After - 03

18 + 
After - 03
[After 2019 චිත්‍රපටය ඇසුරින් ලියන ලද්දකි.]

“හරි... එයා කවුරු වුණත් කමක් නෑ....” ටෙසා කීවාය. තරුණයා ඇය වෙත ක්ෂණික බැල්මක් හෙළා අහක බලා ගත්තේය.
“ඔයා අද අපිත් එක්ක එළියට යනවා...” ස්ටේෆ් සිනාසෙමින් ටෙසා අසළට පැමිණ උද්‍යෝගිමත් හඬකින් කීවාය. 
“ආ... අනේ මන්දා...” ටෙසා එය මඟ හැරීමට උත්සාහ කරමින් කීවාය.
“මම මේ කෙනා පාටියක ඉන්න හැටි මවාගන්න උත්සාහ කරනවා...” තරුණයාගේ හඬ එක්වරම ඇසිණි. ටෙසා සහ ස්ටේෆ් පුදුමයෙන් ඔහු දෙස බැලූහ. ඔහු ටෙසා දෙසට හැරී ඈ දෙස බලමින් ඇඳෙහි වාඩි වූයේය.
“මැවිලා පෙනුනේ නෑ... ඇත්තටම...” තරුණයා අශිෂ්ටසම්පන්න ලෙස කීවේය. ටෙසා පුදුමයෙන් ස්ටේෆ් දෙස බැලුවාය. ඔහු අපහාස කිරීමට දක්ෂයෙකු බව ටෙසා මේ වන විටත් තේරුම්ගෙන සිටියාය.
“ඔයා සදහටම මේක ඇතුළට වෙලා ඉන්නේ නෑනේ...?” ස්ටේෆ් ටෙසාගෙන් ඇසුවාය.
“නෑ..” ටෙසා කෙටියෙන් කීවාය. ස්ටේෆ් ඇයට ඉන්නට හැර කාමරයෙන් පිට වූවාය. තරුණයා ස්ටේෆ් පසුපසින් දොර අසළට ගමන් කළේය. ඔහු එතැන නතර වී තම අතැති පොත දෙස බැලුවේය. එය ඇත්තෙන්ම ටෙසාගේ පොතක් විය.
“ද ග්‍රේට් ගැට්ස්බි... ඒක හොඳ පොතක්.” ඔහු එසේ කියා පොත රැගෙන සෙමින් ටෙසා වෙත පියමැන්නේ ඇය දෙස බලාගෙනමය.
“ඒක විවේචනය කරන්න කැමති නෑ. ඒත් ඒ සේරම හීනයක් විතරයි....” ඔහු පොත විවේචනය කරමින් කීවේය. ඔහු පොත ටෙසා අත තබා කාමරයෙන් පිට විය. ටෙසා උන්නේ කෝපයෙනි.
“ඇත්තම කියනවා නම්...” ටෙසා පවසන විට ඔහු නතරව හැරුණේය.
“ඒ සේරම බොරුවක්....” ටෙසා ඔහුට නොදෙවෙනිව කීවාය. තරුණයා ටෙසා දෙස සමච්චල් සිනහවකින් යුතුව බලා ආපසු යන්නට ගියේය. ටෙසා තරහෙන් කාමරය දෙසට හැරුණාය.
--------------------------------------------
පසුදින ටෙසා තම පාපැදියේ නැගී කැෆේ එකට ගියේය. එතැන නිදහස් තැනක් විය. ඇය කෑම එකත් බීම එකත් පසෙකින් තබාගෙන පොත්වල වැඩ වගයක යෙදී සිටියාය. ටික වෙලාවකින් පෙරදින රැයේ තම කාමරයේ උන් නපුරු, කඩවසම් තරුණයා තවත් තරුණයෙක් සහ රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ කොණ්ඩයක් සහිත තරුණියක් කැටුව කැෆේ එක තුළට ඇවිද එනු ඇය දුටුවාය. නපුරු, කඩවසම් තරුණයාගේ ගමන් ලීලාවද මහා උඩඟු එකකැයි ටෙසා සිතුවාය. ඔහු හැර අනෙක් දෙදෙනා රස්තියාදුකාර පෙනුමෙන් යුක්ත විය.
“හෙලෝ... මට කැපචීනෝ එකක් දෙනවද ? ආමන්ඞ් කිරියි කුරුඳු කුඩුයි දාලා...” තරුණිය ඇණවුම් කරන හඬ ටෙසාට ඇසිණි. නපුරු, කඩවසම් තරුණයා දැකීමෙන් ටෙසාගේ සිත යම් සේ සසල වීමකට ලක්ව තිබුණත් ඇය සන්සුන් වන්නට උත්සාහ කරමින් තම කාර්යයේ දිගටම නිතර වූවාය.
“මට සුපුරුදු බ්ලැක් කොෆී එක...” ඔහුගේ සුපුරුදු මන බඳින හඬ ටෙසා හැඳින්නාය. ටෙසාගේ හිස ඉබේටම එසවී ඔහු දෙස ඇගේ දෑස් යොමු විය. අනෙක් තරුණයා තම ඇණවුම බාර දෙන අතර නපුරු, කඩවසම් තරුණයා හදිසියේම ටෙසාව දුටුවේය. ටෙසා ඉක්මනින් දෑස් පහළට හරවා ගත්තේය.
“තැන්ක් යූ...” ඔහුගේ හඬ ඇසෙන විට ටෙසා යළි හිස ඔසවා බැලුවාය.
ඔවුන් තිදෙනා යන්නට හැරෙන විට අමුතු දෙයක් සිදු විය. නපුරු, කඩවසම් තරුණයා යන්නට හැරුණේ ටෙසා දෙස බලමින්ය. ඒ බැල්ම වෙනස් එකක් විය. මෙවර ටෙසාට තම දෑස් ඔහුගෙන් ඉවතට ගන්නට බැරි වෙන තරමට ඇයව ඒ දෑස් විසින් මොහොතකට අල්ලා ගන්නා ලද්දේය. ඔහුට එය දැනුනාදෝ යළි අහංකාර ලීලාවෙන් අහක බලාගත්තේය. එහෙත් ටෙසා ඔහු නොපෙනී යන තුරු බලා සිටියාය. ඔහු නපුරුයි පමණක් නොව තේරුම්ගත නොහැකි තරමට අද්භූත යැයි ටෙසා සිතුවාය.
ටෙසා කැෆේ එකෙන් පිටව පුස්තකාලයට ගියාය. ඇය එහි සිටින විට ස්ටේෆ් පැමිණියාය.
“දන්නවද දෙයක් ?” ස්ටේෆ් සිනාසී උද්‍යෝගයෙන් ඇසුවාය.
“ෂ්ෂ්...” ටෙසා සිනාසෙමින් කීවාය.
“අපි අද රෑට පාටියක් දාන්නයි යන්නේ...” ස්ටේෆ් තාලයකට එය කීවේ ඇහි බැමද නටවමිනි.
“අනේ මන්දා...” ටෙසා රහසින් කීවාය.
“ඔයා යන්නම ඕනා... ඔයාට විනෝද වෙන්න ඕනේ නැද්ද ?”
“ඇත්තෙන්ම මට ඕනා...” ටෙසා සිනාසෙමින් නමුත් රහසින් කීවාය.
“එහෙනම් මේ ටික අරගෙන...” ස්ටේෆ් ද තම හඬ බාල කර කියමින් ටෙසාගේ පොත් ටික එකතු කරන්නට වූවාය.
“ගිහින් පාටියට ලෑස්ති වෙමු....” ස්ටේෆ් පොත් ටික ඔසවාගෙන යමින් ප්‍රීතියෙන් කීවාය. ටෙසා තනිවම සිනාසෙමින් ඇය පස්සෙන් වැටුණාය.
-----------------------------------------
ස්ටේෆ් ලැම සහ බඳ නිරාවරණය වන කෙටි හැට්ටයකින් සහ දෙපා නිරාවරණය වන පරිදි කෙටි කලිසමකින් සැරසුණාය. ටෙසා දිගු ලේස් අත් ඇති කෙටි ගවුමක් ගෙන එය ස්ටේෆ්ට පෙන්නුවාය.
“ඒක.... ලස්සනයි...” ස්ටේෆ් මුහුණ අමුතු කරගෙන කියමින් ටෙසා අසළට ආවාය.
”ඒත් ඒක චාම් වැඩියි....” ඇය ගවුම ටෙසාගේ ඇඟට තබා බලමින් කීවාය.
“ඔයා කිව්වනේ මට මමම වෙන්න කියලා...” ටෙසා කීවාය.
“හරි... ඒක ලස්සනයි...” ස්ටේෆ් ටෙසාගේ කැමැත්තට ඉඩ දී පසෙකට වූවාය.
ඔවුන් දෙදෙනා පාටිය පැවැත්වෙන නිවසට ඇතුල් වූහ. ස්ටේෆ් ටෙසාගේ කරට අත දමාගෙන පිරිස අතරින් ඉදිරියට ඇදුණාය. ආත්ම විශ්වාසයෙන් ඉහළ ටෙසාට ඕනෑම දෙයකට අනුගත වීමේ හැකියාවක් ඇති බව පෙන්නුම් කරමින් ඇය බොහොම සැහැල්ලුවෙන් ස්ටේෆ් සමඟ ඉදිරියට ඇදුණේ සිනාමුසු මුහුණින් යුතුවය.
“මේ ඉන්නේ මගේ බේබි....” ස්ටේෆ් ට්රිස්ටන් දැක ටෙසා අත්හැර ගොස් ට්රිස්ටන්ගේ තොල් සිපගත්තාය. ස්ටේෆ් සමලිංගිකයෙකු බව ඒ මොහොතේ ටෙසා දැනගත්තාය. ට්රිස්ටන් යනු ස්ටේෆ්ගේ පෙම්වතියයි.
“හායි ටෙසා...” ට්රිස්ටන් කීවාය.
“හායි...” ටෙසා තම සුන්දර සිනහවෙන් ඇයට සංග්‍රහ කරමින් කීවාය. ස්ටේෆ් ට්රිස්ටන් සමඟ මත්පැන් පානය කරන්නට වූවාය.
“ඒක ආයෙ කරන්න... ආයෙ කරන්න...” තරුණියක් කෑ ගසනු ටෙසාට ඇසිණි. ඇය එම හඬ හැඳින්නාය. ඒ දහවල් කැෆේ එකේ සිටි රෝස පැහැති කොණ්ඩය අයිති තරුණියයි. ඇය නපුරු, කඩවසම් තරුණයාට තුරුලු වී තම ජංගම දුරකතනයෙන් ගංජා බොන තරුණයෙකු රූගත කරමින් සිටියාය.
“මට බෑ... මම මැරෙන්නයි යන්නේ...” දුම්බොන තරුණයා කීවේය.
“ආයේ කරන්න... මට ඒක වීඩියෝ කරගන්න ඕනා...” තරුණිය කීවාය. තරුණයා අතේ ඇති දේ උරා බී දුම් වළාවක් කටින් පිට කළේය.
“පිස්සු හැදෙනවා සහෝ...” තරුණිය සිනාසෙමින් කීවාය. වටේ උන් අනෙක් අයද සිනාසෙන්නට වූහ.
“හායි කට්ටිය...” ස්ටේෆ් ටෙසා සමඟ ඔවුන් අසළට යමින් කතා කළාය. නපුරු, කඩවසම් තරුණයා ටෙසා දෙස බැල්මක් හෙළුවේය. ස්ටේෆ් සමඟ සුන්දර තරුණියක් එනු දුටු රෝස පැහැති කොණ්ඩයේ හිමිකාරිය ඉක්මණින් තම පෙම්වතා දෙස බැලුවාය. ටෙසාගේ දෑස්ද මුලින් දුටුවේ නපුරු තරුණයාවය.
“මේ ඉන්නේ මගේ රූම්මේට් ටෙසා.... ටෙසා මේ තමයි හැමෝම...” ස්ටේෆ් අන්තිම වැකිය කීවේ තම මිතුරන් එකිනෙකා හඳුන්වා දෙන්නට කම්මැලිකමෙන් මෙනි. ස්ටේෆ් තම පෙම්වතිය සමඟ අසුනකට බර වූවාය.
“අඳුරගන්න ලැබීම සතුටක්.... මම සෙඞ්...” දහවල් කැෆේ එකේදී නපුරු තරුණයා සමඟ සිටි අනෙක් තරුණයා නැගිට ටෙසාට අතට අත දුන්නේය.
“ඔයා හාඩින්ව කලින්ම මුණ ගැහුනනේ...” ස්ටේෆ් නපුරු තරුණයා දක්වමින් කීවාය. ටෙසා ඔහු දෙස බලන විට රෝස පැහැති කොණ්ඩය සහිත තරුණිය ඔහුගේ ඇඟට හේත්තු වී ඔහුගේ කණට යමක් කොඳුරමින් සිටියාය. හාඩින් එය අසා සිනාසෙන්නට වූ අතර ස්ටේෆ් එම සරාගී තරුණියව ටෙසාට හඳුන්වා දුන්නාය.
“ඒ මොලී...”
“හායි...” මොලී සිනාසී කීවාය.
“ඉඳගන්න...” සෙඞ් ටෙසාව තමා අසළින් වාඩි කරවා ගත්තේය.
“ලස්සන ඇඳුමක්...” මොලී ටෙසා දෙස බලා එය ඇයට මහත් විහිළුවක් වූ සේ සිනාසුණාය. හාඩින් ඕනාවට එපාවට මෙන් ටෙසා දෙස බැල්මක් හෙළුවේය. ඔහුටද ඇයව පෙනුනේ විහිළුවක් මෙන් විය යුතුය. කෙසේ නමුත් ටෙසා මොලී කී දේ ගණන් ගත්තේ නැත. සිත රිදවන අනවශ්‍ය දේවල් නොතකා බැහැර කිරීමට ටෙසා දක්ෂ තැනැත්තියක වූවාය.
“අරයා ජේස්... මේ නගරයේ ඉන්න කෙනෙක්...” ස්ටේෆ් වැඩිමහල් තරුණයෙක් හඳුන්වා දුන්නාය.
“කොහොමද ?” ජේස් කීවේය.
“ඔයාගේ ප්‍රධාන විෂය මොකක්ද ටෙසා ?” සෙඞ් එසේ අසා දුම් උරමින් ඒවා පිටකරන්නට විය.
“ම්ම්... මං හිතන් ඉන්නේ ව්‍යාපාර අධ්‍යයනය නැත්නම් ආර්ථික විද්‍යාව...”
“නියමයි...” සෙඞ් කීවේය.
“ඔයාට බොන්න දෙයක් ඕනද ?” ජේස් ඇසුවේය.
“ඇත්තෙන්ම, මම බොන්නේ නෑ...” ටෙසා කාරුණිකව කීවාය. මොලී තමා දෙස උපහාසයෙන් බලනු ටෙසා නොදුටුවාය.
“අයියෝ... බොන්නකෝ... අපි හැමෝම බොනවනේ...” ජේස් සිනාසෙමින් කීවේය.
“එයා බොන්නේ නෑ... එක ෂොට් එකක් දෙන්න.” ස්ටේෆ් එසේ කියා තම පෙම්වතිය වෙතට හැරුණාය.
“බොන්න අයියෝ...” ජේස් කීවේය.
“චූට්ටක් දෙන්න...” ස්ටේෆ් යළි හැරී කීවාය.
“මගේ දෙවියනේ ස්ටේෆ්... ඔයා කොහෙන්ද මේ කෙල්ලව හොයාගත්තේ ?” මොලී පුදුමයෙන් ඇසුවාය. හාඩින් මොලීගේ අත ස්පර්ශ කරමින් මඳ සිනාවක් මුවේ රුවාගෙන ටෙසා දෙස බලා උන්නේය. එම සිනහවේ උපහාසාත්මක ගතියක් විය.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02