කුඩම්මාගේ දුව - 10
කුඩම්මාගේ දුව - 10
©උපුටා ගැනීම තහනම්
මීෂා හැමදාම මාත් එක්ක ඉන්නවා කියන එක මට දැනුනේ හීනයක් වගේ. මම මගේ කාමරයට ගිහින් කමිසය ගලවලා ඇඳේ දිගා වෙලා කල්පනා කලේත් මීෂා ගැනයි. ටික වෙලාවකට පස්සේ ඇඳෙන් නැගිටලා ගිහින් ජනේලයෙන් එලිය බලද්දි මම මීෂාව දැක්කා. එක පාරටම ඒ මීෂාමද කියලා මට අඳුරගන්න බැරි වුනේ එයා ඇඳගෙන හිටපු කොට ගවුම නිසයි. එයා මල් පැල වලට වතුර දාන ගමන් මං දිහා බලාගෙන හිනා වුනා.
මට මීෂාව පෙනුනේ වෙනදා වගේ නෙවෙයි. එයාගේ ඇඳුමේ වගේම එයාගේ හිනාවෙත් තිබුනේ ආකර්ෂණීය බවක්. එයා ඔලුවෙන් මට පහලට එන්න කියලා සංඥාවක් දුන්නා. මම ඉක්මණට ජනේලය ළඟින් අයින් වෙලා පහලට ගියා. මම මිදුලට ඇවිත් එක පාරටම නතර වෙලා මීෂාගේ ලස්සන පෙනුම දිහා වශී වෙලා වගේ ටික වෙලාවක් බලාගෙන උන්නා. මීෂාගේ කකුල් මෙලීගේ කකුල්වලට වඩා ගොඩක් ලස්සනයි කියලා මට ඒ වෙලාවේ හිතුණා.
“එන්න. මේක අල්ලගන්න....” මීෂා වතුර බටය මගේ අතට දීලා මල් පෝච්චියක් උස්සගෙන ආවා.
“ඔය මොකක්ද ?”
“රෝස පැලයක්....”
“ඇයි මෙතනට ගෙනාවේ.........”
“රෝස මල් පිපෙන්න හොඳට ඉර එලිය තියෙන්න ඕනා.”
“හ්ම්.... ආයේ බර උස්සන්න එපා. තව මොනවා හරි පෝච්චි උස්සන්න ඕන නම් මට කියන්න.”
“හ්ම්ම්...” මීෂා හිනා වෙලා ඔලුව වැනුවා.
“ඇයි අද ඔහොම ගවුමක් ඇන්දේ...?” මම අහද්දි මීෂා එකපාරට ම මං දිහා බැලුවා.
“ඇයි...? කැතයිද......?”
“නෑ....... ලස්සනයි... ඒත්... ඔයා ඔය ඇඳුම ඇන්දහම වෙනස්.”
“වෙනස් කිව්වේ...?” මීෂා එහෙම අහද්දි මට ඒකට උත්තර දෙන්න පුලුවන් වුනේ නෑ.
“ඔය ඇඳුම ඔයාට ලස්සනයි.... හැබැයි ඔහොම අඳින්නේ ගෙදරදි විතරයි තේරුණාද...?” මම එහෙම කියද්දි මීෂා බිම බලාගෙන තනියම හිනා වුනා.
“ඇයි වෙන අය මාව මෙහෙම දකිනවාට ඔයා කැමති නැද්ද....?” මීෂා ඇහුවා.
ඇත්තටම මම කැමති නෑ මීෂාව මේ විධියට වෙන පිරිමියෙක් දකිනවාට. ඒත් ඒ බව මීෂාට කියන්න මගේ දිව නැමුනේ නෑ. මම මොකුත් නොකියා බලාගෙන ඉද්දි මීෂා හෙමින් මං ළඟට ආවා.
“ඕක දෙන්න.....” මීෂා මගෙන් වතුර බටය ඉල්ලද්දිත් මම එයා දිහා බලාගෙන ම උන්නා.
“ඕක දෙන්න...” මීෂා දඟකාර විදියට හිනා වෙලා මගේ අතින් වතුර බටය ඇදලා ගත්තා.
වෙනදා මීෂාගේ පෙනුන අහිංසකකම නැති වෙලා එයා ගොඩක් දඟකාර විධියට හැසිරෙද්දි මම කුතුහලයෙන් එයා දිහා බලාගෙන උන්නා.
“ඔයා ජිම් එකකට යනවද....?” මීෂා වතුර දාන මං දිහා හොරැහින් බලලා ඇහුවා.
“කව්ද කිව්වේ මම ජිම් යන බව.......?”
“කව්රුත් නෑ......”
“එහෙනම් කොහොමද දැනගත්තේ ?”
“ඔහොම ඉන්නකොට ඕනම කෙනෙකුට පේනවානේ.......” මීෂා අහක බලාගෙන ම කිව්වා.
“ඇයි අද විතරද මාව මෙහෙම දැක්කේ.......? එදා මම නාලා එලියට එද්දි ම ඔයා කාමරයට ආවේ.”
“එදා...... මම හරියට බැලුවේ නෑනේ.”
“එහෙනම්...... අද බැලුවද ?” මම මීෂා ළඟට ම කිට්ටු වෙලා එහෙම අහද්දි එයා මගේ ඇස් දිහා බය වෙලා වගේ බලාගෙන උන්නා.
“මං........ බැලුවේ නෑ.” මීෂා හෙමින් කිව්වා.
එයා වේගයෙන් හුස්ම ගන්න බව මම දැක්කා. මම මීෂාට ළං වෙද්දි එයා බය වෙන එක ගැන මුල් වතාවට මගේ හිත යට ආසාවක් ඇති වුනා. ඒ වෙලාවේ මගේ හිතේ ඇති වුන හැඟීම කලින් මට දැනුන හැඟීමක් නෙවෙයි.
“ඇයි හැම වෙලාවෙම මට බය වෙන්නේ ?” මම හෙමින් ඇහුවා.
“මීෂා.....”
එක පාරටම ලුසී මීෂාට කතා කරගෙනම එලියට එද්දි එයා අපිව දැක්කෙත් අපි එයා දිහා බැලුවෙත් එකටමයි. ලුසී ටික වෙලාවක් ඇස් ලොකු කරගෙන අපි දිහා බලාගෙන උන්නා. මම ඕනාවටත් වඩා මීෂා ළඟට ලං වෙලා ඉන්න බව මට දැනුනේ එතකොටයි.
“මීෂා.... මෙහේ එන්න..” ලුසී වෙවුලන හඬකින් කතා කලා.
මීෂා වතුර බටය මගේ අතෙන් තියලා ලුසී ළඟට දුවගෙන ගියා. සිද්ධ වුන දේ ගැන කල්පනා කරන ගමන් මම ඉතිරි මල් පැල ටිකට වතුර දැම්මා. මම ආයෙත් ගේ ඇතුලට යද්දි මීෂා කලින් ඇඳගෙන උන්න ඇඳුම මාරු කරලා මුලු ඇඟම වැහෙන්න වෙනත් ඇඳුමක් දාගෙන උන්නා.
“ෂේන්... කමිසයක් දාගෙන තේ බොන්න එන්න.”
ලුසී මම කමිසය නැතුව ඉන්නවාට අකමැත්තෙන් වගේ එහෙම කියද්දි මීෂා මං දිහා හොරැහින් බලන හැටි මම දැක්කා. තේ මේසයේදී මීෂා මා එක්ක කතා කලේ නෑ. මම එයා දිහා බලාගෙනම උන්නත් එයා මං දිහා බැලුවෙත් නෑ.
“මොකද ඔයාට වෙලා තියෙන්නේ..? ලුසී මොනවා හරි කිව්වද ?”
ලුසී කුස්සියට ගිය ගමන් මම මීෂාගෙන් ඇහුවා.
“මං.... තේ බීලා ඉවරයි. කාමරයට යන්නම්...”
මීෂා එහෙම කියලා පුටුවෙන් නැගිට්ටා.
“ඔහොම පොඞ්ඩක් ඉන්න....” මම එහෙම කියද්දිත් මීෂා යන්න යද්දිම මම එකපාරටම නැගිටලා කේන්තියෙන් එයාව අල්ලගෙන බිත්තියට තද කරගත්තා.
“මොකද හිටපු ගමන් ඔයාගේ වෙස් පෙරලෙන්නේ ?” මම තරහින් අහද්දි මීෂා බය වෙලා මං දිහා බලාගෙන උන්නේ හරියට නාඳුනන කෙනෙක් දිහා බලනවා වගේ.
“සොරි........” මම එයාව අත ඇරලා කාමරයට ගිහින් දොර වහ ගත්තා. මට දැනුනේ මගේ මුලු ඔලුවම අවුල් වෙලා වගේ.
“ෂේන් දොර අරිනවා.....” ටික වෙලාවකින් තාත්තා ඇවිත් දොරට තඩිබාන්න ගත්තා.
“මොකද ?” මම දොර ඇරලා තරහින් ඇහුවා.
“මෙලී අත කපාගත්තේ ඇයි ?”
“මම කොහොමද දන්නේ ?”
“මොනවද තමුසේට වෙලා තියෙන්නේ ? තමුසේ අර කෙල්ල හින්දා මෙලීව මරාගන්නද හදන්නේ ?”
“මේ ප්‍රශ්නෙට මීෂාව ගාවගන්න එපා. මෙලීගේ මෝඩ වැඩ වලට ඒ අහිංසක කෙල්ල මොනවා කරන්නද ?”
“මීෂාව ගාවගන්නවා නෙවෙයි. ඒත් ඔයා මීෂා ආවට පස්සේ මෙලීව ගණන් ගන්නේ නෑ....”
තාත්තා එහෙම කියද්දි මම මොකුත් නොකියා බිම බලාගත්තේ තාත්තා කියන කතාව ඇත්ත කියලා මමත් දැනගෙන උන්න නිසයි.
“කතා කරනවා මනුස්සයෝ....”
“මට කතා කරන්න දෙයක් නෑ.”
“තමුසේ මහා මෝඩයෙක්. බලනවා මෙලීට කොයි තරම් දේපල තියෙනවද කියලා. තමුසේ අර ආතක් පාතක් නැති කෙල්ල නිසා ඒ සේරම නැති කරගන්නද හදන්නේ...?”
“මොකක්ද කිව්වේ....?” මම තරහින් තාත්තා දිහා බලලා ඇහුවා.
“ඇයි මීෂා ගැන එහෙම කියද්දි දුකයිද ? මේ අහනවා. මම ෂෙරිල්ව බැඳපු බව ඇත්ත. ඒත් එහෙම වුනා කියලා මම කවදාවත් මීෂාට තාත්තා කෙනෙක් වෙන්නේ නෑ. ඔයා එයාට අයියා වෙන්නෙත් නෑ. බලනවා..., ෂෙරිල්ටවත් නැති අමාරුවක්නේ තමුසේට මීෂා ගැන තියෙන්නේ....”
“මීෂා ගැන ඔය විදිහට කතා කරන්න එපා. මට ඒක ඉවසන්න බෑ. පොඩි කාලේ තාත්තා ම නේද කිව්වේ එයා මගේ නංගි කියලා ? තාත්තා ආයෙත් මීෂා ගැන අද කතා කලා වගේ කතා කලොත් සමහරවිට ඔයා මගේ තාත්තා කියන එකත් මට අමතක වෙයි.”
“මොකක්... මොකක්ද තමුසේ කිව්වේ ? තමුසේගේ ඔලුව ඉදිමිලා තියෙන්නේ මේ දේපල තමුසේට අයිති වෙයි කියලා හිතලද ? ඒක සිද්ධ වෙන්නේ නෑ. මේ දේපල දැන් මගේ. අම්මා මැරෙන්න කලින් සේරම මගේ නමට ලිවුවා. තමුසේ මෙලීවත් නැති කරගත්තොත් තමුසේට වෙන්නේ මොකුත්ම නැති නිකමෙක් වෙන්නයි. මමත් මේ දේපල ඔයාගේ නමට ලියන්නේ ඔයා මෙලීව බැන්දොත් විතරයි.”
“මට දේපල ඕන නෑ. මට ඕන මගේ ජීවිතේ සතුටින් ගත කරන්නයි.”
“පිස්සා.... තමුසෙට පිස්සු ඕයි.......”
තාත්තා කතා කර කර ඉද්දිම මම ‘දඩාස්’ ගාලා දොර වැහුවා.
“මෝඩයා......” තාත්තා එලියේ ඉඳන් කෑ ගහලා තවත් මොන මොනවාදෝ කිය කිය යන්න ගියා.
ටික වෙලාවකින් ආයෙත් දොරට තට්ටු කරන සද්දේ ඇහෙද්දි මම තරහින් කතා කලේ.
“කව්ද.....?” මම කෑ ගැහුවා.
“මම....” මීෂා බයෙන් වගේ කතා කලා. මම දඩි බිඩි ගාලා ගිහින් දොර ඇරියා.
“සොරි.... මම හිතුවේ තාත්තා කියලා.....”
“ෂේන්...... මම ආවේ දෙයක් කියන්න.”
“මොකක්ද ?”
“මං... මං හෙට හොස්ටල් එකට යන්න කියලා ඉන්නේ....”
“මොනවා ? ඔයා මට කිව්වනේ හැමදාම මාත් එක්ක ඉන්නවා කියලා. ඔයා මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවද....?”
“නෑ...... නෑ...” එහෙම කියද්දි මීෂාගේ ඇස් වල ක`ඳුලු පිරෙන හැටි මම දැක්කා. මීෂා එයාගේ හිතේ මොනවා හරි හංගගෙන කතා කරන බව මට දැනුනා.
“මොකක්ද ප්‍රශ්නේ...? මට කියන්න. ඇයි ඔයා ඔයාගේ හිත වෙනස් කර ගත්තේ ?”
“මට සමාවෙන්න ෂේන්.....”
“සමාව ඉල්ලන්නේ මොකටද ?” මම පුදුමයෙන් ඇහුවා.
“ඔයා මගේ අයියා කියන එක මම අමතක කෙරුවාට.......”
“මට තේරෙන්නේ නෑ... ඔයා ආයෙත් මාව පිට කෙනෙක් කරන්නද හදන්නේ...?” මම පැටලිලි සහගතව අහද්දි මීෂා බිම බලාගත්තා.
“මම මෙහේ ඉන්න එක අපි දෙන්නටම හොඳ නෑ. අපි දෙන්නා කොයි තරම් උත්සාහ කළත් අපිට ඇත්තටම සහෝදරයෝ වෙන්නත් බෑ........ මම නිවාඩුවට ආපහු එන්නම්. එතකොට මල් යායේ තවත් ලස්සනට මල් පිපිලා තියෙයි.” මීෂා එහෙම කියද්දි මගේ හිතට දැනුනේ වේදනාවක්.
“මට තාත්තා කියපු දේවල් ඔයා අහගෙනවත් උන්නද ?” මම එහෙම කියද්දි මීෂා සද්ද නොකර බිම බලන් උන්නා.
“ඇහුනා නේද ? මම හිතුවා.”
“මම යන්නේ ඒ නිසා නෙවෙයි.”
“එහෙනම්...”
“මං.... ඔයාට.... නොකියපු දෙයක් තිබුනා.”
“ඒ මොකක්ද ?”
“මම කෙනෙක්ට ආදරේ කරනවා....”
මීෂා එහෙම කියද්දි එක පාරටම මට දැනුනේ මගේ හදවතට ඊ පාරක් ඇනුනා වගේ.
“මොකක්......? කවුද.....?” මම තරහින් ඇහුවා.
“කව්ද එයා ? මම දන්න කෙනෙක්ද ?” මීෂා මොකුත් නොකියා බලාගෙන ඉද්දි මම ආයෙත් ඇහුවා.
“මම හිතුවා මේ ගැන කිව්වාම ඔයාට දුක හිතෙයි කියලා.” මීෂා පුදුමයෙන් කිව්වා.
“දුක ? දුක නෙවෙයි මට තරහයි..... ඔයා මොකටද දැන්ම කොල්ලෙක් එක්ක යාළු වුනේ ?”
“එයා මට ගොඩක් ආදරෙයි......” මීෂා කිව්වා.
“ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ ? ඔයා මොනවද කොල්ලෝ ගැන දන්නේ ? මට දැන්ම ම එයාව හම්බ වෙන්න ඕනා....”
“එයා... ගොඩාක් හොඳ කෙනෙක්... මම ඒ ගැන දන්නවා.”
“වෙන්න ඇති.... ඒත් ඒක තීරණය කරන්නේ මමයි... මට ඉක්මණට ම එයාව මුණගස්සන්න...”
“හ්ම්..”
“කවද්ද ?”
“සතියකින්.....” මීෂා එහෙම කිව්වම මම මොකුත් නොකියා ටික වෙලාවක් එයා දිහා බලාගෙන උන්නා.
Comments
Post a Comment