කුඩම්මාගේ දුව - 16
කුඩම්මාගේ දුව - 16
©උපුටා ගැනීම තහනම්
“ගුඞ් මෝනිං...” මීෂා එහෙම කියලා බයෙන් වගේ නැගිටලා ගිහින් කාමරේ ජනෙල් ඇරියා. මම එයා දිහා පුදුමයෙන් බලාගෙන උන්නා.
“මීෂා.... ඔයා කොයි වෙලේද ආවේ ?”
“දැන්... ආවා විතරයි.” මීෂා අහක බලාගෙන ම කිව්වා. එයා කිව්වේ බොරුවක් බව මම දැනගෙන උන්නත් මම ඒක දන්න බව එයාට ඇඟෙව්වේ නෑ.
“අද මම කෙවින්ගේ ගෙදර යනවා.” මම ඇඳෙන් බහින ගමන් කිව්වා.
“ඒ ඇයි ?” මීෂා බය වෙලා වගේ ඇහුවා.
“ඇයි මම ඔයාට ඊයේ කිව්වේ. මම අද ගිහින් කෙවින්ගේ තාත්තා එක්ක ඔයාලා දෙන්නා ගැන කතා කරනවා...”
“ෂේන්... එපා....”
“ඇයි...?” මම පුදුමයෙන් ඇහුවා.
“මං.... මට එයාව බඳින්න බෑ....”
“ඒ ඇයි...?” මම එහෙම අහද්දි මීෂා මොකුත් නොකියා බිම බලාගත්තා.
“මොකක්ද අවුල ?”
“මම කවදාවත් කෙවින් ගැන එහෙම හිතලා නෑ.....” මීෂා එහෙම කියද්දි මම පුදුමයෙන් එයා දිහා බලාගෙන උන්නා.
“එයා මට හැමදාමත් හොඳ යාලුවෙක් වුනා. තව වෙලාවකට මගේම පවුලේ කෙනෙක් වගේ. ඇත්තටම, මගේ හිතේ කෙවින් ගැන ලොකු සෙනෙහසක් තියෙනවා. ඒත් ඒක... ඒක... ආදරයක් නෙවෙයි....”
“ඒ කියන්නේ ඔයයි කෙවිනුයි ආදරේ කලේ නැද්ද....?”
“නෑ...”
“එහෙනම් කාටද ඔයා ආදරේ කරන්නේ....?”
“මට.... එහෙම කවුරුත් නෑ.”
“බොරු.... මට ඇත්තම කියන්න. ඔයා ආදරේ කරපු කෙනා ඔයාව දාලා ගියාද ?”
“නෑ.... එහෙම දෙයක් නෑ....” මීෂා බිම බලාගෙන හෙමින් කිව්වා.
“කරුණාකරලා මට කිසිම දෙයක් හංගන්න එපා මීෂා.... එතකොට ඔයා නිකන් ම මාව පිට කෙනෙක් කරනවා. මම හොඳාකාරව ම දන්නවා ඔයාට කොල්ලෙක් උන්න බව. ඒ කොල්ලා ගැන මට දැනගන්න ඕනා. ඒ කොල්ලා ඔයාගේ හිත රිද්දුවා නම් මම ඌව නිකං අත අරින්නේ නෑ....” මම කේන්තියෙන් කිව්වා.
“එයා නෙවෙයි... මමයි එයාව අත් ඇරියේ.” මීෂා හෙමින් කිව්වා.
“ඔයා ? ඇයි එහෙම දෙයක් කලේ ?” මම පුදුම වෙලා ඇහුවා.
“මොකද කිව්වොත්.... එයා ගොඩක් වටින කෙනෙක්. මං වගේ කෙනෙක් එයාට සුදුසු නෑ...”
“මොකක්ද ඔයා වගේ කෙනෙක් එයාට සුදුසු නෑ කියන එකේ තේරුම....? ඔයා වගේ කෙල්ලෙක්ව ලබන්න කොල්ලෝ ඕන දෙයක් කරයි....”
“පිටතින් පේනවට වඩා සමහර දේවල් ගොඩක් වෙනස් ෂේන්.....” මීෂා එහෙම කියලා කාමරෙන් එලියට යද්දි මම පුදුමයෙන් එයා දිහා බලාගෙන උන්නා.
“මීෂා පොඞ්ඩක් ඉන්න....” මම කතා කලත් එයා නතර වුනේ නෑ.
මම දවස් දෙක තුනක් ම කරදර කර කර මීෂාගෙන් එයා ආදරේ කරන කෙනා ගැන ඇහුවා. ඒත් මීෂා මට එයා ගැන කිසිම දෙයක් කිව්වේ නෑ. හැමදේටම උත්තර මීෂාගේ දින පොතේ තියෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තිබුනා. මම බලාගෙන උන්නේ අවස්ථාවක් ලැබෙනකන්.
“ලුසී හෙට මමත් එනවා ඔයා එක්ක පල්ලි යන්න.”
මීෂා සෙනසුරාදා හවස ලුසී එක්ක එහෙම කියනවා ඇහෙද්දි මට තේරුනා මට අවස්ථාවක් ලැබුන බව. මම පහුවදා බොරු අසනීපයක් අරගෙන පල්ලි නොයා ගෙදර නතර වුනා. මීෂා ලුසී එක්ක පිටත් වුන ගමන් මම මීෂාගේ කාමරයට ගියා. කාමරයට ගිය ගමන් මම එයාගේ ලාච්චුව ඇරලා දිනපොත අතට ගත්තා. දිනපොත පෙරලලා බලන්න කලින් මගේ ඇහැ මීෂාගේ කණ්නාඩිය මේසය දිහාවට ගියා. මම ගෙනත් දුන්න ක්‍රීම්, සුවඳ විලවුන්, කොලොන් වර්ග, නිය ආලේපන වගේ ගොඩක් දේවල් වලින් කණ්නාඩි මේසය පිරිලා. ඒ දේවල් දැකලා හිතට ඇති වුන ආසාවෙන් මගේ තොල් වල යන්තම් හිනාවක් ඇඳුනේ ඉබේටමයි.
මම දින පොත අරගෙන මීෂාගේ ඇඳ උඩින් වාඩි වුනා. ඊට පස්සේ මම නවත්තපු තැන ඉඳන් ආයෙත් පොත කියවන්න පටන් ගත්තා.
#මාර්තු 08
--අද පලාත් ගායනා තරඟයෙන් මට පලවෙනි ස්ථානය ලැබුනා. ඔයා අද ළඟ උන්නා නම් මං ගැන ගොඩක් සතුටු වෙයි.--
#මාර්තු 09
--ගායනා තරඟයෙන් ලැබුන පදක්කම තාත්තා ගින්නට විසි කලා. අනවශ්‍ය දේවල් නොකර බාර් එකේ වැඩ ටික හරියට කරන්න කියලා තාත්තා බැන්නා. පදක්කම ගින්නට දාපු බව දැනගෙන ඩීන් තාත්තා එක්ක රණ්ඩු කලා. මං වෙනුවෙන් ඩීන් ප්‍රශ්න දාගන්න එකට මම කැමති නෑ. දැනටමත් සමහරු හිතන්නේ මම ඩීන්ගේ කෙල්ල කියලා.--
“පව් මීෂා. අනික මේ ඩීන් කියන්නේ කාටද......?” මම තරහින් කියා ගත්තා.
#මාර්තු 13
--සුබ උපන්දිනයක් අම්මේ. ඔයා නැතුව අද ෂේන් ගොඩක් දුක් වෙනවා ඇති. ඔයා කොහේ උන්නත් ඉන්න තැනක ඉඳන් ෂේන්ව බලා ගන්න.--
මම පුදුමයෙන් ඒ වාක්‍ය දෙක දිහා ටික වෙලාවක් බලාගෙන උන්නා. මාර්තු 13 කියන්නේ ෂෙරිල්ගේ උපන්දිනය නම් නෙවෙයි. මහාර්තු 13 මගේ අම්මා ඉපදුන දවස.
“මීෂා මගේ අම්මාගේ උපන්දිනයත් දන්නවද ?”
#මාර්තු 15
--අද කෙවින් ආවා. එයා අද මට ආදරෙයි කිව්වා. මේ වගේ දෙයක් කෙවින්ගෙන් අහන්න ලැබෙයි කියලා කවදාවත් මම හිතුවේ නෑ. මට කවදාවත් කෙවින්ට ආදරේ කරන්න බෑ. මගේ හිතේ හැමදාමත් ඉඩ තියෙන්නේ එක්කෙනෙකුට විතරයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.--
“ඔයා ආදරේ කරන්නේ කාටද මීෂා ?” මම තනියම එහෙම කියන ගමන් දිනපොතේ තව පිටුවක් පෙරලුවා.
#මාර්තු 20
--තාත්තා මාව එයාගේ යාලුවෙකුගේ පුතෙකුට බන්දලා දෙන්නයි හදන්නේ. එයාගේ නම මැක්ස්. මම තාත්තාට හොරෙන් මැක්ස් ට කෝල් එකක් දීලා මං වෙන කෙනෙක්ට ආදරේ කරන බව කිව්වා.--
#මාර්තු 21
--මැක්ස් අද බාර් එකට ඇවිත් තාත්තාට කියලා මම කෝල් කරපු බව. මම කියපු හැමදෙයක්ම එයා තාත්තාට කියලා. මම ඉස්කෝලේ ගිහින් එද්දිම තාත්තා බාර් එකේ මිනිස්සු ඉස්සරහා මාව පෙරලගෙන ගැහුවා. මම කෑ ගගහා බේරෙන්න දැඟලුවත් තාත්තාගෙන් බේරෙන එක ලේසි වුනේ නෑ. රෑ වුනාම ඇලිස් කාටත් හොරෙන් ඇවිත් මගේ ඇඟ තවලා බෙහෙත් ගෑවා.--
ඒ ටික කියවද්දි මගේ ඇස් වලට කඳුලු ඉනුවා. මීෂා තමන්ගේ ආදරය වෙනුවෙන් මේ තරම් දුකක් ඉහිලුවාද ? ඒත් පේන හැටියට නම් මීෂා ආදරය කරන කොල්ලා මීෂා වෙනුවෙන් කවදාවත් ඉඳලා නෑ. මම දිනපොත පැත්තකින් තියලා ටික වෙලාවක් කල්පනා කලා. මීෂා බිම වැටීගෙන කෑගහන හැටි මට මැවිලා පෙනුනා. එතනින් එහා තිබුන ගොඩක් පිටු වල වැදගත් කියලා හිතන්න පුලුවන් දෙයක් මට හම්බ වුනේ නෑ. ඒත් එක පාරටම මගේ ඇස් එක පිටුවක නතර වුනා.
#මාර්තු 27
--අද වගේ ම දවසක මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුන හැටි මට අමතක කරන්න බෑ. මම විශ්වාසයි ඔයාටත් මේ දවස අමතක නොවෙන බව.--
මාර්තු 27 ? මම මීෂාව බඩ ඉරිඟු යායේ අතරමං කරපු දවස. ඒ දවස මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඒත් මීෂා මීට කලින් මේ දිනපොතේ “ඔයා” කියලා හඳුන්වලා තිබුනේ එයා ආදරේ කරන කෙනාව. එතකොට මේ පිටුවේ “ඔයා” කියලා හඳුන්වලා තියෙන්නේ කාවද ? මීෂා මේ ලියලා තියෙන භයානක සිදුවිම බඩ ඉරිඟු යායේ සිදුවීමද ? එහෙමත් නැත්නම් වෙන දෙයක්ද ? මම පුදුම වුනා.
එකපාරටම මගේ හිතට අදහසක් ආවා. එතනින් එහා මීෂා ලියපු හැම පිටුවක් ම අත ඇරලා මම ජුනි 02 වෙනිදා පිටුවට දින පොත පෙරලුවා.
#ජුනි 02
--අද ඔයාගේ උපන්දිනය. සුබ උපන්දිනයක් මගේ වස්තුව. ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනා. මම දන්නවා ඔයා මම නැතුව දුකෙන් ඉන්න බව. ඒත් කාලයත් එක්ක ඔයාගේ හදවතින් මාව ඈත් වෙලා ගිහින් ඔයාට ගොඩක් ලස්සන ජීවිතයක් ලැබෙයි.--
මගේ පපුව වේගයෙන් ගැහෙද්දි මගේ නලල දාඩිය වලින් තෙත් වුනා. ජුනි 02 මගේ උපන්දිනය. මම දෙතුන් පාරක්ම මීෂා ලියලා තිබුන දේ ආයේ ආයෙත් කියෙව්වා.
“සුබ උපන්දිනයක් මගේ වස්තුව”
මගේ ඇස් ඒ වාක්‍යය උඩම නතර වෙලා ටික වෙලාවක් ගෙවෙන්න ඇති.
“දෙයියනේ, මීෂා ආදරේ කරන්නේ.... මටද ?” මම ගැහෙන තොල් වලින් මටම කියා ගත්තා.
මම නැගිටලා දිනපොත ආපහු තිබුන තැනින්ම තිබ්බා. මීෂාගේ දිනපොත තවත් කියවන්න මට ඕනකමක් නෑ. දැනගන්න ඕනා දේ මම දැනගත්තා. මම මගේ කාමරයට ඇවිත් ඇඳ උඩ වාඩි වෙලා කල්පනා කලා. මම දැනගත්ත දේවල් ඇත්තක්ම ද කියලා මම පුදුම වුනා. තවමත් මගේ පපුව හයියෙන් ගැහෙනවා.
“එයා මගේ නංගි.......” මම හිතුවා.
“නෑ..... එයා ඇත්තටම මගේ නංගි නෙවෙයි.....” මම ආයෙත් කල්පනා කළා. අවුරුදු ගාණකට කළින් මීෂා කොට ගවුමක් ඇඳගෙන උන්න දවසේ මගේ හිතේ එයා ගැන ඇති වුන හැඟීම් එයාගේ ඇස්වල තිබුණ අමුතු ආරාධනාවක් සහිත බැල්ම මට ආයෙත් මතක් වුනා.
“ඒත් එයා මගේ කුඩම්මාගේ දුව. ඉතින් මම කොහොමද එයාට ආදරේ කරන්නේ ? මිනිස්සු අපි ගැන මොනවා හිතයිද ? සමහරවිට මීෂා එයාගේ ආදරේ ගැන මගෙන් හැංගුවේත් ඒ හේතුව නිසා ම වෙන්නැති....” මම දිගින් දිගට ම කල්පනා කළා.
“මිනිස්සු හිතන දේවල් යකාට ගියාවේ. මමත් අද ඉඳන් මීෂාට ආදරේ කරනවා. ඒත්.... මෙලී.....?” මෙලීව මතක් වෙද්දි මගේ ඔලුව අවුල් වුනා.
“අපරාදේ මම මෙලීට කැමැත්ත දුන්නේ. මම එහෙම නොකළා නම් මට මීෂාව හැමදාට ම මගේ කරගන්න තිබ්බා....” මගේ හිතට දැනුනේ ලොකු පසුතැවීමක්.
මීෂා පල්ලි ගිහින් ගෙදර එනකල් මම ජනේලය ළඟට වෙලා බලාගෙන උන්නේ නොඉවසිල්ලෙන්. එයාව නොදැක අවුරුදු ගාණක් ගත වුනා වගේ මට දැනුනේ. මීෂා ලුසී එක්ක එන හැටි දකිද්දි මගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා. මම මීෂා දිහා බලාගෙන උන්නේ හරියට මම එයාව මුල් වතාවට දකිනවා වගේ. මට මීෂා ළඟට දුවලා යන්න හිතුනා. ඒත්... මට එයා ඉස්සරහට යන්නවත් ශක්තියක් තිබුනේ නෑ. මොනවද කරන්න ඕනා කියලා මම කල්පනා කර කර ඉද්දි එක පාරටම මීෂා ඇවිත් දොරට තට්ටු කලා.
“ෂේන්....” මීෂා කතා කරද්දි මගේ පපුව තවත් වේගයෙන් ගැහෙන්න ගත්තා. මම එක පාරටම මොකුත් කියාගන්න බැරුව ඉද්දි මීෂා කාමරේ දොර ඇරියා.
“මේ ඉන්නේ ඔයා. සොරි මම දොර ඇරියට. මම බය වුනා ඔයා කතා නොකර ඉද්දි. දැන් කොහොමද ඔයාට ?”
මීෂා එහෙම කියාගෙන මං ළඟට ආවා. මම මොකුත් නොකියා එයා දිහා බලාගෙන ඉද්දි මීෂා පුදුම වුනා වගේ.
“ඇයි ඔයා මොකුත් නොකියන්නේ ? ඔයාට අමාරුද ?” මීෂා එහෙම කියලා මගේ නලලටයි බෙල්ලටයි අත තියලා උණ බැලුවා.
“උණ නම් නෑ. ඔයාට දාඩිය දාලා තියෙන්නේ ඇඟේ තියෙන උණ පිටවෙන්න ඇති. ඔයාගේ ඇඟට අමාරුවක් දැනෙනවද...?”
මීෂා අහද්දි මම මොකුත් නොකියා එයා දිහා බලගෙන උන්නා. මගේ පපුවේ ගැස්ම එන්න එන්න ම වැඩි වුනා. එයා මට ආදරේ කරන්න පටන් ගන්න ඇත්තේ කවදා ඉඳලාද කියලා මම කල්පනා කළා. මීෂා මට කොයි තරම් ආදරේ කළත් එයා කවදාවත් ඒ ගැන මට කියන්නේ නැති වෙයි. ඒ නිසා මම තිරණයක් ගත්තා.
“මීෂා... මං ඔයාට ආදරෙයි”
Comments
Post a Comment