යළි අප හමු විය - 01

යළි අප හමු විය - 01

©උපුටා ගැනීම තහනම්



මා කිසිදා ගෝවා වගාවක් සියැසින් දැක නැති බව විශ්වාස ය. මට මාරාන්තික රෝගයක් නොවැලඳුන බව ද විශ්වාස ය. මා කිසි ම දිනෙක කිසි ම තරුණයෙකු සමඟ ආදරයෙන් බැඳුනේ ද නැත. එහෙත් නිරන්තරයෙන් ගෝවා වගාවෙන් වට වූ එම පුංචි සුන්දර නිවහන මගේ මනසට ඇතුලු විය. හොඳින් පිටත පෙනෙන සේ සකස් කළ උස, වීදුරු ගැසූ ජනේලය අසල ඇඳේ මා වැතිරී සිටින විට ඔහු මා අසලට වී විටෙක මගේ දෑස් දෙස බලා සිටියේය. විටෙක මගේ අත් දෙක තම මුවට ළං කරගෙන බිම බලාගෙන ඔහුගේ කඳුලු මගෙන් සැඟවූයේය. මා ඇඳෙන් නැගිට්ටේ ම නැත. විටෙක මා තනිව ම ඇඳට වී ජනේලයෙන් බලා සිටින්නේ ඔහු ඈත පොළව කොටන දෙස ය. මා මෙන් ම ඔහු ද එතරම් මුහුකුරා ගිය කෙනෙකු නොවන බැව් මට පෙනේ. එහෙත් නිවසේ සිටියේ ඔහුත් මාත් පමණි. ඔහු මාගේ කවුරුන් ද ? ඔහු සිහිවන හැම තත්පරයක් පාසා ඉඳිකටු තුඩකින් අනින්නාක් මෙන් මගේ හදවත රිදුම් දෙන්නේ මන්ද ? මා එක් දෙයක් දනිමි. මා ඔහු සමඟ ආදරයෙන් බැඳී සිටිමි.

මා ඒ නිවස සොයා යා යුතු බව මගේ සිත කීවත් ඒ නිවස ඇත්තේ කොහේදැයි කියා මට වැටහීමක් තිබුණේ නැත. මගේ මතකයේ තිබූ දේවල් ද ඉතා සීමාසහිත ඒවා විය. නමක්වත් නොදන්නා ඔහු, ගෝවා වගාව සහ එක් කාමරයකින් සැදුම්ලත් පුංචි සැප පහසු නිවස හැරෙන්නට මගේ මතකයේ තිබූ එක ම දෙය ඔහුත් මාත් පානය කළ කෝප්පය දෙකයි. ඒ කෝප්ප දෙකෙහි තිබූ විශේෂත්වය නම් කෝප්ප දෙකේ ම ගෝවා ගෙඩි දෙකක් ඇඳ තිබීමයි. මා ඔහු සොයාගත යුතුම ය. මන්ද, ඔහු වෙතට යාගත නොහැකිව මා දිනෙන් දින මැලවෙමි.

පාසලේ පරිගණක විද්‍යාගාරයේ සිටින අතරතුර මා කොරල් ඩ්‍රෝ මෘදුකාංගය මඟින් මගේ මනසේ නිතර මැවෙන ආකාරයේ කෝප්පයක් නිර්මාණය කළෙමි. මා ඒ දෙස ශෝකයෙන් බලා සිටින විට කවුරුන් හෝ මා පසුපසින් සිටගනු මට දැනිණි. මා හැරී බැලුවෙමි. ඔහු මා හඳුනන තරුණයෙකි. ඔහු පුදුමයෙන් බලා සිටියේ මා ඇඳි කෝප්පය දෙසය.

"ඔයා කොහොමද ඒ කෝප්පය අඳුරන්නේ ?" ඔහු ඇසූ විට මා තිගැස්සුනෙමි.

"ඇ... ඇයි එහෙම ඇහුවේ ? ඔයා මේ කෝප්පය දැකලා තියෙනවද ?"

"ඔව්.... ඒක තියෙන්නේ රුසියාවේ, ලුනිනෝ කියන ගමේ කෞතුකාගාරයක...."

"මොකක් ?" මම පුදුමයෙන් නැගිටිමින් කීවෙමි.

"ඔයා කොහෙන්ද ඒක දැක්කේ ? ඔයා රුසියාවට ගිහින් නෑනේ. අනික ඒක ප්‍රසිද්ධ කෞතුකාගාරයක් නෙවෙයි." මිතුරා ඇසුවේය.

"ඔයා, ඇයි එහේ ගියේ ? මට විස්තර කියන්න පුලුවන් ද ?" ඔහුට පිළිතුරු දෙනු වෙනුවට මම ගැහෙන හදවතින් යුක්තව ඇසුවෙමි.

"මම එහේ ගියේ අපේ අයියා බලන්න. එයා ඉන්නේ ලුනිනෝ වල."

"අයියා ? මට එයාගේ ෆෝන් නොම්මරයක් දෙන්න පුලුවන්ද ?"

"පුලුවන්. ඒත් ඇයි ?"

"මට ඒ කෝප්පය ගැන විස්තර දැනගන්න ඕනා..."

"හරි... ඒත්, ඔයා තවමත් කිව්වේ නෑ ඒ කෝප්පය දැක්කේ කොහෙන්ද කියලා...."

"මම ඒක ඇත්තට ම දැකලා නෑ. ඒක මගේ මනසට ආව රූපයක්...."

"මට ඔයාව විශ්වාස කරන්න කියලද කියන්නේ ?" තරුණයා සැකයෙන් ඇසුවේය.

"නෑ, මම ඔයාට කියන්නේ ඔයාගේ අයියාගේ දුරකතන අංකයක් දෙන්න කියලා විතරයි."

"හ්ම්... ලියාගන්න...."

ඔහු දුරකතන අංකය ලබා දී පිටව ගිය විගස මම ඒ නොම්මරයට ඇමතුමක් ලබා ගතිමි.

"මිස්ටර් ඩෙරික්...." මම කීවෙමි.

"ඔව්, කතා කරනවා...."

"මම සෙරීන්.... ඔයාගේ මල්ලිගේ යාලුවෙක්...."

"කියන්න සෙරීන්...."

"ඔයාගේ මල්ලි කිව්වා ලුනිනෝ වල තියෙන කෞතුකාගාරයක් ගැන."

"ඔව්...."

"තව, ඒකේ තියෙන කෝප්පයක් ගැන...." මා කී දේ අසා ඔහු තත්පර කීපයක් නිහඬව සිටියේය.

"ඔව්... ගෝවා ගොවියාගේ කෝප්පය...." අනතුරුව ඔහු කීවේය. එය අසා මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.

"මට.... මට ඒක ගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද ?"

"පුලුවන්.... ඒත්, මට දැනගන්න පුලුවන්ද ඇයි කියලා ?" ඔහු ඇසූ පැණයෙන් මා මොහොතක් නිරුත්තර වීමි.

"මං කියන්නම්. ඒත්, ඔයා හිතයි මට පිස්සු කියලා...."

"නෑ..." ඔහු ස්ථිර හඬකින් කීවේය.

"ඒ කෝප්පය මගේ මතකයේ තියෙන දෙයක්..." මා කීවෙමි. ඔහු යළි නිහඬ විය.

"මට මතකයි ඒ වගේ කොප්ප දෙකක් තිබුණා. ඒ කෝප්ප දෙකේ අයිතිකාරයින් දෙන්නාවත් මට මතකයි." මම මට මතක ඇති සියල්ල ඔහු හා කීවෙමි.

"මං හිතන්නේ, ඔයා ලුනිනෝ වලට ඇවිත් ම බැලුවා නම් හොඳයි...." මඳ වෙලාවක් නිහඬව සිටි ඔහු කීවේය.

"මමත් කැමතියි. ඒත්, මගේ අතේ ඒ තරම් මුදලක් නෑ...." මම කණගාටුවෙන් කීවෙමි.

"ඒ ගැන වධ වෙන්න එපා. මම ඔයාව මෙහෙට ගෙන්වගන්න කටයුතු යොදන්නම්...." ඩෙරික් කී දෙයින් මා පුදුමයට පත් වූයෙමි. ඔහු මා වෙනුවෙන් එතරම් දෙයක් සිදු කරන්නේ මන්දැයි මට අදහාගත නොහැකි විය.

"අනේ, බොහොම ස්තූතියි. ඒත්, ඔයාගෙන් ඒ තරම් ලොකු උදව්වක් ගන්න මට බෑ." මම කාරුණිකව ඒ උපකාරය ප්‍රතික්ෂේප කරන්නට උත්සාහ කළෙමි.

"සෙරීන්....." ඔහු මෘදු හඬින් කීවේය.

"ඔයා එන්න ම ඕනා. ඔයා එනකල් කෙනෙක් මෙහෙට වෙලා අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා...." ඔහු අනතුරුව කී දේ අසා මගේ තොලකට පවා වියලී ගියේය.

"ඔ... ඔයා කවුරු ගැනද කියන්නේ ?" මම ගැහෙන හඬින් ඇසුවෙමි.

"ගෝවා ගොවියා...."

"මොනවා ?"

-------------------------------------------------------------------------
දින කිහිපයකට පසු මා රුසියාව බලා පිටත් වූයෙමි. ගුවන්තොටුපළේ සිට ලුනිනෝ වෙත මා ගෙන යාමට සුඛෝපභෝගී වාහනයක් ද ඩෙරික් විසින් එවා තිබිණි. මා අවට සිරි නරඹමින් කුතුහලයෙන් හා නොඉවසිල්ලෙන් ගමනේ යෙදුනෙමි. වාහනය ලුනිනෝ ගම්මානයට ඇතුලු වන විට මගේ පපුව වේගයෙන් ගැහෙන්නට විය. මඳ වේලාවකින් අප සිටියේ සුන්දර නිවසක් ඉදිරිපිට ය. මගේ ගමන් මල්ල රැගෙන යාමට සේවකයෙක් පැමිණි අතර නිවසට ගිය වහා ම සේවිකාවක විසින් මා හට රසවත් බීමක් පිළිගැන්වුවාය.

"කොහෙද ඩෙරික් මහත්මයා ?" මා ඇයගෙන් ඇසුවෙමි.

"ඩෙරික් මහත්මයා එළියට ගිහින්...." ඇය කීවාය.

සේවිකාව විසින් මට දිවා ආහාරය ලබා දී මා වෙනුවෙන් සකස් කළ කාමරයට කැඳවාගෙන ගොස් විවේක ගැනීමට පැවසුවාය. මා ස්නානය කර කාමරයේ යහනේ මඳක් ඇල වූයෙමි. මා අවදි වන විට රාත්‍රී දොළහ ද පසු වී තිබුණි. නිවසේ සියල්ලන් නිදා සිටි බැවින් මා යළි නින්දට වැටුනෙමි. උදෑසන කුරුලු ගීත නාදයත් සමඟ අවදි වූ මා ප්‍රබෝධමත් සිතින් යුතුව නැගිට ගොස් ජනේලය විවර කළෙමි. අවටින් පෙනෙන දසුන මනහරය. පිළිවෙලට සකස් කළ ගෙවත්තේ විවිධ පාටින් යුත් මල් පිපී ඇත. මා කාමරය දෙසට හැරුණෙමි.

"මේ මොකක්ද ?" මා පුදුමයෙන් මට ම කියාගනිමින් ටීපෝව මත තිබූ ඇල්බමය සහ කොළ කැබැල්ල අතට ගතිමි.

"දයාබර සෙරීන්,
ඔබව හමුනොවීම ගැන කණගාටුයි. ඔබ නිදා සිටි අයුරු දැකීමෙන් අවදි කිරීමට සිත් නොදුන් බැවින් මෙම ඇල්බමය තබා යමි. ඔබගේ ගැටලු බොහොමයකට මෙම ඇල්බමයේ පිළිතුරු ඇතැයි මම විශ්වාස කරමි. මෙයට දයාබර ඩෙරික්."

කොළයේ සටහන්ව තිබුණේ එවැන්නකි. මම පුදුමයෙන් ඇල්බමය පෙරලුවෙමි. එහි පළමු පින්තූරයේ සිටියේ කුඩා බිලිඳියක් හා ඇයව ආදරෙන් සිපගන්නා අවුරුදු දෙකක පමණ පිරිමි දරුවෙකි.

"විල් සහ සැලී 1980." පින්තූරය යටින් ඔවුන් දෙදෙනාගේ නම් සහ අවුරුද්ද සඳහන්ව තිබිණි. මම ඊ ළඟ පිටුව පෙරලුවෙමි. එම පින්තූරයේ සිටියේ මගේ මනසේ හොල්මන් කළ තරුණයා සහ තවත් තරුණියකි. ඔවුන් දෙදෙනා තුරුලුව සිටි අතර දෙදෙනාගේ ම මුව ප්‍රීතිමත් සිනාවකින් සැරසී තිබිණි.

"විල් සහ සැලී 1996..." එහි සටහන් ව තිබිණි.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02