කුඩම්මාගේ දුව - 21

කුඩම්මාගේ දුව - 21

©උපුටා ගැනීම තහනම්



“උඹට මේක මට කලින් ම කියන්න තිබුනා කෙවින්. එහෙම වුනා නම් මේ සේරම දේවල් වෙනස් වෙන්න තිබුනා.....” 

“මීෂා බාර් එකක නටන කෙල්ලෙක් කියලා ඔයා දැනගන්නවාට මමත් කැමති වුනේ නෑ. අනික මම ඒක උඹට කිව්වාට පස්සේ උඹ පිස්සුවෙන් වගේ මීෂාව හොයාගෙන ආවොත් මීෂා එයාගේ ජීවිතේ නැතිකරගන්න තිබ්බා. මට විතරයි මීෂාගේ මානසිකත්වයත් රැකගෙන එයාව මෙතනින් එළියට ගන්න පුලුවන්කම තිබුනේ. මම කොහොම හරි ඒක කළා. ඒත් උඹ........ උඹ තමයි ඒ සේරම කෑවේ....”

“මම ? මමද යකෝ මීෂාට මේ වගේ තැනක ඉන්න ඉඩ ඇරලා කොන්ද පණ නැති එකෙක් වගේ බලාගෙන උන්නේ ?” මම තරහින් කෑ ගැහුවා.

“ෂේන්.... උඹට තවමත් තේරෙන්නේ නැද්ද ? මම තමයි මීෂාව ආපහු ගෙදර එවුවේ. අවුරුදු ගාණක් තේරුම් කරලා කරලා එව්වේ....”

“මොනවද තේරුම් කළේ අවුරුදු ගාණක් ?” මම උපහාසෙන් වගේ එහෙම අහද්දි කෙවින් ටික වෙලාවක් මොකුත් නොකියා බලාගෙන උන්නා.

“මම එයාට තේරුම් කරන්න හැදුවේ උඹ ආදරේ කරන්නේ එයාට නෙවෙයි මෙලීටයි කියන එකයි......”

“මොකක් ? මොකක්ද ඒ කතාවේ තේරුම ?”

“මීෂා දැනගෙන උන්නා උඹ එයාට ආදරේ කරන බව. මීෂා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි එයා උඹයි මෙලීයි අතරට ආවා.....”

“ඒක වෙන්න බෑ. ඇයි මීෂා එහෙම හිතුවේ ? මම එයාට ආදරේ කළේ මගේම නංගි කියලා හිතලායි. පස්සේ ඒ දේවල් වෙනස් වුනා තමයි. ඒත් ඒ කාලේ මගේ හිතේ එහෙම කිසිම දෙයක් තිබුනේ නෑ.” මම පුදුමයෙන් කිව්වා.

“උඹ නම් මහ මෝඩයෙක්. මීෂා ගැන උඹට නොකියා උන්න එකමයි හොඳ...” කෙවින් තරහින් කිව්වා.

“මම කියන්නේ ඇත්ත. මම මීෂාට ආදරේ කරන්න පටන් ගත්තේ එයා මට ආදරේ කරන බව දැනගත්තට පස්සෙයි. ඒ වෙනකල් එයා ගැන මගේ හිතේ වෙන කිසිම හැඟීමක් තිබුනේ නෑ......”

“උඹ නොදන්නවා වුනාට අනිත් හැමෝම දන්නවා......”

“මොනවද දන්නේ ?” මම තරහින් ඇහුවා.

“උඹ පොඩි කාලේ ඉඳලා මීෂාට ආදරේ කරපු බව....”

කෙවින් එහෙම කියද්දි මම ටික වෙලාවක් කල්පනා කළා.

“නෑ එහෙම නෑ.” මම පුදුමයෙන් කිව්වා.

“හොඳට කල්පනා කරලා බලපන්..... උඹ පොඩි කාලේ ඉඳලම රෑ දාවල් නැතුව කල්පනා කළේ මීෂා ගැන. මෙලී එක්ක යාලු වෙලා උන්නට උඹ හැම වෙලේම කියෙව්වේ මීෂා ගැන.... උඹට මීෂාගෙන් තොර ජීවිතයක් තිබුනේ ම නෑ..”

“මේ කතාව දැන් හොඳටම ඇති. මම යනවා මීෂා ළඟට....”

“එපා ෂේන්...... උඹ හිතන තරම් ඒක ලේසි නෑ. එයා ළඟට යන්න අවසර තියෙන්නේ කීප දෙනාටයි....” කෙවින් කලබලයෙන් කිව්වා.

“ඒ අතරින් එක්කෙනෙක් තමයි උඹ....” මම කෙවින් දිහා බලලා කිව්වා.

“යමු....” මම කිව්වා.

“මීෂා තවම ස්ටේජ් එකේ....” කෙවින් මම මීෂාව හම්බවෙන්න යනවාට අකමැත්තෙන් වගේ කිව්වා.

“එහෙනම් මීෂා ගොඩක් පුදුම වෙයි එයා එද්දි අපි එයාගේ කාමරේ ඉන්නවා දකිද්දි...” මම තරහෙන් කිව්වා.

මීෂා එන්න කලින් එයාගේ කාමරේට යන්න මටයි කෙවින්ටයි අවසර ලැබුනේ එතන උන්න ගොඩක් අය කෙවින්ව අඳුරන නිසයි. එයාලා කෙවින්ව ගොඩක් විශ්වාස කරන බව මම ඒ වෙලාවේ තේරුම් ගත්තා. ඒකේ තේරුම කෙවින් මීෂා එක්ක වැදගත් විධියට හැසිරිලා තියෙනවා කියන එකයි.

“එයාලා ඔයාගේ හොඳ යාලුවෝ වගේ නේද ?” මම මුරකාරයෝ දිහා බලලා කෙවින්ගෙන් ඇහුවා.

“මීෂාව පුද්ගලිකව හම්බවෙන්න අවසර තිබුනේ පිරිමි දෙන්නටයි. එක්කෙනෙක් මම. අනිත් කෙනා මීෂාගේ පොඩි කාලේ යාලුවෙක්. ඔයා එයාව දන්නේ නෑ...”

“ඩීන්....?”

“ඔයා එහෙනම් දන්නවා....” කෙවින් පුදුමයෙන් කිව්වා.

“නම විතරයි දන්නේ..... එයා මීෂාට කරදරයක් වෙලා උන්න බවත් දන්නවා.....”

“මීෂා කිව්වද එයා ගැන ?”

“නෑ..... මීෂා කිව්වේ නැද්ද මම ඒවා දැනගත්ත විධිය ගැන ? ඔයාලා දෙන්නා හරි යාලුයිනේ. නොකියා ඉන්න විධියක් නෑ.....” මම නෝක්කාඩු කියද්දි කෙවින් මොකුත් නොකියා උන්නා.

“මම එයාගේ දිනපොත බැලුවා.......” මම එහෙම කියද්දි කෙවින් මං දිහා බැලුවේ තරහෙන්.

“හොරෙන් ?” කෙවින් ඇහුවා.

“හ්ම්....”

“ඒක නම් හරිම කැත වැඩක්......”

“ඇත්තට ම මීෂා ඒ ගැන කිව්වේ නැද්ද ?” මම කුතුහලයෙන් ඇහුවා.

“උඹ ගැන වැරදි දෙයක් එයා කවදාවත් වෙන කෙනෙක් එක්ක කියන්නේ නෑ. උඹ තවමත් මීෂා ගැන හරියට තේරුම් අරගෙන නෑ. නිකමටද මම මෝඩයා කිව්වේ......” කෙවින් එහෙම කියද්දි මට එයා ගැන තරහක් ඇති නොවුවේ එයා කියපු කතාවේ ඇත්තක් තිබුන නිසයි.

“කෙවින්......”

“මොකද ?”

“උඹ එලියට යමන්. මට මීෂා එක්ක තනියම කතා කරන්න ඕනා....” මම එහෙම කියද්දි කෙවින්ගේ මූණේ තිබ්බ තරහා වෙනුවට ලොකු වේදනාවක පෙනුමක් ඇති වුනා.

“ෂේන්..... මම දන්නවා මීෂා ආදරේ කරන්නේ උඹට. ඒත් මීෂාට මොකක් හරි කරදරයක් වෙලා තිබ්බොත් මම උඹව ඉතුරු කරන්නේ නෑ. ඒ නිසා කතා කරන දෙයක් පරිස්සමින්. එයාව හොඳින් බලාගනින්.......” කෙවින් එහෙම කියද්දි මට කෙවින් ගැන ඇති වුනේ කණගාටුවක්.

“මං දන්නවා ඔයාට මීෂාව කොයි තරම් වටිනවාද කියලා. මම පොරොන්දු වෙනවා එයාව පරිස්සමින් අරගෙන එනවා කියලා.....” මම එහෙම කිව්වම කෙවින් කාමරෙන් එළියට ගියා.

ටික වෙලාවකින් මීෂා කාමරේට ආවා. එයා කාමරේ දොර වහලා ආපහු හැරෙනවාත් එක්ක ම මං ඉන්නවා දැකලා ගැස්සුනා.

“ෂේන්.......” මීෂා අදහාගන්න බැරුව කිව්වා.

“රතු මිරිස් කරල.......? ෂෙරිල්......? මීෂා.......?” මම එහෙම කියන ගමන් මීෂා ළඟට යද්දි එයාගේ තද රතුපාට කරපු තොල් වේගයෙන් වෙවුලන හැටි මට පෙනුනා.

“මේ නම් වලින් කොයි නමින් ද මම ඔයාට කතා කරන්න ඕනා ?”
මම එහෙම කියද්දි මීෂා එකපාරට ම ආපහු හැරිලා දොර අරින්න හැදුවා. ඒත් එක්ක ම මම මීෂාව අල්ලගෙන බිත්තියට තද කර ගත්තා. මීෂා පුරුදු විධියට ම බය වෙලා මං දිහා බලාගෙන ඉද්දි මගේ හිතට ඇති වුනේ ලොකු වේදනාවක්.

“බයයි නේද ? ඔව්...... ඔයා අද නම් මට බය වෙන්න ම ඕනා....” මම ඇස් දෙකේ කඳුලු පුරවගෙන කිව්වා.

“මට යන්න දෙන්න ෂේන්......” මීෂා අඬ අඬා මගෙන් ඈත් වෙන්න දැඟලුවා.

“ඇයි ? කොහේ යන්නද ? මැරෙන්නද ? ඔයා ඒකට මහන්සි වෙන්න ඕන නෑ. මට පුලුවන් මෙතන ම ඔයාව මරලා දාන්න.... මේ අත් දෙකෙන්....”

මම එහෙම කියද්දි මීෂා දඟලන එක නැවැත්තුවා. ඊට පස්සේ එයා මගේ ඇස් දිහා බලද්දි එයාගේ ඇස් වලින් කඳුලු ගලාගෙන ගියා.

“එහෙනම්.... ඒක කරන්න.....” මීෂා හෙමින් කිව්වා.

“ඊට කලින් මම මැරෙයි......” මම එහෙම කියද්දි මීෂා ඉකි ගගහා අඬන්න ගත්තා.

“අම්මා නැති වුනාට පස්සේ මට මේ ලෝකේ ජීවත් වෙන්න ආසාවක් තිබුනේ නෑ. ඔයා මගේ ජීවිතේට ආවාට පස්සේ තමයි ආයෙත් මම ජීවත් වෙන්න ආසා කලේ. ඒත් ඔයා මොකද කලේ ? හැමදාමත් මට මැරි මැරී ජීවත් වෙන්න ඇරියා. හැමදාම මගෙන් ඈතට පැනලා ගිහින් ඔයා එනකල් මඟ බලාගෙන ඉන්න ඉඩ ඇරියා. දැන් ඇති.......... හොඳටම ඇති....... මට තවත් මේ දේවල් ඉවසන්න බෑ. එක්කෝ ඔයා අද මා එක්ක යන්න එන්න ඕනා. නැත්නම් දෙන්නම එකට මැරෙමු........”

“ෂේන් ඔයා......”

“මට එක උත්තරයක් දෙන්න. දැන් ම ඒක තීරණය කරන්න....”

“මට බෑ මං නිසා ඔයාගේ ජීවිතේ විනාශ වෙන්න අරින්න. ඔයාට ලස්සන වැදගත් ජීවිතයක් තියෙනවා. මට බෑ ඔයා එක්ක ඇවිත් ඒක නැති කරලා දාන්න.....”

“එහෙම කිසි දෙයක් වෙන්නේ නෑ. ඔයා ඇයි මෙහෙම දෙයක් තෝරගත්තේ ? ඇයි ?” මම මීෂාව හොල්ලන ගමන් ඇහුවා.

“මම ඕනකමින් කලා නෙවෙයි...... මාව විශ්වාස කරන්න. මට කවදාවත් මෙහෙම දෙයක් ඕන වුනේ නෑ....” මීෂා බිම බලාගෙන එහෙම කියද්දි එයාගේ ඇස් දෙකෙන් කඳුලු බිංදු බිමට වැටුනා.

“එහෙනම් ඇයි ඔයා මේ වගේ දේවල් කරන්නේ ? ඔයාට සල්ලි ඕන නම් මට කියන්න තිබුනා....”

“සල්ලි වලට මෙහෙම කළා නෙවෙයි ෂේන්........ මම තාත්තා ළඟට ආවේ එයා මාව ආරක්ෂා කරයි කියන විශ්වාසයෙන්. ඒත් එයා අම්මා එක්ක තිබ්බ තරහාට එයාගෙන් පළිගන්න මට අම්මාගේ නම තියලා මේ වගේ නටන කෙනෙක් කෙරුවා.....”

“කොහෙද ඒකා ? අද මම ඕකාව මරාගෙන මැරෙනවා.....” මම මීෂාව අත ඇරලා දත්මිටිකාගෙන කාමරේ දොර අරිද්දි මීෂා ඇවිත් මගේ අතේ එල්ලුනා.

“එපා.... මේක එයාගේ වරදක් නෙවෙයි....” මීෂා අඬ අඬ කිව්වා.

“එහෙනම් කාගේ වරදක්ද ?” මම තරහින් ඇහුවා.

“අම්මාගේ.... විල්සන් කියන්නේ මගේ තාත්තා නෙවෙයි....”

“මොනවා ?” මම පුදුමයෙන් ඇහුවා.

“ඔවු... අම්මා විල්සන්ව බැඳලා ඉද්දි තව කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා.....”

“ෂෙරිල්.....” මම තරහින් දත්මිටි කෑවා.

“ඒ කෙනා මගේ තාත්තා නෙවෙයිනේ.....” මම එකපාරට ම කලබලෙන් මීෂා දිහා බලලා ඇහුවා.

“නෑ.... නෑ... එයා නෙවෙයි....” මීෂා එහෙම කියද්දි මගේ හිතට සැනසීමක් දැනුනා.

“එහෙම වුනා නම් අපි ඇත්තටම අයියයි නංගියි වෙනවා......” මීෂා මං දිහා බලාගෙන කිව්වා.

“පොඩි කාලේ වුනා නම් මම ඒකට කැමතියි. ඒත් දැන් නම් ඔයා මගේ නංගි නොවුන එක ගැන සතුටුයි....”

“ඒ ඇයි ? මම මේ වගේ කෙනෙක් නිසාද ?”

“මෝඩ කතා කියන්නෙපා. යන්න ගිහින් ඇඳුමක් දාගෙන එන්න. ඔයා ඔහොම ඉද්දි මට අමුතුයි....” මම කිව්වා.

“මට ඔයා එක්ක එන්න බෑ ෂේන්....”

“මම ඔයාට දුන්න අවස්ථා දෙකෙන් ඔයා තෝරගන්නේ ඒකද ?”

“ඔව්.....”

“එහෙනම් දෙන්නම මැරෙමු. මම ඔයාට කිව්වා මට තවත් මැරි මැරි ජීවත් වෙන්න බෑ...”

“ෂේන්.... මාව අමතක කරන්න. බලන්න මං දිහා. මම මෙහෙම කෙනෙක්. මේ ඇඟ බලන්න මිනිස්සු කී දෙනෙක් සල්ලි දීලා එන්න ඇද්ද ?”

“ඇඟ බලන්න ? ඔයා... බාර් එකේ නටන එක විතරනේ කළේ ? මං මේ කිව්වේ..... ඔයා..... වෙන මොකුත්.......?” මම හිතේ ඇති වුන කලබලයට ගොත ගැහුවා.

“ෂේන්.... නෑ.... මම පිරිමියෙකුට කියලා තුරුල් වෙලා හරි තියෙනවා නම් ඒ ඔයාට විතරයි...”
මීෂා එහෙම කියද්දි මම දුකින් එයා දිහා බලාගෙන උන්නා.

“ඒත්, මොකක්ද ඒකේ තියෙන වෙනස...... මාව බලන්න පිරිමි කී දෙනෙක් නම් මේ බාර් එකට එන්න ඇත්ද ? එයාලා මාව අතින් නොඇල්ලුවට..... එයාලගේ හිතින්........”

“ඇති....” මම එහෙම කියන ගමන් මගේ අතකින් මීෂාගේ කට වැහුවා.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02