After - 02

18 +


After - 02
[After 2019 චිත්‍රපටය ඇසුරින් ලියන ලද්දකි.]

ටෙසා යළි තම කාමරයට එන විට එහි සිටියේ ස්ටේෆ් පමණි. 
“මම ඔයාගේ අම්මාව කොච්චරක් විතර බය කරලා තිබුණාද ?” ස්ටේෆ් පොතක යමක් කුරුටු ගාමින් ඇසුවාය. 
“ම්ම්...” ටෙසා සිනාසුණාය.
“එයා හිතනවද මම ඔයාට නරක ආදර්ශයක් වෙයි කියලා ?”
“අම්මා මගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතනවා. එච්චරයි... මොකද අපි දෙන්නාට අපි දෙන්නා විතරයි ඉන්නේ...” ටෙසා කරුණු පැහැදිලි කළාය. ස්ටේෆ් තම දුම්වැටිය ටෙසා වෙත දිගු කළාය.
“ඔහ්... එපා... ගොඩක් ස්තූතියි...” ටෙසා ඉක්මණින් කීවාය.
“පේනවනේ... ඔයාගේ අම්මාට බය වෙන්න කිසිම හේතුවක් නෑ...” ස්ටේෆ් සිනාසෙමින් කීවාය. ටෙසා සිනාසී තම බඩු අස්පස් කරන්නට වූවාය.
“ඔයාගේ මල්ලි හරි හුරතල්...” ස්ටේෆ් කී විට ටෙසා පුදුමයෙන් හැරුණාය.
“ඔහ්, ඔයා කියන්නේ නෝවාද ? එයා මගේ පෙම්වතා...”
“හුටා... සොරි...”
“නෑ ඒකට කමක් නෑ... එයා උසස් පෙළ ශිෂ්‍යයෙක්...”
“ටි්‍රස්ටන්ගෙන් මැසේජ් එකක්. මම එයාව හම්බවෙන්න ඕනා...” ස්ටේෆ් තම දුරකතනය බලා ඇඳෙන් බැස තම කොණ්ඩය පීරන්නට වූවාය.
“කව්ද අප්පා විශ්ව විද්‍යාලයට එනකොට පොත් උස්සන් එන්නේ ?” ස්ටේෆ් ඇසුවාය.
“මම...” ටෙසා සිනාසෙමින් කීවාය.
“පොත්ගුල්ලෙක්... මම ඒකට කැමතියි. හොඳයි... එහෙනම් මම යනවා...” ස්ටේෆ් තම බෑගය කරට දමාගනිමින් කීවාය.
“හරි... බායි...” ටෙසා කීවාය. ඇය මුලින්ම අසුරා තිබූ තම පොත් එකින් එක පිටතට ගත්තාය.
--------------------------------
ටෙසා රාත්‍රියේ ඇඳට යන විටත් ස්ටේෆ් පැමිණ සිටියේ නැත. ටෙසා තම ජංගම දුරකනය නාද වූයෙන් එය අතට ගෙන බැලුවාය.
“හෙට ඔයාගේ පළවෙනි දවස විශිෂ්ඨ එකක් වේවා...” ටෙසාගේ මව ඇයගේ දුරකතනයට කෙටි පණිවිඩයක් එවා තිබිණි.
“ගුඞ් නයිට්...” නෝවාද ඇයට සිනා මුහුණක් සමඟ කෙටි පණිවිඩයක් එව්වේය.
පසුදින උදෑසනම අවදි වූ ටෙසා දණහිසට වඩා මඳක් දිගු ලා නිල් පැහැති සායකින් සහ සුදු පැහැති සැහැල්ලු කමිසයකින් සැරසී බෑගයත් කරේ දමාගෙන එළියට ආවේ උද්‍යෝගිමත් හැඟීම්වලින් යුතුවය. ඇය තද කොළ පැහැති තණ පිටිය මැදින් ප්‍රීතිමත් සිතින් ඇවිදගෙන ගියාය. ඇය දේශන ශාලාව අසළට පැමිණෙන විට බෑගයක් කරේ දමාගත් කාල වර්ණ සමකින් යුත් කඩවසම් තරුණයෙක් එතැන සිටගෙන -සිටියේය.+
“හායි...” ටෙසා සිනාසී කීවේය.
“හායි...” තරුණයා ද සිනාසී කීවේය.
“ආර්ථික විද්‍යාව 101 ?” ටෙසා තරුණයාගෙන් ඇසුවේය.
“ඔව්...”
ටෙසා දේශන ශාලාවේ දොර අසළට ගොස් එය විවර කරන්නට උත්සාහ කළාය. එහෙත් තවමත් එය අගුළු ලා ඇත.
“ලොක් කරලා...” තරුණයා සිනාසී කීවේය.
“ඔව්...”
“මමත් උත්සාහ කළා...”
“හරි...” ටෙසා තමා මෝඩවීම පිළිබඳව සිනාසෙමින් කීවාය.
“වේලාසන කුරුල්ලෝ (Early Birds) ජෝඩුවක් නේද ? ඇතුළට යන්න..” මිනිසෙක් පැමිණ දොරගුළු හරිමින් කීවේය.
ටෙසා සහ තරුණයා දොරෙන් එක්වර ඇතුළු වන්නට යාමෙන් ඔවුන් දෙදෙනා එකට හැප්පිණි.
“ඔහ්...” දෙදෙනාම නතර වූහ.
“සොරි....” ටෙසා කීවාය.
“ඔයාට පස්සේ...” දෙදෙනාම එක්වර කියූහ.
“නෑ නෑ... ඔයා යන්න...” ටෙසා හොඳ හැටි සිනාසෙමින් කීවාය.
“නෑ... ඔයා යන්න...” තරුණයා කීවේය.
“නෑ අවංකවම මං කියන්නේ...”
“නෑ... මගේ අම්මා මට උගන්නලා තියෙන්නේ...”
“හරි...” තරුණයා තමා කියන්නට ගිය දේ සම්පූර්ණ කරන්නටත් පෙර ටෙසා ඉක්මණින් දොරෙන් ඇතුළු වූවාය. ඔවුන් දෙදෙනා සමීප අසුන් දෙකක වාඩි වූහ. නමුත් ඔවුන් අතර වූ එක් හිස් අසුනකින් ඔවුන් වෙන් වී සිටියහ.
“ඔයාගෙත් පළවෙනි අවුරුද්දද ?” ටෙසා ඇසුවාය.
“ඔව්... ඔයාගේ ප්‍රධාන විෂය ඉකොන් ද ?”
“එහෙම තමයි සැලසුම් කරන් ඉන්නේ... ඔයාගේ ප්‍රධාන විෂය ?”
“මගේ ප්‍රධාන විෂය ඉංග්‍රීසි.... ඒක නෙවෙයි... මගේ නම ලැන්ඩන්....”
“මම ටෙසා... හායි...” ටෙසා සිනාසී ඔහුට අතට අත දෙමින් කීවාය.
“හායි... අඳුරගන්න ලැබීම සතුටක්...”
ශාලාව ළමුන්ගෙන් පිරී තිබිණි. ආර්ථික විද්‍යාව උගන්වන මහාචාර්යවරයා ශාලාව තුළට ආවේය.
“සුබ උදෑසනක්. මම මහාචාර්ය ඇලෙක්සැන්ඩර්. ආර්ථික විද්‍යාව 101 ට සාදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ මේක තමයි ඔයාලා මෙහෙදි සහබාගි වෙන වැදගත්ම පන්තිය. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙතන ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ අවධානය හොඳින් යොදවයි කියලා... සහ මම වෝල් ස්ටී්‍රට් එකේ අවුරුදු 25ක ලබපු අත්දැකීම් ලබාගනියි කියලා.... දැන් අපි පටන් ගනිමු...” මහාචාර්යවරයා කීවේය. එතැන සිටි ළමුන්ගෙන් කවුරු අවධානය යොමු නොකළද ටෙසා තම උපරිමයෙන් තම ප්‍රධාන විෂය කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
------------------------------
නේවාසිකාගාරයේ නාන කාමර පිහිටා තිබුණේ වෙනමය. ටෙසා නාගෙන තුවාය ඇඟ දවටා ඇඳුම් අඳින්නට බලන විට කවුරුන් හෝ ඒවා බිම දමා තෙතබරිත කර තිබිණි. ටෙසා සිත සන්සුන් කරගනිමින් ඒවා අහුලාගෙන, තම ෂැම්පු, බොඩි වොෂ් ආදියද රැගෙන තුවාය පමණක් ඇඟ දවටාගෙන කාමරය වෙත පියමැන්නාය. ගැහැණු ළමුන් පමණක් සිටින බැවින් එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවීය. ටෙසා කල්පනා කරමින් කාමරයට විත් දොර වසා දමා අතේ තිබූ අඩුම කුඩුම පසෙකින් තබා ක්ලෝසෙට් එක (ඇඳුම් දැමීමට සකස් කළ කබඞ් එකක් වැනි කුඩා කුටිය) විවර කළාය. ක්ලෝසෙට් එකේ දොරෙහි ඇතුල් පැත්තේ කණ්නාඩියක් සවි කර තිබිණි. එහි ස්ටේෆ්ගේ යහනේ ප්‍රතිබිම්භය සටහන් වූ අතර ඒ මත වාඩි වී, ඇඳ විට්ටමට හේත්තු වී පොතක් දෙස බලාගෙන සිටියේ කලු ඇඳගත් සුදු ජාතික කඩවසම් තරුණයෙකි. ටෙසා තිගැස්සී දොරට හේත්තු වූයේ ගලවන්නට යමින් සිටි තුවාය හොඳින් තද කර අල්ලා ගනිමින්ය.
“අහ්...” ඇයට පුදුමයට කියැවිණි. තරුණයා ඇය දෙස එකදු බැල්මක් හෝ නොහෙලා පොත දෙස බලාගෙන සිටියි.
“ආ... එක්ස්ක්‍යුස් මී...” ඇය පුදුමයෙන් කීවාය. තරුණයාට තවමත් ඇය පිළිබඳ වගක් හෝ නැත.
“ම.. මං හිතන්නේ... ඔ... ඔයා ඉන්නේ.... වැරදි කාමරයේ...” ටෙසා ගොත ගසමින් කීවාය. තරුණයා හිස ඔසවා ඇය දෙස බැලුවේය.
“මං ඉන්නේ හරි කාමරයේ...” ඔහු අහංකාර ලීලාවෙන් පවසා නැවත තම දෑස් පොත වෙත යොමු කළේය. ඔහුගේ පෙනුමේ මෙන්ම හඬෙහි වූයේ සිත මන්මත් කරවන ආකාරයේ ස්වරයකි. නමුත් ටෙසාගේ අවධානය ඒ වෙත යොමු වූයේ නැත. ඇයට කල්පනා කරන්නට වෙනත් දෙයක් තිබිණි.
“ඔයා කොහොමද ඇතුළට ආවේ ?” ටෙසා පුදුමයෙන් ඇසුවාය. තරුණයා පොත වෙතින් දෑස් ඉවතට නොගෙනයම තම කබා සාක්කුවෙහි වූ යතුරු කැරැල්ලක් එළියට ඇද ඔසවා පෙන්නුවේය.
“හරි... ඔයාට පුළුවන්ද එළියට ගිහින් ශාලාවෙන් ඉන්න. එතකොට මට ඇඳුම් ඇඳගන්න පුළුවන්...” ටෙසා කී විට තරුණයා ඇය දෙස නපුරු බැල්මක් හෙළුවේය.
“තමන් ගැන මහ ලොකුවට හිතන්නෙපා... මම බලන්නේ නෑ...” තරුණයා තම අත ඇති පොත දක්වමින් කීවේය. ඔහුගේ දෑස් යළි පොත වෙත යොමු විය. ටෙසා කරකියා ගැනීමට දෙයක් නොමැතිව අසරණව බලා සිටියාය. සැබවින්ම ඔහු තමා දෙස නොබලනු ඇති බව ඇයට විශ්වාසය. ඔහු එතරම් අහංකාරය. නමුත් ඔහු කාමරයේ සිටිනා විට ඇඳුම් මාරු කිරීම වෙනත් තරුණියකට කෙසේ වෙතත් ටෙසාට කළ නොහැකි දෙයකි.
ටික වේලාවකින් දොර විවර විය. ස්ටේෆ් කාමරය තුළට පැමිණ තරුණයා අසළ වාඩි වූවාය.
“ඔයා එන්න වෙලා ගියා...” තරුණයා කීවේය.
“මේ තියෙන්නේ ඒවා...” ස්ටේෆ් තරුණයාගේ ඇකයේ වූ යතුරු කැරැල්ල අතට ගනිමින් ප්‍රීතියෙන් කීවාය.
“හායි ටෙසා...” ස්ටේෆ් කීවාය.
“හායි... අනේ ඔයාගේ කොල්ලාට කියන්න පුළුවන්ද මට ඇඳුම් මාරුකරගන්න පොඞ්ඩක් එළියට යන්න කියලා...?” ටෙසා කීවාය.
“ආ... එයා මගේ කොල්ලා නෙවෙයි... ඔයා මොනවද එයාට කිව්වේ ?” ස්ටේෆ් තරුණයා දෙස බලා ඇසුවාය.
“මොකුත් නෑ... මම මගේ වැඩක් බලාගෙන උන්නා...” තරුණයා පොත ඇයට පෙන්වමින් කීවේය.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02