AFTER - 05

18 +

AFTER - 05
[After චිත්‍රපටය ඇසුරින් ලියන ලද්දකි.]

හාඩින්ගේ සුසුම් සුවඳ ටෙසාට දැනිණි. එහෙත් තමා නෝවාගේ පෙම්වතිය බව ඇයට සිහි වන්නට ඇත. ඇය සෝ සුසුමක් හෙළමින් ඔහුගෙන් මුහුණ පහතට හරවා ගත්තාය.
“ඉන්න... මට මේක කරන්න බෑ...” ඇය ආයාසයෙන් කීවාය. හාඩින් හිස ඇල කර පුදුමයෙන් ඇගේ දෑස් දෙස බැලුවේය.
“මම යන්න ඕනා...” ටෙසා ඔහු අතහැර ගියාය. ඇය පඩිපෙළ බැස එන විට පඩිපෙළ පාමුල උන් මොලී ඊර්ෂ්‍යාවෙන් බලා සිටියාය. ටෙසා මඳ වේලාවකින් සාදයෙන් ඈතට ඇවිද යන අයුරු වහලය මත වාඩි වී සිටි හාඩින් බලා සිටියේය.
“මම ඔයා ගැන කලකිරිලා ඉන්නේ...” ටෙසාගේ දුරකතනයට නෝවා කෙටි පණිවිඩයක් එවා තිබිණි. ටෙසා එයට පිළිතුරක් දෙන්නට යන විටම තවත් කෙටි පණිවිඩයක් ඔහුගෙන් පැමිණියේය.
“ඔයාගේ අම්මා කිව්වා ඔයා ඒ අයත් එක්ක පාටිවලට යන එක කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි කියලා...” නෝවාගේ පණිවිඩයේ තිබූ දේ දුටු ටෙසාගේ ඉහමොල රත් විය. නෝවා අම්මාට සියල්ල පවසා ඇත. ඇය තරහෙන් දුරකතනය සහිත අත පහත දැමුවාය.
පාන්දර දෙක පසුවනතුරුවත් ටෙසාට නින්දක් නොවීය.
“සොරි... ඔයා වෙනුවෙන් හොඳයි කියලා හිතෙන දේ තමයි මම කරන්නේ...” නෝවා සමාව ඉල්ලා කෙටි පණිවිඩයක් එවා තිබිණි. ටෙසා ඔහුට කෙටි පණිවිඩයක් ටයිප් කරන්නට වූවාය.
“මං දන්නවා... ඒත් මං...” ටෙසා එසේ ටයිප් කර යළි එය මකා දුරකතනය පසෙක තැබුවාය. ඉන්පසු ඇය නිදන්නට උත්සාහ කළාය.
-----------------------------------------------
පසුදින ඇයට ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙනීමට තිබිණි. ඇය දේශන ශාලාව සොයාගෙන ගියාය. දේශන ශාලාවේ ලැන්ඩන් සිටිනු දුටු ඇය ගොස් ඔහු අසළින් වාඩි වූවාය. පසුපස අසුන්වල සිටි හාඩින්ගේ පෙම්වතිය මොලී සහ සෙඞ් ඇය දෙස බලා සිටියහ.
“හායි...” ටෙසා ලැන්ඩන් සමඟ සිනාසෙමින් කීවාය.
“හේයි... පන්තියේ ඉන්න එකම අලුත් ළමයා මම නොවීම ගැන සතුටුයි...” ලැන්ඩන් සිනාසෙමින් කීවේය.
“මට මානසික බලයෙන් දැනුනා. ඒකයි මම ආවේ...” ටෙසා විහිළුවට කීවාය.
“හරි කට්ටිය... අපි පටන් ගනිමු...” ප්‍රියජනක තරුණ මහාචාර්යවරියක් දේශන ශාලාවට ඇතුල් වෙමින් කීවාය.
“ජේන් ඔස්ටින්ගේ අග්‍රකෘතිය...” ඇය කීවාය. ඒ සමඟම හාඩින් ශාලාවේ පසුපස දොරෙන් ඇතුළට ආවේය.
“මෙතනින් කව්ද දැනටමත් ‘ප්‍රයිඞ් ඇන්ඞ් ප්‍රජුඩිස් ’ පොත කියවලා තියෙන්නේ...?” මහාචාර්යවරිය ඇසුවාය. ශාලාවේ බාගයකටත් වඩා අත් ඉස්සූහ. ලැන්ඩන් සහ ටෙසාගේ අත්ද ඒ අතර විය. ටෙසා වාඩිව සිටි තැනට පසුපස පේළියට කෙළින්ම ඇති අනෙක් පේළියේ වාඩි වූ හාඩින් නිහඬව බලා සිටියේය.
“ඒක කියවපු ගමන් ඔයාලාට මොනවද හිතුණේ ?” මහාචාර්යවරිය ඇසූ විට ටෙසා සහ ලැන්ඩන් ද වෙනත් තරුණියක්ද යළි අත් උඩට ඉස්සූහ.
“අපි අහමු පරක්කු වෙලා ආව අලුත් ළමයාගෙන්... මිස්ටර් ස්කොට්...” මහාචාර්යවරිය හාඩින් දෙස බලා කීවාය. වෙනතක් බලා සිටි හාඩින් එක්වරම හිස ඔසවා ඇය දෙස බැලුවේය.
“ප්‍රයිඞ් ඇන්ඞ් ප්‍රජුඩිස්... ඒ කතාවේ එලිසබෙත් බෙනට්ට පොඩි හික්මීමක් අවශ්‍යයි. ඇය ඩාසිගේ ජීවිතේට ගෙනාවේ මහා නරක කල දසාවක්...” ඔහු උපහාසාත්මකව කී විට ශාලාවේ උන් සමහරු සිනාසෙන්නට වූහ.
“ඔයා කියන්නේ... ඩාසි එලිසබෙත් එක්ක ආදරෙන් බැඳිලා උන්නේ නෑ කියලද ?” හාඩින්ගේ පිළිතුරෙන් කුහුලට පත් මහාචාර්යවරිය උනන්දුවෙන් ඇසුවාය.
“ආදරය... කියන්නේ ගනුදෙනුවක්...” හාඩින් අසුනේ හරිබරි ගැසෙමින් කීවේය. ටෙසා දෑස් කුඩා කර නොරිස්සුම්සහගතව ඔහු දෙස හැරී බැලුවාය.
“අපි හැමෝම ආශාවන්ගෙන් පිරුණු මිනිස්සු. අපි කැමති ගොදුර ඉදිරියේ හරි විධියට දැල එලනවා... ඊටපස්සේ ගොඩ...” ඔහු මහාචාර්යවරයෙකු මෙන් අත් එහා මෙහා විසුරුවමින් ද අනෙක් සිසුන් දෙස තම තියුණු ආකර්ශණීය දෑස්වලින් බලමින් ද කීවේය. ඔහු තමා පවසන හැම වචනයක් ගැනම හොඳ විශ්වාසයකින් සිටියේය. තමා නිවැරදි බව ඔහු නිතර සිතුවේය.
“අපිට ඕන වෙලාවට ආදරය ක්‍රියා කරවන්නත් ඕන නැති වෙලාවට ඒක අක්‍රීය කරලා දාන්නත් පුලුවන්...” ඔහු එසේ කියා නිහඬ වූවේය. ටෙසාගේ මුව නොරිස්සුම්සහගත පුදුමයකින් විවර වී තිබිණි. ඇය අත ඉස්සුවාය.
“ඔව්, මිස් යන්ග්... ටෙසා...” මහාචාර්යවරිය කරුණාවන්ත හඬින් කීවාය.
“මං... හිතන්නේ... ඒ නවකතාව තමයි මම මෙතෙක් කියවපු විප්ලවාදීතම ස්ත්‍රීවාදී නවකතාව... ඒ යුගයේ ජීවත් වුන ස්ත්‍රියක් හැටියට ඩාසි වගේ කෙනෙක්ගෙන් අඩුපාඩුකම් සිදුවෙනකොට ඔහුව ප්‍රභලව ප්‍රතික්ෂේප කිරීමට තරම් එලිසබෙත්ට හොඳ කොන්දක් තිබුණා...” ටෙසා කීවාය.
“මනස්ගාත...” හාඩින් උපහාසාත්මකව සිනාසෙමින් කීවේය. ටෙසා නොරිස්සුම්සහගතව හැරී බැලුවාය.
“ඩාසිටම ආවේණික වුන ගතිපැවතුම් වලට එලිසබෙත් නිකන්ම වශී වුණා...” හාඩින් කීවේය.
“ඩාසි කියන්නේ අනෙක් අයව උපහාසයට ලක්කරන නපුරු චරිතයක්.... ඒ වගේ මනුස්සයෙක්ට එලිසබෙත් වගේ පරිපූර්ණ ස්ත්‍රියක් එක්ක ඉන්න ලැබීමත් පුදුමාකාර වාසනාවක්...” ටෙසා උද්වේගයෙන් යුතුව කීවාය.
“ඩාසි එලිසබෙත්ගෙන් විවාහ වෙන්න ඇහුවෙත් එයා ඔහුට මහා ඇණයක් වුන නිසයි...” හාඩින් තරයේ කීවේය.
“ඇණයක් වුන නිසයි ??? ඩාසි තමයි එලිසබෙත්ගෙන් පස්සෙන් ගියේ...” ටෙසා ඔහු කී දේ සිතාගත නොහැකිව මෙන් උස් හඬින් කීවාය.
“එලිසබෙත් කියන්නේ පැහැදිලිවම අතෘප්තිමත් ජීවිතයක් තිබුණ කෙනෙක්. එයාට පෙළඹවීමක් ලැබෙන ඕනෑම තැනකින් එයා ඒක ලබාගත්තා...”
“ඩාසි හිතන් ඉන්න ඇති එලිසබෙත්ට ඔහු ගැන හැඟීමක් තිබුණා කියලා. හැබැයි මම නම් එහෙම හිතන්නෑ....” ටෙසා හාඩින් දෙස බලා තරහෙන් කී විට ඔහු හිස මඳක් ඇලකර දෙබැම ඔසවාගෙන පුදුමයෙන් සිනාසෙමින් ඇය දෙස බලා උන්නේය.
“ඔන්න ඔයාලාට පොත ගැන හොඳ විස්තරයක් ලැබුණා...” මහාචාර්යවරිය සිනාසෙමින් කීවාය. ලැන්ඩන් ටෙසා දෙස බලා කට කොණකින් සිනාසුණේ තමා ඇය ගැන ආඩම්බර වන බව කියාපාන්නට මෙනි.
“ඒක තමයි හොඳ පොතක තියෙන බලය...” මහාචාර්යවරිය යළි කීවාය. ටෙසා උන්නේ තරහෙන් පිපිරෙමිනි. හාඩින් ඇය දෙස ඇලකරගත් හිසින් යුතුව බලාගෙන සිටියේය. ඉන්පසු ඔහු තනිවම සිනාසුණේය.
සීනුව නාද වූ විගස ටෙසා වේගයෙන් ශාලාවෙන් එළියට ගියාය. හාඩින්ද ඒ වේගයෙන්ම විත් ඇය පස්සෙන් වැටුණේය.
“ඒක නියමෙට ගියා...” හාඩින් කීවේය
“නෑ.... ඒක වධයක්....”
“මම ඒක රස වින්දා....” හාඩින් ඇයගේ මඟ අවුරමින් කීවේය.
“මේ බලන්න... ඔයාගේ හිතේ මොන වගේ දේවල් තිබ්බත් ඒවා අයින් කරගන්න... අපි අතර කිසිම දෙයක් වෙන්නේ නෑ. හරිද ? මට පෙම්වතෙක් ඉන්නවා...” ටෙසා උඩඟු ලීලාවෙන් කීවාය.
“අපි ?” හාඩින් දෑස් කුඩා කරමින් ඇසුවේය.
“මං හිතුවේ අපි කතා කරමින් ඉන්නේ අර නවකතාව ගැන කියලා...” ඔහු කීවේය. ටෙසා ගල්ගැසී නිරුත්තරව ඔහුගේ දෑස් දෙස බලා උන්නාය. හාඩින් ජයග්‍රාහී ලෙස කට කොණකින් සිනාසෙමින් ඇයව එතැන දමා යන්නට හැරුණේය. ටෙසා වේගයෙන් හුස්මක් පිඹ ඔහු යන දෙස කෝපයෙන් බලා සිටියාය.
“හේයි... ඔයා කෝපි එකක් බොන්න යනවද ?” ලැන්ඩන් එතැනට එමින් ඇසුවේය.
“කොහොමද කෙනෙක් ඒ තරමටම උද්ධච්ඡ වෙන්නේ ?” හාඩින් සමඟ කෝපයට පත්ව සිටි ටෙසා ලැන්ඩන් සමඟ ඇවිද යමින් උද්වේගයෙන් ඇසුවාය.
“එලිසබෙත් බෙනට්ට පොඩි හික්මීමක් අවශ්‍යයි....” ටෙසා කට ඇදකරෙගෙන හාඩින්ව අනුකරණය කරමින් කීවාය. ලැන්ඩන් කිසිවක් නොකීවේය.
“මොන ජාතියේ මනුස්සයෙක්ද ඒ වගේ දෙයක් කියන්නේ ?” ටෙසා උස් හඬින් ඇසුවාය.
“ඒ තමයි හාඩින්ගේ විධිය...” ලැන්ඩන් කීවේය.
“ඔයා එයාව දන්නවද ?” ටෙසා නතරව පුදුමෙන් ඇසුවාය.
“හරියට බැලුවොත් අපි නෑදෑයෝ... මගේ අම්මා යාලු වෙලා ඉන්නේ විශ්ව විද්‍යාලාධිපති ස්කොට් එක්ක...” ලැන්ඩන් කීවේය. ටෙසා ඔහු කී දේ නොවැටහුණාක් මෙන් බලා සිටියාය.
“විශ්ව විද්‍යාලාධිපති ස්කොට් කියන්නේ හාඩින්ගේ තාත්තා....” ලැන්ඩන් පැහැදිලි කළේය. ටෙසා පුදුමයෙන් බලා සිටියාය.
“හාඩිනුයි මායි සමීප නම් නෑ... ඒත් අපි දෙන්නා එකිනෙකාව ඉවසනවා....”
“හාඩින්ගේ තාත්තා විශ්ව විද්‍යාලාධිපතිද ?” ටෙසා විශ්වාස කළ නොහැකි සේ ඇසුවාය.
“ඔව්...” ලැන්ඩන් ඇගේ මුහුණ දෙස බලා හිස සලමින් එය ස්ථිර කළේය. ටෙසා කිසිවක් නොකියා කල්පනාභරිතව යළි ඉදිරියට ගමන් කරන්නට වූවාය.
“අහන්න... ටෙසා... එයා අවධානය ගන්නයි උත්සාහ කරන්නේ...” ලැන්ඩන් ඇයට සමාන්තරව එමින් කීවේය.
“මගෙන් නම් එයාට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ...” ටෙසා තමා පිළිබඳව දැඩි විශ්වාසයකින් කීවාය.
“හ්ම්ම්...” ලැන්ඩන් ඉවත බලා තනිවම සිනාසුණේය. ටෙසාගේ අවධානය දිනාගන්නට හාඩින් දැනටමත් සමත්ව සිටින බව ලැන්ඩන් දැන සිටියේය.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02