කුඩම්මාගේ දුව - 03

කුඩම්මාගේ දුව - 03

©උපුටා ගැනීම තහනම්



මීෂා ඇස් වහගෙන මලේ පෙති එකින් එක කඩන්න පටන් ගත්තා. සැලසුම් කරපු හැටියට නම් මම දැන්මම එයාව තනි කරලා එතනින් යන්න ඕනා. මගේ පපුව වේගයෙන් ගැහෙන හැටි මටම දැනෙද්දි මීෂාව දාලා යන්න බැරුව මගේ හිත පැකිලෙන්න ගත්තා. ඒත් මට ආයෙත් මේ අවස්ථාව ලැබෙන එකක් නෑ. ෂෙරිල් මට කරපු දේට එයාත් විඳවන්න ඕනා.

මම අඩි කීපයක් පස්සෙන් පස්සට ගිහින් ඉක්මණට හැරිලා බයිසිකලය ළඟට ගියේ රෝවර් වත් ඇදගෙනයි. බයිසිකලය අරගෙන වේගයෙන් ආපහු පැදගෙන එද්දි රෝවර් මං වගේම හිතක් පපුවක් නැති කෙනෙක් වගේ එයාගේ අලුත් යාළුවාව අමතක කරලා මං පස්සෙන් දුවගෙන ආවා. බඩ ඉරිඟු යායත් පහු කරගෙන මම යද්දි මීෂා ගැන හැම දෙයක් ම ආයෙත් මගේ ඇස් ඉස්සරහා මැවිලා පේන්න පටන් ගත්තා. එයා මුලින් ම ගෙදරට ආව දවස...... කෑම මේසෙදි මට අයියා කියපු හැටි...... එයාගේ ලස්සන ඇස් දෙක.... අහිංසක හිනාව.....

“එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා මට ගොඩාක් ආදරය කරන කෙනෙක් ලැබෙන්න කියලා.” මීෂා ගඟ ළඟදි අන්තිමට කියපු දේ මගේ කණ් ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගත්තා.

මම එක පාරටම බයිසිකලයේ තිරිංග තද කලා.

“මම මොනවද මේ කරන්නේ.....?”
මම ඉක්මණට ආපහු බයිසිකලය හරවා ගත්තා.

“රෝවර් යමු මීෂා ළඟට......” මම කිවුවා.

මම පුලුවන් තරම් දහිරිය දාලා බයිසිකලය වේගයෙන් පැදගෙන ආපහු ගඟ ළඟට ආවත් මීෂා ගඟ ළඟ හිටියේ නෑ. එයා වාඩි වෙලා උන්න ගල උඩ එයා පෙති කඩපු මලේ නටුව විතරක් ඉතිරි වෙලා තිබ්බා.

“ මීෂා..............” මම කෑ ගැහුවා.

“දෙයියනේ... එයා ගඟට වැටුනාවත්ද.......?” මගේ මුලු ඇඟම බයෙන් සීතල වෙලා ගියා.

ඒත් එක්ක ම මම දැක්කා මීෂාගේ සපත්තු අඩි. ඒවා ගිහින් තිබුනේ පාර දිහාවටයි. මම කරපු වැඬේ බරපතලකම මට තේරෙන්න පටන් ගද්දි මම ගොඩාක් පරක්කුයි. මම බයිසිකලය අරගෙන පැය ගාණක් තිස්සේ බඩ ඉරිඟු යාය පුරා හැම පාරකම මීෂාව හොය හොයා ගියා. ඒත් එයාගේ සලකුණක්වත් මට හොයා ගන්න බැරි වුනා. ගම පුරාම තියෙන අතුරු පාරවල් වලත් හොයලා හොයලා බැරිම තැන මම ආපහු ගෙදරට ඇවිත් බැලුවේ මට තිබුන අන්තිම බලාපොරොත්තුව ඒක නිසයි. ඒ වෙද්දි හවස් වෙලා. මමත් හොඳටම හෙම්බත් වෙලා.

“දෙයියනේ මම බය වුන තරමක්. ඇයි එන්න වෙලා ගියේ. කෝ මීෂා?” ලුසී එහෙම අහද්දි මගේ අන්තිම බලාපොරොත්තුවත් සුනු විසුනු වෙලා ගියා.

“මීෂා.....? මීෂා නැති වෙලා ලුසී.....”

මම එහෙම කියද්දිම මගේ කම්මුල් වලින් කඳුලු ගලාගෙන ගියා. අම්මා නැති වුන දාට පස්සේ මගේ ඇස් වලින් කඳුලු ආව මුල්ම වතාව ඒකයි. ඒ මගේ හිතේ තිබුන බය නිසා නෙවෙයි. මීෂා නැති දුකටයි. එයා වෙනුවෙන් මම මෙහෙම අඬයි කියලා මම හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ.
මම කරපු හැම දේම මම ලුසීට කිවුවා. ඒ වෙලාවෙම ලුසී පොලීසියටයි තාත්තටයි කෝල් කලා.

ගමේ අයගේත් උදවු ඇතුව පොලීසිය මීෂාව හොයන්න පටන් ගත්තා. රෑ වෙනකල්වත් මීෂාව හොයන්න බැරි වෙද්දි මම තවත් බය වුනා. රෑ මැදියමට ලං වෙද්දි පොලිස් බල්ලෝ ඉරිඟු යාය මැද සිහි නැතිව වැටිලා උන්න මීෂාව හොයා ගත්තා. එයා උන්නේ ලොකු කම්පනයකට පත් වෙලා. මීෂාට සිහිය ආවත් එයා හැසිරුනේ පිස්සුවෙන් වගේ. එයාගේ මුලු ඇඟම වෙවුලන හැටි දකිද්දි මට ඇති වුනේ ලොකු වේදනාවක්. මට මාවම පිළිකුල් වුනා.
තාත්තා පොලීසියේ අය එක්ක කතා කලා. එයා මොනවා කිවුවද දන්නේ නෑ. පොලීසියේ හැමෝම ගියාට පස්සේ තාත්තා මාව කාමරේට දාලා ලේ එනකල්ම බෙල්ට් එකෙන් ගැහුවා. කලින් දවසේ ගහපු තැන් වලටම ආයෙත් ගහද්දි මට හිතුනේ පොලීසියේ අය මාව අරන් ගියා නම් මීට වඩා හොඳයි කියලායි.

දවස් දෙකකට පස්සේ මීෂාව ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර අරන් ආවා. එයාව කාමරයට අරන් යද්දි එයා බිම බලාගෙනමයි ගියේ. කෑම කන්නවත් එයා කාමරයෙන් එලියට ආවෙ නෑ.

“ඩොක්ට කිව්වා මීෂාව ගොඩක් ආදරෙන් සැලකිල්ලෙන් බලාගන්න කියලා. එයාට ඇති වුන කම්පනය සමහරවිට ජීවිත කාලයටම වුනත් බලපාන්න පුලුවන් කිව්වා.” ෂෙරිල් තාත්තා එක්ක එහෙම කියන ගමන් තරහෙන් මං දිහා බැලුවා.

“හ්ම්.....” තාත්තා කෑම කන ගමන්ම හූමිටි තිබ්බේ ෂෙරිල් කියපු දේ වැඩිය ගණන් නොගෙන වගේ.

“ඔයාට නම් මොකද ? එයා ඔයාගේ ළමයෙක් නෙවෙයිනේ. නේද ?”

“ෂෙරිල්.... ඔයාට පිස්සුද ? මම ළමයි දෙන්නටම සලකන්නේ එකම විදිහට. අනික ඔයා වුනත් ළමයි ගැන වැඩිය හිතන කෙනෙක් නෙවෙයිනේ.”

“ඔයාට තේරෙන්නේ නෑ මම කියන දේ. මීෂා බාත්රූම් එකටවත් දැන් තනියම යන්නේ නෑ. මම කොහොමද මේ විදිහට රස්සාව කරන්නේ ? ලුසීටත් මුළු දවසේම ගෙදර වැඩ. මට මීෂා ළඟටම වෙලා දිගටම ඉන්න බෑ. එයා රෑට තනියම නිදාගන්නත් බෑ කියනවා. එයා දැන් කලුවරට බයයි.”

“එයාට ඒ තරම් බය වෙන්න දෙයක් සිද්ධ වුනේ නෑනේ. අපි එයාව ආයෙත් හොස්ටල් එකට ම යවමු. එහේ ළමයි එක්ක ඉද්දි ඔය සේරම හරි යයි.”

තාත්තා කියද්දි මම පුදුමයෙන් ඔලුව උස්සලා ෂෙරිල් දිහා බැලුවා. ෂෙරිල් නම් කොහොමටවත් මේ තත්වයෙන් මීෂාව ආයෙත් හොස්ටල් එකට යවන එකක් නෑ. මම එහෙම හිතුවා.

“ඔව්.... ඒක හොඳයි. හෙටම යවමු.” ෂෙරිල් එහෙම කියද්දි මම කෑම මේසෙන් නැගිට්ටේ පුදුමයයි තරහයි එකට කැටි වුන හැඟීමකින්.

“ෂේන්..... මොකද කන්නේ නැද්ද ?” තාත්තා මට කතා කරද්දි මම ඇහුනේ නෑ වගේ කාමරයට ගියා.

හැමෝගෙම බොරු ආදරේ. මට දැන් තේරෙනවා මීෂා ආදරේ හොයන්නේ ඇයි කියලා. තමන්ගේ කුසෙන් වදපු අම්මාවත් එයාට පොඞ්ඩක්වත් ආදරේ කරන්නේ නෑ. එහෙම අහිංසක කෙල්ලෙක්ට අර වගේ පහත් වැඩක් කරපු මම මහා පවුකාරයෙක්. මම කරපු දේ නිසා මුලු ජීවිත කාලයටම මට ඉතුරු වුනේ පසුතැවීමක් විතරයි කියලා මම ඒ වෙලාවේ තේරුම් ගත්තා.

පහුවදා උදේම ආයෙත් මීෂාව හොස්ටල් එකට අරන් ගියා. ඒ යද්දි එයා මං දිහා එක පාරක්වත් හැරිලා බැලුවේ නෑ. මම මීෂා යන දිහා වේදනාවෙන් බලාගෙන ඉද්දි පපී කූඩුවෙ ඉඳන් උඩු බිරුවෙ මීෂා යන දුක ඌටත් දරාගන්න බැරුව වගේ.ඊ ළඟ නිවාඩුව දෙනකල් මම බොහොම ඉවසීමෙන් බලාගෙන උන්නේ මීෂා ආයෙත් ආවාම සමාව ගන්නයි. ඒත් මීෂා ආවේ නෑ. වාර නිවාඩු එකින් එක ගෙවි ගෙවී යද්දි මම මග බලාගෙන උන්නා. ඒත් එයා ආයෙත් කවදාවත් ගෙදර ආවෙ නෑ.

ඒ විධියට අවුරුදු හයක් විතර ගෙවිලා ගියා. කාලයත් එක්ක හැමදේම වෙනස් වුනා. ඒ වෙද්දි ලුසී තවත් වයසට ගියා. මම අවුරුදු දහඅටක තරුණයෙක් වුනා. මීෂා අතරමං වුන බඩඉරිඟු යාය වෙනුවට එතන මල් යායක් වවලා තිබුනා. හැම දේම දවසින් දවස වෙනස් වෙද්දි මම මීෂා එනකල් මග බලන එක විතරක් කවදාවත් වෙනස් වුනේ නෑ.

ඒ අතර ඉස්කෝලේ ගෑණු ළමයි කීප දෙනෙක්ම මට ආදරය ප්‍රකාශ කලා. ඒ අතරින් එක්කෙනෙක්ගේ නම මෙලී. මෙලී උන්නේ මගේ පන්තියේමයි. එයා ගොඩක් වැදගත් පවුලක, උගත් ළමයෙක්. කොහොම වුනත් ඒ කාලේ ඉගෙන ගැනීම ඇරෙන්න ආදරය කරන්න මට උවමනාවක් තිබුනේ නෑ. ඒ නිසා මට ආව හැම යෝජනාවක්ම මම ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළා.
ඒත් මෙලී පුරා අවුරුද්දක්ම දිගින් දිගටම මගේ කැමැත්ත ඉල්ලලා කරදර කලා. මෙලී කියන්නේ මගේ හිත ඉල්ලන විධියේ කෙනෙක් නෙවෙයි කියලා මට විශ්වාසයි. ඒ නිසා හැමදාමත් මම එයාව ප්‍රතික්ෂේප කළා. ඒත් මගේ ආදරේ නොලැබෙන බව තේරෙද්දි මෙලී තමන්ගේම අත කපාගෙන තිබුනා. මෙලීගේ අතින් ගොඩක් ලේ ගිහින් මරණාසන්නව ඉද්දි එයාගේ අම්මා මං ඉස්සරහා අඬ අඬ මෙලීට ආදරේ කරන්න කියලා බැගෑපත් වුනා. අම්මා කෙනෙක් තමන්ගේ දුව වෙනුවෙන් එහෙම බැගෑපත් වෙද්දි, අම්මා කෙනෙක් නැති මගේ හිතට ඒක ලොකු බලපෑමක් වුනා. අවසානෙදි මම මෙලීට කැමැත්ත දුන්නේ එයාගේ අම්මා මගෙන් කරපු ඉල්ලීම නිසයි.

මෙලීගේ තාත්තා දේශපාලනඥයෙක්. එයාට බලය, සල්ලි වගේම ගෞරවයත් ඇති වෙන්න තිබුනා. මම මෙලීට කැමැත්ත දුන්නාට පස්සේ මෙලීගේ පවුලේ අයයි අපේ පවුලේ අයයි ගොඩක් හිතවත් වුනා. මෙලී ගේ අම්මා යි තාත්තා යි මට ගොඩක් ආදරෙන් සැලකුවා. ෂෙරිලුයි මගේ තාත්තායි මම කරපු දේ ගොඩක් අගය කළා. මම මෙලීගේ පවුලට සම්බන්ධ වුන එක ෂෙරිල්ගේයි තාත්තාගෙයි ව්‍යාපාර දියුණු කරගන්න හොඳ අවස්ථාවක් වුනා.
මගේ ජීවිතේ මොන මොන පෙරළි සිද්ධ වුනත් එක මිනිත්තුවකටවත් මට මීෂාව අමතක කරන්න බැරි වුනා. මම එයා ගැන කොයි තරම් හිතුවද කියනවා නම් රෑ හීනෙනුත් මට එයාව පේන්න පටන් ගත්තා.

“ඔයා හැම වෙලේම මොනවා හරි කල්පනා කරනවා.”
දවසක් මෙලී මං ළඟට ඇවිත් කිවුවා. ඒ වෙලාවෙත් මම කල්පනා කර කර උන්නේ මීෂා ගැනයි. ඒත් මම මොකුත් නොකියා හිනා වුනා.

“මොනවා ගැනද හිතන්නේ.....?” මෙලී ආයෙත් ඇහුවා.

“විශේෂ දෙයක් නෙවෙයි”

“වෙන කෙල්ලෙක් ගැනවත් හිතනවද...?”

“නෑ.... එහෙම දෙයක් නෑ......” මම යන්තම් හිනාවෙලා එහෙම කියලා අහක බලා ගත්තා.

“මට ඇත්ත කියන්න..... කෙල්ලෙක් ගැන නේද හිතන්නේ....?” මෙලී කටහf`ඞ් සැර වැඩි කරලා ඇහුවා.

“ඔව්....... කෙල්ලෙක් ගැන තමයි.” මම එහෙම කියද්දී ම මෙලී තරහින් දත්මිටි කෑවා.

“මෙලී... මම විහිලුවක් කලේ...” මෙලී ඇස් වල කඳුලු පුරවන් ආපහු යන්න හදද්දි මම කිව්වා.

“කවුරු ගැන හිතුවාත් ඔයා මගේ විතරයි..... ඔයායි මායි අතරට කාටවත් එන්න බෑ.... එහෙම ආවාත් අපේ තාත්ති ඒ කෙල්ලව ඉතුරු කරන එකක් නෑ....” මෙලී මං දිහා බලලා එහෙම කියලා එතනින් යද්දි මම මොකුත් නොකියා බලාගෙන උන්නා.

“ෂේන් උඹේ කෙල්ල නම් අමාරුකාරියක්. හොඳට හිතලා තීරණයක් ගනින්.... නැත්නම් පස්සේ දුක් වෙන්න වෙයි.” එක පාරටම එතනට ආව මගේ යාලුවා කෙවින් මට එහෙම කිව්වා.

“මෙලී කියන්නේ මම ආස කරන විධියේ කෙල්ලෙක් නෙවෙයි කියලා මම දන්නවා. ඒත්, මම එයාට වචනයක් දීලා ඉවරයි. මං ළඟ වචන දෙකේ වැඩ නෑ කියලා උඹ දන්නවනේ....? මෙලී මට ගැලපුනත් නැතත් මම බඳින්නේ එයාව ම තමයි.....”

“උඹට පිස්සුද...? ඒකි උඹේ ගර්ල් ෆ්‍රෙන්ඞ් තමයි... ඒ වුනාට උඹ ඒකිව බඳින්න ම ඕනා කියලා නියමයක් නෑනේ. දැන් බලපන් අනිත් කොල්ලෝ දිහා...... අද ඉන්න කෙල්ල එක්ක නෙවෙයි හෙට ඉන්නේ..... ඔය කොල්ලෝ උන්ගේ කෙල්ලන්ට දෙන පොරොන්දු ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙද්දි කඩලා දානවා.....” කෙවින් කියවාගෙන ගියා.

“මෙලීට වුන පොරොන්දුව කඩන එක නම් මට ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි කෙවින්...... මට කඩන්න බැරි මෙලීගේ අම්මාට දුන්න පොරොන්දුවයි..... මෙලීගේ අම්මා මගේ අම්මා නමින් දිවුරවා ගත්තා මෙලීව කවදාවත් අත් අරින්නේ නැතුව එයා එක්ක ම ඉන්නවා කියලා.”

“මොකක් ? කපටි අම්මණ්ඩියෙක්නේ.... පුදුමයක් නෑ මෙලී ඔහොම වෙච්ච එක.... අම්මායි දුවයි උඹව ගාණට හිරකරලා දැම්මා නේද ?”

“මෙලීගේ අම්මාට මොකුත් කියන්න එපා. එයාත් අම්මා කෙනෙක්. ඕනම අම්මා කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවන්ගේ සතුට...”

“අනේ මන්දා ෂේන් උඹ නම්..... ඉතින්, දැන් උඹ ඔය හැම වෙලේම කල්පනා කර කර ඉන්නේ උඹ හිර වෙලා ඉන්න මර උගුල ගැනද ?”

“අපෝ නෑ බං....... මම මේ මීෂා ගැන හිතුවේ....”

“මොකක් ? තවමත් ? උඹ තවමත් ඔය හැම වෙලේම කල්පනා කරන්නේ එතකොට මීෂා ගැනද ?”

“ඔව්.... ළඟකදි ඉඳලා මීෂාව හැමදාම හීනෙන් පේනවා. මගේ ඔලුවෙන් එයාව අයින් වෙන්නෙම නෑ. එයාට නම් දැන් මාව අමතක වෙලාත් ඇති”

“ම්ම්..... මං අහලා තියෙනවා අපිට නිතරම කාව හරි හීනෙන් පේන්නේ ඒ කෙනා අපි ගැන හිතද්දි කියලා. සමහරවිට මීෂාටත් උඹව මතක් වෙනවා ඇති.”

“ඒ කතාව ඇත්තක්ද...?”
-----------------------------------------
  

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02