කුඩම්මාගේ දුව - 22

කුඩම්මාගේ දුව - 22

©උපුටා ගැනීම තහනම්



“යමු.....” මගේ කබාය ගලවලා මීෂාගේ ඇඟට දාන ගමන් මම කිව්වා. ඒත් මීෂා ආයෙත් පැකිලුනා.

“ඔයා එනවද ? නැත්නම් මෙතනම ඔයාගේ බෙල්ල මිරිකලා මරලා දාලා මාත් මැරෙන්නද ?” මම එහෙම කියද්දි මීෂා බය වුනා.

“මගේ වැරදිවලට ඔයා මැරෙන්නේ මොන එහෙකටද.....?” 

“මට ජීවත් වෙන්න තියෙන එකම කාරණාව ඔයා. ඔයා මේ ලෝකේ ජීවත් වෙනකන් විතරයි මමත් මේ ලෝකේ ඉන්නේ. තේරුනාද ?” මම එහෙම කියද්දි මීෂා ඔලුව හොලවලා ඒක පිළිගත්තා.

“දැන් යමු......” මම කිව්වා.

“මීෂා......” මම මීෂාත් එක්ක එලියට එද්දි ම කෙවින් දුවගෙන ඇවිත් මීෂාව බදාගත්තා.

“ගිහින් කාර් එකෙන් වාඩි වෙන්න.....” මම මීෂාට අණ කෙරුවා.

“දැක්කනේ. උඹ මට මීෂා ගැන මීට කලින් කිව්වත් සිද්ධ වෙන්න තිබ්බේ මේ දේම තමයි. දැන් හිතලා බලපන් කවුද මෝඩයා කියලා....” මීෂා කාර් එක ඇතුලට ගියාට පස්සේ මම කෙවින් දිහා බලලා තරහෙන් කිව්වා.

මම මීෂා එක්ක යද්දි කෙවින් අපි දිහා බලාගෙන උන්නේ ලොකු පසුතැවීමකින් කියලා මට තේරුනා. මුලු ගමන පුරා ම මීෂා සැරින් සැරේ එයාගේ කඳුලු පිහාගන්න හැටි දකිද්දි මට එයා ගැන ඇති වුනේ අනුකම්පාවක්.

“දැන් ඉතින් සේරම අමතක කරන්න. ඒ හැම දේම අදින් ඉවරයි. අද ඉඳන් ඔයා අහන්න ඕනා මම කියන දේයි.... මම මැරෙමු කිව්වත් ඔයා මා එක්ක යන්න එන්න ඕනා. තේරුණාද ?” මම එහෙම කියද්දි මීෂා ඔලුව හොලවලා ඒක පිළිගත්ත බව ඇඟෙව්වා.

“පොරොන්දු වෙන්න.....” මම කිව්වා.

“ඔයාට නරකක් නොවෙන දෙයක් නම් මම ඔයා කියන ඕන දෙයක් කරන්නම්.....” මීෂා එහෙම කියද්දි ම මම ආපු වේගයෙන් ම තරහින් බ්‍රේක් ගැහුවා.

“මම මේ කියන දේ දැන්වත් හොඳින් අහගන්න මීෂා. මට වෙන්නේ හොඳක් වුනත් නරකක් වුනත් ඔයා අද ඉඳන් මම කියන විධියට ඉන්න ඕනා.....” මම එහෙම කියද්දි මීෂා ආයෙත් බිම බලාගෙන අඬන්න පටන් ගත්තා.

“ඔයාට වරදක් වෙන දෙයක් කරන්න මට බෑ.....” මීෂා අඬ අඬා කිව්වා.

“ඔයා ඔහොම කිව්වට ඔයා මට කෙරුවේ ම වැරදි තමයි. මගේ අතින් ඔයාට වුන එක ම වරද ඔයාව බඩ ඉරිඟු යායේ අතරමං කරලා ආපු එක. ඒත් ඔයා....? ඔයා, මම දන්න දා ඉඳලා ම මට දුන්නේ දුක ම විතරයි. ඔයා එක දවසක් මාව සතුටින් තිබ්බා නම් ඒකට හරියන්න අවුරුදු ගාණක් මට විඳවන්න ඇරියා. එහෙම නේද ? පිළිගන්නවද ඒක ඇත්ත කියලා ?” මම එහෙම කියද්දි මීෂා ඇඬුවා මිසක් වචනයක්වත් කිව්වේ නෑ.

“ඔයා ම කල්පනා කරලා බලන්න. පොඩි කාලේ ඉඳලා ඔයා කරපු දේවල්. මං දන්නවා ඔයා හැමදේම කලේ මං වෙනුවෙන් කියලා. ඒත් ඒ කිසිම දේකින් ඔයාටවත් මටවත් හොඳක් වෙලා නෑ. ඒ කිසිම දෙයක් මට ඕන කරපු දේවල් නෙවෙයි. ඔයා කරපු හැම දේකින් ම වැඩියෙන් ම විඳවන්න වුනේ මටයි....” මම හිතේ වේදනාවෙන් කියාගෙන කියාගෙන යද්දි මීෂා මං දිහා දුකෙන් බැලුවා.

“මට සමාවෙන්න. මම අද ඉඳන් ඔයා කියන විධියට ඉන්නම්. ඒත් මම එක දෙයක් ඉල්ලන්නම්. අද ඉඳන් මාව ඔයාගේ නංගි කියලා හිතන්න. අපි පොඩි කාලේ උන්නා වගේ ඉමු. එතනින් එහා වෙන කිසිම බැඳීමක් අපි අතර නෑ......” මීෂා කිව්වා.

“ඒක කවදාවත් වෙන්නේ නෑ. අපි අතර කවදාවත් සහෝදර බැඳීමක් තිබුනේ නෑ. ඒක අපි දෙන්නම දැන් දන්නවා.....” මම එහෙම කියද්දි මීෂා මොකුත් නොකියා බිම බලාගෙන උන්නා.

“මට ඕන වුනේ ඔයාව හැමදාම මං ළඟින් තියා ගන්නයි. මං දන්නේ නෑ මම කවදද ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ කියලා. සමහරවිට මම ඔයාව දන්න දා ඉඳන් ම ඔයාට ආදරේ කරන්න ඇති.” මම ආයෙත් කියද්දි මීෂා ඔලුව උස්සලා මං දිහා බැලුවා.

“මම ඒක දන්නවා..... ඔයා මට ආදරේ කරන බව කාටත් කලින් තේරුනේ මටයි. ඔයා මට කොයි තරම් ආදරේ කළාද කියනවා නම් මම නිසා ඔයාගේ ජීවිතේ තිබුන හැම දෙයක් ම නැති කරගන්න වුනත් ඔයා සූදානමින් උන්නා.... අන්න ඒ නිසයි මම ඔයාගෙන් ඈත් වෙන්න තීරණය කළේ.....” මීෂා කිව්වා.

“මගේ ජීවිතේ මට ඕන කරපු එකම දේ ඔයායි.... මට වෙන මොනවා තිබුණත් වැඩක් නෑ ඔයා නැතුව. ඒක මුලින් ම මම තේරුම් අරගෙන හිටියා නම් මම කවදාවත් මෙලීට කැමැත්ත දෙන්නේ නෑ.......”

“ඉතින් ඔයා...... මෙලීව බඳිනවද ?” මීෂා ඇහුවා.

“නෑ....”

“එහෙනම් ?”

“මම ඔයාව බඳිනවා......” මම එහෙම කියලා මීෂා දිහා බලද්දි එයා උන්නේ බය වෙලා කියලා මට හිතුනා.

“ක... කවද්ද ?” මීෂා ඇහුවා.

“හෙට....”

“හෙට ? ෂේන් ඒ වුනත්....”

“ඇති..... වචනයක්වත් කියන්න එපා. අද ඉඳන් අපි දෙන්නා ගැන හැම තීරණයක් ම ගන්නේ මමයි.....”

“ඒත් අපිට පුලුවන් වෙයිද.......” මීෂා එහෙම කියලා නවත්තපුවහම මම එයා දිහා බැලුවා.

“මොනවද ?”

“ඔයයි.... මායි.....” මීෂා ආයෙත් බාගෙට කියලා නැවැත්තුවා.

“මායි ඔයයි ? මොනවද ?” 

“මොකුත් නෑ....” මීෂා වාහනයේ ජනේලය පැත්තට මූණ හරවගෙන කිව්වා.

“මං දන්නෑ.....” මම එහෙම කියද්දි මීෂා පුදුමයෙන් මං දිහා හැරිලා බැලුවා.

“මට තේරෙනවා ඔයා අහන්න හදපු දේ. මට ඕන ඔයාව නීත්‍යානුකූලව මගේ කරගන්න විතරයි. එතකොට අපි දෙන්නගේ බැඳීම ගැන ප්‍රශ්න කරන්න කාටවත් බෑ. ඒ වගේ ම ඔයාට ආයෙත් මගෙන් පැනලා යන්නත් බෑ. මට ඕන කරන්නේ එච්චරයි. ඔයාව හැමදාම මං ළඟින් තියාගන්නයි.....” මම එහෙම කියද්දි ආයෙත් මීෂාගේ ඇස්වල කඳුලු පිරුණා.

“ෂේන්.... මට සමාවෙන්න. ඔයාව බඳින්න තරම් මම සුදුසු නෑ. මට වඩා මෙලී ගොඩක් හොඳයි. එයා වැදගත් පවුලක ළමයෙක්......” 

“ඔයා කරපු කිසිම දෙයක් ඔයා කැමැත්තෙන් තෝරගත්ත දේවල් නෙවෙයි. ඔයා තවමත් මගේ අහිංසක සින්ඩරෙල්ලා. සින්ඩරෙල්ලා එයාගේ දැලි කුණු හෝදගෙන එයාගේ කුමාරයා එක්ක ගියා වගේ ඔයත් ඔයාගේ අතීතය හෝදලා දාලා මා එක්ක එන්න.....” මම මීෂාගේ අතකින් අල්ලගෙන කිව්වා.

ටික වෙලාවක් යනකල් මීෂා මං දිහා දුකෙන් බලාගෙන උන්නා. 

“මං එන්නම්.....” මීෂා කියද්දි මගේ හිතට ඇති වුනේ ලොකු සැනසීමක්.

එදා රෑ අපි දෙන්න ම හෝටලයක නතර වුනා. මම මීෂාටයි මටයි ඉන්න වෙන ම කාමර දෙකක් ගත්තා. මීෂාට අලුත් ඇඳුමකුත් අරන් දීලා මම මගේ කාමරේට යද්දි මීෂා එයාගේ කාමරේ ළඟ ඉඳන් මං දිහා බලාගෙන උන්නේ ආදරෙන්.

“ගුඞ් නයිට්....” මම කිව්වා.

“ගුඞ් නයිට් ෂේන්....” මීෂා එහෙම කියලා කාමරේට ගිහින් දොර අගුළු දා ගත්තට පස්සේ මමත් මගේ කාමරයට ගියා.
එදා රෑ මට දිග රැයක් වුනේ මට හරියට නින්ද නොගිය නිසයි. මුලු රෑ පුරාම මීෂා ගැන එක එක භයානක හීන මට පෙනෙන්න ගත්ත නිසා සැරින් සැරේ මම ගැස්සිලා ඇහැරුනා. රෑ මැදියම පහු වෙද්දි ම කවුරු හරි දොරට තට්ටු කළා.

“ෂේන්.....” මීෂාගේ කටහඬ ඇහෙද්දි මම කලබලයෙන් ඇඳෙන් බැහැලා ගිහින් දොර ඇරියා.

“මට... තනියම ඉන්න බයයි......” මීෂා කිව්වා.

“එන්න ඇතුලට.....” මම කිව්වා.

මීෂා ඇතුලට ආවට පස්සේ මම කාමරේ දොර වැහුවා. මීෂා ගිහින් මගේ ඇඳේ නිදාගද්දි මම පුදුමයෙන් ඒ දිහා බලාගෙන උන්නා. ඊට පස්සේ මම ගිහින් කොට්ටයක් අරගෙන සෝෆා එකට යද්දි මීෂා පුදුම වෙලා වගේ ඇඳේ වාඩිවෙලා මං දිහා බැලුවා.

“ඇයි මෙතන හොඳට ඉඩ තියෙනවනේ.....” මීෂා ඇඳ පෙන්නලා කිව්වා.

“ඔයත් එක්ක එකට නිදාගන්න කියලද මට කියන්නේ ?” මම පුදුම වෙලා ඇහුවා.

“හෙට අපි දෙන්නා බැන්දට පස්සේ කොහොමත් අපිට එකට තමයි නිදාගන්න වෙන්නේ......”

“ඒ බැන්දට පස්සේනේ. තවම බැඳලා නෑනේ....” මම එහෙම කියලා සෝෆා එකේ ඇල වුනේ මීෂා ගැන පුදුම වෙන ගමන්.

“දැන්වත් තේරෙනවද අපි දෙන්නට එහෙම ජීවිතයක් ගත කරන්න බෑ කියන එක...?” 

“කොහොම ජීවිතයක්ද ?” මම පුදුමයෙන් ඇහුවා.

“ඔයාගේ හිතේ මං ගැන තියෙන්නේ ගෞරවයක්. වෙන හැඟීමක් ඔයාගේ හිතේ නෑ. ඒ නිසා අපි හෙට බැන්දත් හැමදාම මෙහෙම වෙන ම තමයි නිදාගන්න වෙන්නේ.....” මීෂා එහෙම කියද්දි මම සෝෆා එකේ වාඩි වෙලා එයා දිහා බලන් උන්නා.

ඊට පස්සේ මම කොට්ටේ අරගෙන ඇඳ උඩට එද්දි මීෂා බය වෙලා වගේ මං දිහා බලාගෙන උන්නා. මම ඇඳේ දිගා වෙද්දි ම මීෂා බයෙන් ඇඳෙන් බහින්න හදනකොට මම එයාව ඇදලා අරන් තදින් තුරුලු කරගත්තා.

“ෂේන්...... ඔයා මොකද කරන්නේ ?” මිෂා බය වෙලා ඇහුවා.

“ඔයා එක්ක එකට නිදියනවා.... දැන් ඔයාට ම නේ ඒක කරන්න ඕන වුනේ.”

“මට..... එහෙම ඕන වුනා නෙවෙයි. මම තේරුම් කරන්නයි හැදුවේ...... අපිට එහෙම ඉන්න බෑ කියලා....” මීෂා බයෙන් කිව්වා.

“තවමත් හිතන් ඉන්නේ එහෙම බෑ කියලද ?” මීෂාගේ බය වුන මූණ දිහා බලාගෙන මම හිනා වෙවී ඇහුවා.

“නෑ......” මීෂා එහෙම කියලා හිනා වෙලා මට තවත් තුරුලු වුනා.

ටික වෙලාවකින් මට හොඳට නින්ද ගියා. මීෂා ගැන කිසිම නරක හීනයක් ආයෙත් මට පෙනුනේ නෑ.

පහුවෙනිදා උදේ මම මීෂාව සැලුන් එකකට එක්කගෙන ගිහින් එයාව මනමාලියක් වගේ අන්දවන්න බාර දුන්නා. මීෂා ලස්සන මනමාලියක් වෙලා එනකොට මගේ ඇස්වලට මටත් නොදැනිම කඳුලක් ඉනුවා. හැමදාමත් මම දැකපු එයාගේ අහිංසකකම තවමත් එයා ඇතුලේ තියෙන බව එයාගේ ඇස් දිහා බලද්දි මට තෙරුනා. 

කසාදේ සිද්ධ වුනාට පස්සේ මම මීෂාව කෙලින් ම ගෙදර එක්කගෙන ගියේ ලුසීගේ ආශිර්වාදය අපිට වැදගත් කියලා හිතුන නිසයි. අපි ගෙදර යද්දි තාත්තායි ෂෙරිලුයි ගෙදර උන්නේ නෑ. ලුසී අපි දෙන්නව බදාගෙන ගොඩක් වෙලා ඇඬුවේ සතුටට ද දුකට ද කියලා මම දන්නේ නෑ. එයා අඬද්දි මීෂාත් ගොඩක් ඇඬුවා. 

මම ලුසීගෙන් සමු අරන් මීෂාව මල් යාය මැද තිබුන අලුත් ගෙදරට එක්කගෙන ගියා. 

“සින්ඩරෙල්ලා... මේක තමයි ඔයාගේ මාළිගාව....” 

මම ගේ ඉස්සරහා හිටගෙන එහෙම කියද්දි මීෂා ඇස් වල කඳුලු පුරවගෙන මං දිහා බැලුවා. මගේයි මීෂාගේයි කතාව ලියවිලා තිබුනේ කඳුලු වලින්. සමහර වෙලාවට දුක් කඳුලු... සමහර වෙලාවට සතුටු කඳුලු... හැබැයි ඒ වෙලාවේ මීෂාගේ ඇස් වල තිබුනේ දුකයි සතුටයි දෙකම මිශ්‍ර වුන කඳුලක් කියලා මට විශ්වාසයි.

දවස් දෙක තුනකට පස්සේ මම ආයෙත් ඔෆිස් යන්න පටන් ගත්තා. මම මීෂාව බැඳපු බව ඒ වෙද්දි කිසිම කෙනෙක් දැනගෙන උන්නේ නෑ. මම තාත්තා එක්ක හැම දෙයක් ම කිව්වට පස්සේ තාත්තා එයාගේ ඔලුවේ අතගහගෙන ගොඩක් වෙලා කල්පනා කර කර උන්නා. 

“මම මේක ෂෙරිල්ට කියන්නේ කොහොමද ?” තාත්තා හෙමින් කියද්දි මට තාත්තා ගැන කවදාවත් ඇති නොවුන විධියේ අනුකම්පාවක් ඇති වුනා.

“සමාවෙන්න තාත්තා.....” මම එහෙම කියලා තාත්තා ළඟින් පිට වුනේ හිතේ ලොකු දුකකින්.

කෙවින් ආයෙත් මගේ ව්‍යාපාර වලට සම්බන්ධ වුනා. සමහර වෙලාවට කෙවින් අපේ ගෙදර ආවහම එයා මීෂා දිහා තවමත් බලන්නේ ආදරෙන් කියලා මට තේරෙනවා. ඒත් ඒකට මම කවදාවත් කෙවින්ට වෛර කරන්නේ නෑ. 

ටික දවසකට පස්සේ මමයි මීෂායි ගිහින් ලුසීවත් අපේ අලුත් ගෙදරට එක්කගෙන ආවා.

“මට මේ ගෙදරත් එක්ක ගොඩක් මතකයන් තියෙනවා....” යන්න කලින් ලුසී පරණ ගෙදර දිහා බලාගෙන දුකින් කිව්වා.

“මටත්... ලුසී දන්නවා මට ඒ මතකයන් කොයි තරම් වැදගත්ද කියලා.....” මමත් දුකෙන් කිව්වා. 

“ඒත්, මතකයන් කියන්නේ අපේ හදවතේ තියෙන දෙයක්. අපි කොහේ ගියත් ඒ මතකයන් අපි එක්ක එනවා......” මම ආයෙත් එහෙම කියද්දි ලුසී හිනාවෙලා ඔලුව හොලවලා මම කියපු දේ පිළිගත්තා.

මීෂායි මමයි ගැන දැනගත්තාට පස්සේ මෙලී ආයෙත් අත කපාගෙන තිබුනා. ඒත් වෙනදා වගේ ම එයාගේ ජීවිතේ තව වතාවක් බේරුනා. මෙලීගේ තාත්තාවත් අම්මාවත් ආයේ මට කරදර කරන්න ආවේ නෑ. කාලයත් එක්ක මෙලීත් එයාගේ ජීවිතේ ඉස්සරහට යයි. 

මීෂා පොඩි කාලේ අතරමං වෙලා වැටිලා උන්න තැන අපි ඕක් පැලයක් හිටෙව්වේ ඒ මතකය අපිට ගොඩක් වැදගත් නිසයි. මායි මීෂායි දවසක මැරුණහම අපේ ආදරේ සලකුණ හැටියට ඕක් ගහ අපි වෙනුවෙන් තවත් අවුරුදු ගාණකට සාක්ෂි දරයි.

මම හැම සති අන්තයක ම මීෂාව බයිසිකලයක තියාගෙන මල් යාය මැදින් ඩෙවිල් ගඟ ළඟට යනවා. අපි උන්නේ ගොඩක් ආදරෙන්. ගොඩක් සතුටින්. මීෂායි මායි අතර තියෙන බැඳීමට කියන්න නමක් මම තවමත් දන්නේ නෑ. එයා එක්ක තියෙන බැඳීම තවත් ඉස්සරහාට අරගෙන යන්න මට තවත් ටික කාලයක් ගත වෙයි. මීෂා මට හැමදාමත් මගේ චූටි නංගිමයි. ඒ වගේම මගේ අහිංසක සින්ඩරෙල්ලාත් එයාමයි. එතකොට මේ කතාවේ කුමාරයා වෙන්නේ මමයි. හැබැයි මේ අපේ කතාවේ අවසානය නෙවෙයි. මේ අපේ ආදර කතාවේ ආරම්භයයි.......

-නිමි-

Comments

Post a Comment

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02