෙක් පස දුරකථනය නාදවන බව ඇසෙන විට මා තවත් බියට පත් වූයෙමි. මට කියන්නට අවශ්ය වූයේ එකම දෙයකි. ඒ මා ඔහුට තවමත් ආදරය කරන බවයි.

“හෙලෝ...” අනෙක් පසින් ඔහුගේ හඬ ඇසෙන විට මගේ දෙපා අප්රාණික වන්නාක් මෙන් මට දැනිණි.

“බෙන්...” මම සෙමින් කීවෙමි.

“කියන්න ලෞරා...”

“බෙන්... මං... මං....”

“කියන්න ලෞරා. ඔයා හොඳින් ඉන්නවා නේද ?” ඔහු අසන විට මගේ සිතේ ඇති වූයේ සියුම් කේන්තියකි. ඔහු කතා කරන්නේ සාමාන්ය පරිදිය. ඔහු හැසිරෙන්නේ කිසිදු විශේෂ යමක් සිදු නොවූ ගාණටය.

"බෙන්, මට ඔයාව ඕන.." මා කීවෙමි.

“මම ඊයේ දවල් කෝල් එකක් ගත්තා ඔයා හොඳින් ඉන්නවාද බලන්න. ඒත් ඔයාගේ මොබයිල් එක ඕෆ්...” බෙන් මා කී දේ නෑසුණාක්මෙන් කීවේය.

“බෙන්... ඔයා කොහොමද හිතුවේ ඔයා නැතුව මං හොඳින් ඉඳියි කියලා ?”මම දැඩි සිත් වේදනාවෙන් යුතුව ඇසුවෙමි.

“ඔයා නැතුව මට ජීවිතයක් නැති බව ඔයා දන්නේ නැද්ද ? අවුරුදු දෙකක් ආශ්රය කරලාත් ඔයා මාව තේරුම් ගත්තේ නැද්ද ?” මා යළිත් අසන විට ඔහු නිහඬය.

“දන්නවද බෙන්... ඔයා මාව අත් ඇරිය මොහොතේ ම මම මැරෙන්න තීරණය කළා...”

“පිස්සු වැඩ නම් කරන්නෙපා...” ඔහු කීවේය.

“නෑ... ආයෙත් නම් ඒ දේ කරන්නේ නෑ...”

“ආයෙත් ? ආයෙත් කිව්වේ ?” ඔහු පුදුමයෙන් ඇසුවේය.

“නෑ... මොකුත් නෑ....”

“ඔයා මැරෙන්න හැදුවද ?” බෙන් කලබලයෙන් ඇසුවේය.

“නෑ... නෑ... බෙන්... මට එක දෙයක් කියන්න. ඇයි මාව අත ඇරියේ ?” මා ඇසූ විට ඔහු යළි නිහඬය. මා නොසන්සුන් වීමි.

“කරුණාකරලා... මට ඒක විතරක් කියන්න...” මම හැඬුම් වාවගෙන ආයාචනා කළෙමි.

“ලෞරා...” ඔහු මගේ පැණයෙන් හිරිහැරයට පත් වූවෙකු මෙන් කීවේය.

“ලෞරා දැන් පරණ දේවල් ඉවරයි. ඒවා අමතක කරන්න. ඔයා ආයෙත් ඒ දේවල් ගැන මාත් එක්ක කතා කරන්න හදන්නෙපා....” බෙන් කීවේය. බෙන් මා පිට කෙනෙකු මෙන් සලකන විට තවදුරටත් මගේ කඳුලු මට කීකරු වූයේ නැත. මගේ මුවින් මට නොදැනී ඉකියක් පිට විය.

“ඇයි ? ඇයි එහෙම කියන්නේ ? මට අයිතියක් තියෙනවා දැනගන්න. මාව එකපාරට ම එපා වුණේ ඇයි ? ඔයා මට කොයි තරම් ආදරේ කළාද ? ඒ සේරම ක්ෂණයකින් වෙනස් කරන්න ඔයාට පුලුවන් වුනේ කොහොමද ?” මම හඬමින් ඇසුවෙමි.

“අයියෝ ලෞරා.... ඔයා දිගින් දිගට ම පරණ දේවල් ගැන කතා කරන්න හදනවා නම්, මට සිද්ධ වෙනවා ඔයාව බ්ලොක් කරලා දාන්න...”

“බ්ලොක් ?” මා පුදුමයෙන් ඇසුවේ එපමණකි. මා රිසිවරයා තබා ඉකිබිඳිමින් තනිවම හඬන්නට වූයෙමි. බෲනෝ මා අසළට විත් කෙඳිරි ගාන්නට වූයෙන් මා ඌ තුරුල්කරගෙන තව තවත් හඬා වැටුනෙමි.

“මං තනි වෙලා බෲනෝ... මට ඉන්නේ ඔයා විතරයි... ඔයා විතරයි...” මම හඬමින් කීවෙමි. ඒ සමඟම මට යම් දෙයක් සිහි විය.

මරණයෙන් මා බේරාගත් තරුණයා.... සැබවින් ම ඔහු කොහිද ?

“එන්න බෲනෝ... අපි ගමනක් යමු....” මා බලුපැටියා ළඟට කැඳවා කරට දම්වැල දැමුවෙමි. කබාය ඇඟලාගත් මා දොරගුළු දමා බෲනෝද කැටිව පාරට බැස්සෙමි.

මම පාර දිගේ විනාඩි විස්සක් පමණ ඇවිදගෙන ගියෙමි. අවසානයේ මා පාලු කැලෑ පාරට සේන්දු වුණෙමි. මා මේ යන්නේ නිශ්ඵල ගමනක් බැව් මම දනිමි. එහෙත් මට එය සැක හැර දැනගන්නට අවශ්ය විය. කිසිවක් නොකර නිකං බලා සිටීමෙන් මට කිසිවක් නොලැබෙනු ඇත. මා මේ ගමන පැමිණීම තුල මට කිසිවක් නොලැබුනත් දැන් මා මෙතනට පැමිණ සිටින බැවින් මා මෙතනට නොපැමිණීම පිළිබඳව පසුතැවීමක් සිතට ඇති නොවනු ඇත. මම බලු පැටවා සමඟ පාලම මැදට ගොස් සිට ගතිමි. එදා මෙන් අදත් ඉර බැසයමින් තිබෙනු මට පෙනේ. මා කැලෑ මායිම දෙසට නෙත් යොමා බලා සිටියේ එදා තරුණයා සිටි ස්ථානයයි. අද එතැන ඔහු නැත. මගේ සිත ශෝකයෙන් බරව යනු මට දැනිණි.

“මම එයාට ස්තූති කළේ නෑ...” මා බලුපැටවාට ඇසෙන්නට කීවේ සංවේගයෙනි. ඌ මගේ දුක තේරුම් ගත්තාක් මෙන් සිහින් හඬින් කෙඳිරියක් නැගුවේය. මා යළි හැරී මලානික හිරු දෙස බලා සිටියෙමි.

“බෲනෝ... මොකක්ද අවුල ?” මා තවමත් කෙඳිරි ගාන බලුපැටවා දෙස බලා පුදුමයෙන් ඇසුවෙමි. බලුපැටවා නෙත් යොමාගෙන සිටින්නේ කැලෑව දෙසටය. ඔව්... එදා තරුණයා සිටි දිශාවටමය. මා මඳක් තැති ගත් නමුත් එහි කිසිවක් හෝ කිසිවෙක් නොමැත. බලුපැටවා එක්වරම බියට පත්වූවෙකු මෙන් දඟලමින් ආපස්සට යන්නට උත්සාහ දරණ විට මා වැරෙන් දම්වැල අල්ලා ගතිමි.

“බෲනෝ... බෲනෝ... ඒක හරි පැටියෝ. මොකුත් නෑ...” මා දඟලන බලුපැටවා අතට ගනිමින් කීවෙමි. එහෙත් එක්වර ම ඌ ගොරවමින් බුරන්නට පටන් ගත්තේ මගේ ඉදිරිපිට යම් කෙනෙකු සිටින්නාක් මෙනි. බලු පැටවාගේ අමුතු හැසිරීම නිසා මා යළිත් තැති ගත් නමුත් අප අවට කිසිවෙක් නොසිටි නිසා මගේ සිතේ පැන නැඟී තිබුණේ ප්රහේලිකාවකි.

“හරි... අපි යමු...” බලු පැටවා බියට පත්ව ඇති නිසා ඌව වඩාගෙන ම ආපසු එන්නට හැරුණෙමි. ඒ සමඟ ම මා ගල්ගැසී සිටිවන ම නතර වුනෙමි. මා පුදුමයෙන් ඉදිරියට ගොස් පාලම මත බිම වැටී තිබූ මගේ ජංගම දුරකතනය අහුලා ගතිමි.

“ඒක... කලින් එතන තිබුණේ නෑ. එහෙම නේද ?” මා බලුපැටවාගෙන් අසන අතරතුර වටපිට බැලුවේ පුදුමයෙනි.

“සමහරවිට ඒක මම ගඟට පනින්න කලින් මෙතන වැටෙන්න ඇති...” මා දුරකතනය ක්රියාකරවන්නට උත්සාහ කරමින් කීවෙමි. එහෙත් එය ක්රියාත්මක වූයේ නැත. බලුපැටවා බිම තැබූ මා දුරකතනය ගලවා බැලුවෙමි. එය ඇතුළත තවමත් වතුර බිඳු කිහිපයක් රැඳී ඇත. මා වික්ෂිප්ත වූයෙමි. අවටින් අඳුර ගලා එමින් තිබෙන නිසා මා ඉක්මණින් ආපසු යා යුතු විය.

“අපි යමු...” දුරකතනය කබා සාක්කුවක් තුළ රුවාගත් මා බලුපැටවා සමඟ ආපසු යන්නට හැරුණෙමි.

(03වන කොටසින් හමුවෙමු.)
-----------------------------------------------
@උපුටා ගැනීම තහනම්...
දිල්හාරා සන්දීපනී.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01