ඇගේ මිතුරිය - 03

ඇගේ මිතුරිය - 03 - අවසන් කොටස

©උපුටා ගැනීම තහනම්


දින කිහිපයක් ගතවන විට මට මාෂ්ගේ වෙනසක් දැකගත හැකි විය. ඇය ටිකෙන් ටික උදාසීන වෙමින් කල්පනා කරන අයුරු මට පෙනිණි. 

"ඒයි, මොකක්ද අවුල ?" මා දිනක් ඇයගේ කාමරයේ දොර අසලට ගොස් ඇසුවෙමි. ඇය සිටියේ ඇඳ මත වැතිරීගෙනය.

"ඔයාට මොකටද ? ඔයා මං ගැන වධ වෙනවා වගේ බොරුවට රඟපාන්න එපා..." මාෂ් කතා කළේ අපහසුවෙනි. මගේ හිතට ක්ෂණික භීතියක් ඇති වූයේ ඇගේ සුලු වෙනස්කමක් පවා මා හොඳින් හඳුනන බැවිනි.

"මාෂ්.... ඔයා අසනීපෙන්ද ?" මා ඉක්මණින් ඇය අසලට ගොස් ඇයව මා වෙතට හරවා ගතිමි. මාෂ්ගේ ඇස් දෙකොණින් එක්වර ම කඳුලු බිඳු දෙකක් ගලා යන විට ඇය ඒ දෑසින් මා දෙස බලා සිටියාය.

"මාෂ් ?" මම ඇයගේ ඇඟට අත තබා බලමින් කීවෙමි. ඇයගේ ශරීරයේ උෂ්ණත්වය බෙහෙවින් ඉහල ගොස් ඇති බැව් මගේ අතට දැනේ.

"දෙයියනේ, මෙච්චර උණ හැදෙනකල් සද්ද නැතුව උන්නේ, තමුසෙට පිස්සුද ?" මා එසේ කියමින් ඇයව ඇඳේ හිඳවූවෙමි.

"ඉක්මණින් යමු බෙහෙත් ගන්න...." මා ඇයව නැගිටුවන්නට තැත් කරමින් කීවෙමි.

"මට බෑ. කකුල් දෙක පණ නෑ වගේ...." මාෂ් අමාරුවෙන් කීවාය. මම එය අසා ඇයව හරහට ඔසවා ගතිමි.

"සමාරා දකියි...." ඇය අපහසුවෙන් කීවාය.

"දැකපුවාවේ..." මම එසේ කියමින් ඇයව ඔසවාගෙන පහත මාලයට ගියෙමි.

"ශේමික.... මොකද වුනේ ?" සමාරා බියෙන් දිවගෙන එන විට අනෙක් නිවැසියන් ද අප දෙස බැලුවේ පුදුමයෙනි.

"එයාට හොඳට ම අසනීපයි...." මා එපමණක් කියා ඇයව රැගෙන ගොස් කාරයට දමා ගතිමි.

"ඉන්න, මාත් එන්නම්...." සමාරා ද කාරයට ගොඩ විය. ඇය මාෂ්ව තම ඇඟට වත්තම් කරගෙන සිටින අතර මම කාරය පදවාගෙන ගියෙමි.

"ඇයි මාව දාලා ගියේ ?" මාෂ් එක්වර ම උණ විකාරයෙන් මෙන් දොඩවන විට මම ගැස්සුනෙමි.

"ඇයි මට මෙහෙම වුනේ ?" මාෂ් යළි කීවාය.

"අනේ බබී.... පොඞ්ඩක් ඉවසන්න..." සමාරා ඇයව සනසන්නට උත්සාහ කළාය.

"ශේමික...." මාෂ් එක්වර ම කීවෙන් තිගැස්සුනේ මා පමණක් නොව, ඉදිරිපස ඇති කණ්නාඩියෙන් මා දුටුවේ සමාරා පුදුමයෙන් බලා සිටින අයුරුය.

"එයා මැරුනා...." එසේ කී මාෂ් එක්වර ම හඬන්නට පටන් ගත්තාය.

"ඉමාෂි.... ඉමාෂි...." සමාරා කෑ ගැසුවත් මාෂ් හඬන්නට වූයේ මළ ගෙදරක මෙන් අඳෝනා තබමිනි.

"මාෂ්..." මම සැරෙන් කෑ ගැසුවේ ඇගේ හැඬුම එන්න එන්නට ම උත්සන්න වූ තැනය.

"එයා මැරුනා...." මාෂ් එසේ පවසා නිහඬ වූවාය. ඇයව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සමාරා මා අසළට පැමිණ මා දෙස බලා සිටියේ දහසකුත් ප්‍රශ්න සිතේ දරාගත් එකියක මෙනි.

"එයායි ඔයායි අතර..., මොකක් හරි දෙයක් තියෙනවා. එහෙම නේද ?" සමාරා අපහසුවෙන් මෙන් ඇසුවාය.

"ඔව්.... එයාට මං කාලයක් ආදරේ කළා...." මා කී දේ අසා සමාරා තදින් තොල්පට සපාගත්තාය. සුලු මොහොතක් නිහඬව ගෙවී ගියේය.

"ඒක තමයි මගේ කොල්ලාගේ නම ශේමික කියලා කියපු දවසේ ම ඉමාෂි අවුල් ගියේ." සමාරා ඉවත බලාගෙන කීවාය.

"මම ඔයා ගැන කියද්දි එයා අහගෙන ඉන්නේ තරහෙන් කියලා මට කීප වතාවක් ම හිතුනා. ඒත්, මම ඒක එච්චර හිතට ගත්තේ නෑ..." සමාරා යළි කීවාය.

"අඩු තරමේ ඔයාවත් මට කිව්වේ නෑනේ.." සමාරා එසේ පවසන විට ම ඇයට හැඬුම් ආවාය. මම දුකෙන් ඇයව තුරුලු කරගත්තෙමි.

"මට සමාවෙන්න. එයා ඔයාගේ හොඳ ම යාළුවා වෙනකොට, මම එයා ගැන ඔයාට කොහොම කියන්නද කියලා මට හිතාගන්න බැරි වුනා."

"ඉතින්, මොකද ඔයාලා දෙන්නාට වුනේ ?" සමාරා එක්වර ම හිස ඔසවා ඇසුවාය.

"ඔයා දන්නවනේ මං ගැන. මම ඉස්සර දුප්පත් කොල්ලෙක්. සමාරා කියන්නේ ඒ පළාතට ම උන්න පෝසත් ම කෙල්ල. ඒ මදිවාට වලව් පැළැන්තියේ. අපේ සම්බන්ධය දැනගත්ත දවසේ ම එයාගේ තාත්තා මැරයෝ දම්මලා මට හොඳට ම ගැහුවා. මම සති දෙකක් ඉස්පිරිතාලේ උන්නා. මාෂ්ට ගෙදරින් එළියට බහින්න තහනම් කරලා තිබුණා. ඒ මොනවා වුනත්, මාෂ් හැමදාම හොරෙන් මාව බලන්න ආවා. ඔයා දන්නවනේ එයාගේ හැටි.... හිතුනොත් ඕන ම දෙයක් කරන්න එයාට පුළුවන්." මම එසේ කියමින් සිනාසුනත් හදවත යට ඇවිලෙමින් තිබුණේ මහා ගින්දරකි.

"ඉතින්, ඊට පස්සේ ?"

"ඊට පස්සේ එයාගේ තාත්තා අපේ ගෙට ගිනි තිබ්බා. අපිට පොලීසියෙන්වත් කිසිම සරණක් තිබුණේ නෑ. ගේ ආයෙත් හදාගන්නකල් අපිට ඉන්න තැනක් නැති නිසා වගේම අපේ ගමේ අපිට ආරක්ෂාවක් නැති වුන නිසා අපි කාටත් නොකියා ම තාත්තාගේ ගමට ගියා. අනුරාධපුරේ.... එහෙ දි මම එයාව සම්පූර්ණයෙන් අමතක කරලා දැම්මා." මම සුසුමක් හෙළමින් කීවෙමි.

"ඒ කියන්නේ ඔයා එයාට ආදරේ කළේ නෑ ?"

"මම ගොඩක් ආදරේ කළා.... ඒත් මාෂ් වෙනුවෙන් මගේ පවුලේ අයගේ ජීවිතේ අනතුරේ දාන්න මට බැරි වුනා. මට එයාගේ තාත්තා එක්ක හැප්පෙන්න ඒ කාලේ ශක්තියක් තිබුනේ නෑ. මට එතකොට අවුරුදු විසි එකයි. මම හිතුවා මාෂ් මාව අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගනියි කියලා. ඒත්..."

"එයා අලුත් ජීවිතයක් පටන් අරගෙන නෑ...." සමාරා දුකෙන් බිම බලාගෙන කීවාය.

"ඔව්..." මම ද සුසුමක් හෙලමින් කීවෙමි.

"සමාරාගේ තාත්තා නිසා ම මම තේරුම් ගත්තා දුප්පත් මනුස්සයෙක් සල්ලිකාරයෙක් ඉස්සරහා කොයි තරම් නීච වෙනවද කියන එක. ඒ නිසා මට ඕන වුනේ සල්ලිකාරයෙක් වෙන්නයි. මම ඒක කළා. මම අපේ දුප්පත් ගේ තිබුන තැන ම මාෂ්ගේ තාත්තාගේ වලව්වට වඩා ලොකු ගෙයක් හැදුවා. ඒත්, ඒවා දකින්න එයාලා ලංකාවේ උන්නේ නෑ. එයාලා හැම කෙනෙක් ම හදිසියේ ම ප්‍රංශයට ගිහින් තිබුනා."

"ඔව්... මාෂ් එහේ අවුරුදු පහක් උන්නා." සමාරා කීවාය.
කොහොමද ඔයාට එයාව මුණගැහුනේ ? මම ඉන්පසු ඇසුවෙමි.

"එයාව මම අඳුරගත්තේ ෆේස්බුක් එක හරහා. එයා ගොඩක් හොඳ යාලුවෙක්.... එයා කලින් වතාවකුත් ලංකාවට ආවා. ඒ වතාවෙත් එයා ගෙදර නොගිහින් මෙහේ නතර වුනා. එයා එයාගේ ගමට යන්න අකමැති ඇයි කියලා මට දැන් තේරෙනවා."

"එයා පවුලේ අය එක්ක හදිස්සියේම ප්‍රංශයට ගිය හේතුව දන්නවද ?"

"ඔව්.." සමාරා ඉවත බලමින් කීවාය.

"මොකක්ද ?"

"ඉමාෂිට දරුවෙක් ලැබෙන්න උන්න නිසා..." සමාරා කී දේ අසා මගේ දෙපා වෙවුලන්නට විය.

"මො... මොකක් ?" මා එසේ පවසන විට සමාරා කඳුලු පිරි දෙනෙතින් මා දෙස බැලුවාය.

"ඉමාෂි යාලු වෙලා උන්න කොල්ලා ගිය දිහාවක් කවුරුත් දැනගෙන ඉඳලා තිබුනේ නෑ. ඉමාෂිගේ තාත්තා එයාව හොයලා හොයලා බැරිම තැන, ඒ රහස ගමේ අය දැනගන්න කලින් ඉමාෂිගේ පවුලේ හැම කෙනෙක් ම එක්කගෙන ප්‍රංශයට ගිහින්. ගමේ කවුරුත් ම දන්නේ නෑ ඉමාෂිට දරුවෙක් ලැබුන බව..."

"ඔයා කියන්නේ, ද....දරුවාගේ තාත්තා ?"

"ඔයා..."

"නෑ...."

"නෑ නෙවෙයි, ඔව්.... ඉමාෂි ආදරේ කරපු කෙනාගේ නම මට කවදාවත් නොකිව්වත් මම දැනගෙන උන්නා ඉමාෂි මුලු ජීවිත කාලෙට ම ළං වුනේ එක ම කොල්ලාටයි කියලා..." සමාරා එසේ කියමින් අසල තිබූ අසුනකට බර වූවාය. මම ද ඇය අසලින් ම වාඩි වූයේ දෙපා පණ නැත්තෙකු මෙනි.

"දැන් කෝ ඒ දරුවා ?" මම වෙවුලන හඬින් ඇසුවෙමි.

"එයා ඉපදිලා මාසයෙන් නැති වුනා..."

"මොනවා ?" මම දරාගත නොහැකි වේදනාවෙන් කීවෙමි.

"මම මහා පවුකාරයෙක්..." මම දෑත් මිටමොලවාගෙන කීවෙමි.

"ඔයා විතරක් නෙවෙයි ශේමික, ඉමාෂිත් වැරදියි. ඉමාෂිගේ තාත්තා ත් වැරදියි.... කසාද බැඳලා කරන්න ඕන දේවල් ඊට කලින් කරන්න ගියා ම ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. අවංකව ම ආදරේ කරන දෙන්නෙක් ව වෙන් කරන අයටත් කවදා හරි ඒ පාපය පල දෙනවා." සමාරා පවසන වදන් මා අසා සිටියේ වේදනාත්මක හදවතකිනි. එය පසුතැවීමෙන් පිරී බර වී යනු මට දැනෙන්නට විය.

"ඔයාට අවුරුදු විසි එකකින් පුලුවන්කම තිබුනා නම් ඔයාගේ ජීවිතය ජය ගන්නවා කියලා අධිශ්ඨාන කරන්න, ඇයි ඔයාට බැරි වුනේ ඉමාෂිව ඔයාගේ කරගන්න...? අවුරුදු විසි එකක් කියන්නේ නොතේරෙන වයසක් නෙවෙයි ශේමික. ඔයා ඒ මදිවාට ඒ කෙල්ලව අනාථ කරලා දාලායි යන්න ගිහින් තිබුනේ. දුප්පත් වුනත්, පෝසත් වුනත් කෙල්ලෙකුට තමන්ගේ පිරිසිදුකම එක සමානව වටිනවා. ඔයාගෙත් කොන්ද පණ නෑ..." සමාරා කියවන්නේ කෝපයෙනි. මා එවදන් අසා උන්නේ වරදකාරී හැඟීමෙනි.

"මම මේ සම්බන්ධය නවත්තනවා.." සමාරා එක්වර ම කී දේ අසා මම විදුලි වේගයෙන් හිස ඔසවා ඈ දෙස බැලුවෙමි.

"සමාරා ? ප්ලීස්.." මා කියන විට ඇගේ ඇස්වලින් කඳුලු ගලා යනු මා දුටුවෙමි.

"මම ඔයාව අත අරින්නේ ඔයයි ඉමාෂියි අතර සිද්ධ වෙලා තියෙන දේවල් නිසා නම් නෙවෙයි..."

"එ... එහෙනම් ?"

"ඔයා, ඔයාගේ ආදරය අත අරින්න තරම් කොන්ද පණ නැති කෙනෙක් වුන නිසයි..." සමාරා පවසන විට මම ගැහෙන හදවතින් යුතුව බිම බලා ගතිමි.

"අඩු තරමේ එයා ආයෙත් ඔයාගේ ඉස්සරහාට ඇවිල්ලාත් ඔයාට බැරි වුනා එයාව ආයෙත් ඔයාගේ කරගන්න."

"ඒත්, මම එහෙම කළා නම් ඔයාට මොකද වෙන්නේ ?"

"මට වෙන්නේ ද ? මට වෙන්නේ මගේ හොඳම යාලුවාගේ ආදරේ එක්ක ජීවිත කාලේ ම පවුල් කන්න."

"සමාරා..." මම දුකෙන් කීවෙමි.

"යන්න.... ඔයාගේ මාෂ් ළඟට..." සමාරා දුකෙන් පවසා එතනින් නැගිට ගියාය. මම වේදනාවෙන් ඈ යන දෙස මොහොතක් බලා සිටියෙමි. ඉන්පසු මා මාෂ් ළඟට ගියේ ඇගෙන් සමාව අයදීමටත් ඇයව ඉක්මණින් මගේ කරගැනීමටත් සිතාගෙන ය.

"ශේමික.... මට දැන් ගොඩක් හොඳයි. ඔයා ගෙදර යන්න. තව ටිකකින් මගේ තාත්තායි ගෙදර අයයි මෙතනට එනවා. මම කැමති නෑ එයාලා ඔයාව මාත් එක්ක ඉන්නවා දකිනවාට." මාෂ් මා දුටු විගස කීවාය.

"මාෂ්..." මම වෙවුලන හඬින් කතා කළෙමි.

"යන්න ශේමික.... සමාරාව හොඳින් බලාගන්න.... ඔයා එයාව බඳින්න යන නිසා මටත් පුලුවන් වුනා හිත හදාගන්න. ඔයාට මතකනේ එදා මම කතා කරපු ප්‍රංශ පිරිමි ළමයා.... එයා මට ගොඩක් ආදරෙයි. එයායි මායි ලබන මාසේ කසාද බඳිනවා." මාෂ් කී දේ අසා මගේ දෙපා යළිත් පණ නැතිව යනු මට දැනිණි.

"මොනවා ?"

"මට ඕන වුනේ තව එක පාරක් ඔයාව බලාගන්නයි. ඒ නිසායි මම ආවේ. මම පොරොන්දු වෙනවා ආයෙත් කවදාවත් ඔයායි සමාරායි අතරට නොඑන්න.... මම ආයෙත් ලංකාවට එන්නේ නෑ." මාෂ් පවසන දේවල් මට ඇසුනේ සිහිනයෙන් මෙනි.

"මාෂ්, ඔයාට මට කියන්න තව මොනවා හරි තියෙනවද ?" මම වෙවුලන හඬින් ඇසුවේ අපේ දරුවා ගැන ඇයගෙන් ම දැනගැනීමට සිතාගෙන ය.

"ඔව්, මම ඔයාට සමාව දුන්නා." මාෂ් කීවේ එපමණකි.

"වෙන මොකුත් ?"

"නෑ, එච්චරයි. දැන් යන්න.." මාෂ් සැනසුම් සුසුමක් හෙලමින් කියනු මට මතකය.

මම හෙමින් ආපසු එන්නට හැරුනෙමි. සමහරවිට මා ඇයව නවතාගත යුතුව ඇත. සමාරා තවදුරටත් මා සමඟ නොවන බව ඇයට කිව යුතුව ඇත. දෛවය යළිත් මට ලබා දුන් අවස්ථාව මා නැති කරගත යුතු නැත. මා මගේ ආදරය මගේ ම කරගත යුතුය. මගේ කටකාර, ආඩම්බරකාර මාෂ්, ඇය මගේ විය යුතුය. එහෙත් සමාරා කී දේ නිවැරදි කරමින් මා යළිත් කොන්ද පණ නැති එකෙකු මෙන් රෝහලින් පිටතට ඇවිදිමින් සිටියෙමි. එහෙත් එය මා ගත් නිවැරදි ම තීරණයයි.

මගේ මාෂ් හිමි විය යුත්තේ මා වැනි දුර්වල කෙනෙකුට නොවේ. කඩවසම්, ආදරණීය ප්‍රංශ තරුණයෙකුටය....

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02