හෙලූ බිම
හෙලූ බිම
©උපුටා ගැනීම තහනම්
මා සිහිනයක් දුටුවෙමි. එය සුන්දර සිහිනයක් යැයි කියන්නට මා පෙළඹෙන්නේ සිහිනයේ උන් කඩවසම් තරුණයා නිසාය. නොඑසේ නම් එය මා දුටු භයානකම සිහින වලින් එකක් වන්නට ඉඩ තිබිණි. සිහිනය ආරම්භ වූයේ විෂඝෝර සර්පයෙකු මා දඩයම් කිරීමට පැමිණෙන තැන සිටය. මාත් සර්පයාත් උන්නේ අමුතු පත්‍ර වලින් යුත් කෘෂ ගස් විශාල වශයෙන් ඇති, මීදුමෙන් පිරි බිමකය. එහි නොනවත්වා වැටුනු සීතල වැසිපොදෙන් මා ගත කිළිපොලා ගිය අයුරු සිහිනයෙන් වුවත් මට දැනුනේ ඇත්තටම මෙනි. කෙතරම් වැසි බිඳු වැටුණද එහි පොළවේ දුහුවිල්ල පහ වූයේ නැත. සියලු වැසි බිඳු පොළව මත වැටී වියළ ගියේය. සර්පයා බිම දුහුවිලි අවුස්සමින් වේගයෙන් මා වෙත එන විට මා උගෙන් සැඟවෙන්නට දිව ගියේ මර බියෙනි. ඌ හොඳින් වැඩුනු වේගවත් එකෙකි. ඉඳින් මා කොහේ සැඟවුණත් ඌ එතැනය. ඉනික්බිති පැමිණෙන්නේ මා පෙර කී කඩවසම් තරුණයාය. ඔහු සාමාන්‍ය තරුණයෙකු නොවේ යැයි මා පවසන්නේ ඔහුගේ දෑසෙහි බැබලුණ රිදී රේඛා නිසාම නොවේ. මා එසේ පවසන්නේ සර්පයා මා ගිලගන්නට සැරසෙන විටම තරුණයා මා තුරුලුකරගෙන ඔහුගේ සුදෝ සුදු පියාපත්වලින් මා සඟවාගත් නිසාය. ඔව්... ඔහු දේවදූතයෙකු විය යුතුය. මා එසේ අනුමාන කරමි. නමුත් එය සිහිනයක් පමණි. අවදි වූ පසු මගේ හදවත ඔහු නැති සොවින් මේ තරම් රිදුම් දෙන්නේ ඒ නිසාය.
දිනක් මා මගේ මිතුරිය සමඟ සිහිනය ගැන පැවසුවෙමි.
“ඔයාට සාමාන්‍යයෙන් හීන මතක තියෙන්නේ නෑනේ...” ඇය පුදුමයෙන් කීවාය.
“ඒක තමයි කියන්නේ ලීනා... ඒ හීනයෙන් පස්සේ මම දකින හැම හීනයක්ම මට හොඳට මතක හිටිනවා...” මා ප්‍රීතියෙන් කීවෙමි.
“හැම හීනයක්ම ? තව මොනවද ඔයා දැකපු හීන ?”
“අහ්...ම්...” මා පැකිළුනෙමි.
“කියන්න...” ලීනා තදින් කීවාය.
“ඇත්තටම... ඒ හීනය විතරයි මම දැන් දකින්නේ...”
“මොකක් ? ජෙනීස්...” ඇය කීවේ බරපතල ස්වරයෙනි.
“ඇයි මොකද ?”
“ඔයාට තේරෙන්නේ නැද්ද ඒක අමුතුයි කියලා ? එකම හීනය හැමදාම දකින එක ?”
“එකම හීනය වුණත් සමහර වෙලාවට ඒ හීනය ඇතුලේ සිද්ධ වෙන දේවල් වෙනස් වෙනවා... ගොඩක් වෙලාවට මම අර තරුණයා එක්ක ආදරෙන් ඉන්නවා. එයාගේ අත්තටු ඇතුළේ මම ආරක්ෂිතයි. සර්පයාට එතකොට බෑ මට කරදරයක් කරන්න. අහ්... ඊයේ මම සොහොන් කොතක් දැක්කා. ඒ සොහොන් කොතේ ගහලා තිබුණේ මගේ නම... ඒක යටින් මම මැරුණ දවසත් ලියලා තිබුණා. ඒත් අර තරුණයා එක පාරටම ඇවිත් මාව එයාගේ පියාපත් වලින් වහගෙන එතනින් ඈතකට අරගෙන ගියා.” මා කියන විට ලීනාගේ මුව විවර විය.
“ඔයා ඒ හීනය ගැන ඔය තරම් සැහැල්ලුවෙන් හිතන එක ගැන මට පුදුමයි...”
“ඒක කොච්චර භයානක වුණත් මම ඒ හීනයට ආදරෙයි. ඔයාට තේරෙනවානේ ඇයි කියලා...”
“ඔව්... මං දන්නවා..” ඇය තරහෙන් කීවාය.
“ලීනා...” මා දුකෙන් කීවෙමි.
“ඇයි ? මොකද ?”
“මට හිතෙනවා මං එයාව ගොඩක් කල් ඉඳලා දන්නවා කියලා. අනික ඒක නිකන්ම හීනයක් වෙන්න බෑ. මට හිතෙන්නේ ඒ හැමදෙයක්ම ඇත්තටම වෙනවා කියලා. ඒ භූමියත් එක්ක මගේ මොකක්දෝ බැඳීමක් තියෙනවා කියලා මට දැනෙනවා...”
“ජෙනීස්....” ලීනා පුදුමයෙන් කීවාය. ඉන්පසු ඇය බියට පත් වූවෙකු සේ මා දෙස බලා සිටියාය.
--------------------------------------
පසුදින මා රැකියාවට යාමට පෙර උදේ ආහාරය ගනිමින් සිටියෙමි.
“මිස් ජෙනීස් ඒන්ජල්....” හදිසියේම යමෙකු දොරට තට්ටු කරමින් කතා කළේය.
“ඔව්...” මම දොර විවර කර පුදුමයෙන් කීවේ පිටත සිටින තරුණයා දෙස බලමිනි.
“ඔයාට පාර්සලයක් තියෙනවා...” ඔහු එසේ කියමින් තම විශාල බෑගයෙන් පාර්සලයක් පිටතට ඇද්දේය.
“පාර්සලයක් ...??” මට පුදුමයට කියැවිණි. ඔහු දුන් පත්‍රිකාවේ අත්සනක් දමා පාර්සලය බාර ගත් මා දොර වසා දමා දැමුවෙමි. ඉන්පසු වහ වහා එය මේසය මත තබා ලෙහන්නට වීමි.
“මගේ දෙවියනේ....” පාර්සලයේ තිබූ දෙය මේසය මතම අතහැර මා පදුපසට වූයේ එක් අතකින් මුව තද කරගනිමිනි. මෙය කාගේ හෝ විහිලුවක් විය යුතුය. මේසය මත ඇති සොහොන් ගල දෙස බලාගෙන මම සිතුවෙමි.
‘ජෙනීස් ඒන්ජල්...
විපත 2017.08.17’ ලෙස එහි සටහන්ව තිබිණි. පාර්සලයේ තිබී අතට ගත් කුඩා කඩදාසිය වෙත මා දෑස් යොමු කළෙමි.
‘හෙලූ බිමත් ඔහුවත් අමතක කරන්න... නැත්නම් මරණය පිළිගන්න...’ එහි විශාල අකුරින් එසේ සටහන්ව තිබිණි.
“හෙලූ බිම....??” මා සෙමින් මිමිණුවෙමි. යම් දෙයක් මතකයට එන්නට තැත් දැරුවත් එය එතැනම හිරවී ඇති බවක් දැනෙන්නට වූයෙන් එය මගේ මනසට ඇති කළේ අපහසුතාවයකි. මා අපහසුවෙන් මුලුතැන්ගෙට ගොස් වතුර වීදුරුවක් පානය කළෙමි.
------------------------------------
මා උන්නේ පෙර සිහිනයෙන් දුටු භූමියේමය. මා බිම වැටී හඬමින් විශාල සර්පයා මා ගිලගන්නට ළං වෙන දෙස බලා සිටියෙමි.
“උඹ... උඹ... මැරිච්ච බැ$*. මගේ භූමියට එන එක නතර කරපන්....” සර්පයා අමුතු හඬකින් කියමින් මා වටා දඟර ගැසුණේය.
“මට... මට... තේරෙන් නෑ...” මා හඬමින් කෑ ගැසුවෙමි.
“උඹ මැරුණා...” සර්පයා ද කන් බිහිරි කරවන හඬකින් මගේ මුහුණට එබී කෑ ගැසුවේය. මා බියෙන් දෙනත් පියාගෙන දෑතින් දෙසවන් වසාගෙන කෑ ගැසුවෙමි. මා සිහිනයෙන් අවදි වූයේ මගේම ඒ කෑ ගැසීමේ හඬිනි.
“ඔහුව අමතක කරන්න... නැතිනම් මරණය පිළිගන්න....” සර්පයා රහස් හඬින් මුමුණනු ඇසිණි. එහෙත් මට උගේ හඬ ඇසෙන්නේ කෙසේද ? මා තවදුරටත් සිටින්නේ සිහිනයේ නොවේ. මා සිටින්නේ අවදිවය. මා භීතියෙන් වෙවුලමින් ඇඳේ පොරවනය යට ගුලි වීමි.
------------------------------------------
{වසර දෙකකට පෙර}
2017.08.17
ජෙනීස් සහ ලීනා තවත් සංචාරකයින් කිහිප දෙනෙකු සමඟ බස් රථයක ගමන් ගනිමින් සිටිති. විශාල වනාන්තරයක් මැදින් වැටුණ පාරක් දිගේ ගමන් කළ ඔවුහු අවසානයේ කඳවුරු භූමියකට පැමිණියහ. ඔවුන් එදින එතැන කඳවුරු බඳින බවත් පසුදින වනාන්තරය නරඹන්නට යන බවත් මාර්ගෝපදේශකයා පැවසුවේය. ඔහු විසින් සියලු දෙනාට එකට සිටීමටත් කිසිම මොහොතක කණ්ඩායමෙන් වෙන් නොවීමටත් උපදෙස් දී තිබුණද අවට සුන්දරත්වයෙන් ඔද වැඩී සිටි ජෙනීස් සහ ලීනා එදින රාත්‍රියේ කාටත් රහසින් වනය තුළට පිටවන්නේ සිතියමේ සඳහන් කර ඇති දිය ඇල්ල නැරඹීමට සිතාය. සිතියමේ සඳහන් පරිදි එය ඇත්තේ ඔවුන්ට ඉතා සමීපයෙනි. ඇරත් ඔවුන්ට දියඇල්ලේ හඬ පවා කඳවුරු භූමියේ සිට ඇසිය හැකිව තිබිණි. ඔවුන් දෙදෙනා එහි යාම ගැන සැහැල්ලුවෙන් සිතුවේ එබැවිනි. දෙදෙනා දිය ඇල්ල සොයාගත්හ. ජෙනීස් සතුටින් කෑ ගසමින් උඩ පනින විට ලීනා ඇයව නිහඬ කළාය.
“මොකද ?” ජෙනීස් ඇසුවේ ලීනා දෙස පුදුමයෙන් බලමිනි. ලීනාගේ බියපත් දෑස් යොමු වී තිබුණේ කැලෑව දෙසටය. හඳ එළිය හොඳින් වැටුණු නිශ්චල කැලෑව ඔවුන්ට පෙනුනේ අද්භූතජනක ජීවියෙකු මෙනි.
“ඇයි ?” ජෙනීස් යළි ඇසුවාය.
“මං හිතන්නේ මම මොකක් හරි දැක්කා...”
“මොකක්ද ?”
“අනේ මන්දා... මොකක් හරි හෙලවුනා...”
“ගහක් වෙන්න ඇති...” ජෙනීස් එසේ කීවද ඇගේ හඬ මඳක් වෙවුලනු ලීනාට ද දැනිණි. ලීනා බලා සිටින පෙදෙසේ නොසෙල්වී සිටින යම් කලු ඡායාවක් මේ වන ජෙනීස්ගේ ද නෙත ගැටී තිබිණි.
“ඔයා ඒක දැක්කද ?” ජෙනීස් රහසින් මෙන් ඇසුවේ ගැහෙන හඬිනි.
“මට දැන් මොකුත් පේන්නේ නෑ. ඒත් මට විශ්වාසයි, මොකක් හරි හෙලවෙනවා මම දැක්කා...” ලීනා එසේ පවසනවාත් සමඟම ජෙනීස් දුටු කලු ඡායාවේ දෑස් දෙකක් විවර විය. ඒවා රිදී පැහැයෙන් බබලමින් තිබූ බැවින් ජෙනීස් පැහැදිලිව ඒවා දුටුවාය.
“ලීනා... ඒකට ඇස් තියෙනවා. දුවන්න...” ජෙනීස් කෑ ගසමින් ආපසු හැරුණාය. ලීනා පණ කඩාගෙන දුවන විට ජෙනීස්ගේ පය යමක එතී බිම ඇද වැටිණි. ලීනා බියෙන් හැරී බැලුවාය. ඇය දුටුවේ ජෙනීස්ගේ බියපත් මුහුණ පමණි. තම පය වටා යමක් එතෙමින් තද කර අල්ලාගනු ජෙනීස්ට දැනුනත් එය ලීනා සමඟ කියන්නටවත් ඇයට වෙලාවක් ලැබුණේ නැත. ඇගේ පාදය වටා වෙලුණු දේ ඇයව ආපස්සට ඇද වේගයෙන් ගලන දිය ඇල්ල තුළට දැමුවේය.
ලීනා යටිගිරියෙන් කෑ ගැසුවාය. ඇයට තම පණ සහ මිතුරිය යන දෙකින් එකක් බේරාගැනීමට තීරණය කළ යුතුව තිබිණි. ඇය බියෙන් හා දුකෙන් හඬමින් දිය ඇල්ල අසළට ගොස් පහත ප්‍රපාතය දෙස බැලුවාය.
“ජෙ..නී..ස්...” ඇය වෙවුලන හඬින් කෑ ගැසුවාය. එහෙත් දිය ඇල්ලේ හඬ ඇරෙන්නට වෙනත් කිසිවක් ඇයට පිළිතුරු දුන්නේ නැත. ඇය හඬමින් කඳවුරු භූමිය දෙසට දිව ගියාය.
--------------------------------------
දිය ඇල්ල පාමුල ගලක් මත වැටී සිටි ජෙනීස්ගේ නිසල සිරුර මත සඳ එළිය වැටී ඇගේ විවරව තිබූ දෑස් භයානක පෙනුමකින් දිලිසෙමින් තිබිණි. ඇගේ හිස පිටුපසින් හා සිරුරේ අනෙක් තැන්වලින් ගලා යන රුධිරය වේගයෙන් ගල අතරින් පහලට ගලමින් දිය ඇල්ලේ වතුරට එක්වෙමින් තිබිණි. එක්වරම වතුරේ කැළඹීමක් ඇති විය. ජෙනීස් වෙත දිගු වූ හැඩි දැඩි හස්තයක් ඇගේ මල සිරුර ඔසවා ගත්තේය. ඇය ඔසවාගත් පුද්ගලයා බරැති අඩි බිම තබමින් ඇවිද ගිය අතර ඔහුගේ පිටුපසින් සුදු පියාපත් දෙකක් එල්ලෙමින් තිබිණි.
“උඹට බෑ ඒකිව මගේ භූමියට ගෙනියන්න...” සර්පයාගේ හඬ කෝපයෙන් මිමිනුවේය.
“උඹ ජෙනීස්ව මැරුවා... මම එයාට ආදරේ කරපු නිසා. ඒක සාධාරණ නෑ. එක්කෝ ජෙනීස්ට හෙලූ බිමට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. නැත්නම් මම උඹව අත හරින එකට මූණ දෙන්න ලෑස්ති වෙන්න...” සුදු පිහාටු සහිත තරුණයා කීවේය.
“උඹ මගේ හොඳම සොල්දාදුවා... හොඳම මිනීමරුවා... මට උඹව අත් ඇරගන්න බෑ. ජෙනීස්ව හෙලූ බිමට අරගෙන යන්න. හැබැයි එයාට කිසිම දෙයක් මතක තියෙන්න බෑ...”
“හරි...” තරුණයා මීදුම අතරින් හෙලූ බිමට ඇතුලු විය.
“තව දෙයක්....”
“කියන්න...” තරුණයා නැවතී කීවේය.
“මෙහේ වැඩ ටික ඉවර වුණාට පස්සේ උඹට ආයෙත් ජෙනීස් ඉදිරියට යන්න තහනම්...” සර්ප හඬ මුමුණන විට තරුණයා සෝ සුසුමක් හෙලුවේය.
“හරි...”
“එහෙම වුනොත් අනිත් අයට වුන දේම උඹටත් වෙයි...”
තරුණයා ශෝකයෙන් අවට ඇති කැහැටු ගස් දෙස බැලුවේය.
“ඒ අය ගැන මට ඉරිසියායි......” තරුණයා සෙමින් කීවේය. ඉන්පසු තවත් පමා නොවී ජෙනීස්ව රැගෙන ඉදිරියටම ඇදුණේය. නොනැවතී වැටෙන වැසි බිඳු කෲශ ගස් දිගේ පහලට රූටා වැටුණේ ඔවුන් කඳුලු හෙලන්නාක් මෙනි.
“එපා... නවතින්න.... සහෝදරයා...” ගස් අතරින් විවිධ හඬවල් මුමුණනු ඔහුට ඇසිණි. තරුණයා ඒවා නොසලකා ඉන්නට උත්සාහ කරමින් සිත දැඩි කරගෙන ඉදිරියටම ඇදුණේ නිශ්චිත තැනක් සොයාය.
හෙලූ බිම මධ්‍යයේ කුඩා උස් බිමක් විය. එය කුඩා වැවක් මැද පිහිටා තිබිණි. ඔහු ජෙනීස්ගේ සිරුර ඒ මැද වැලලුවේය. පොළවෙන් සොහොන් කොතක් මතුවී එහි ඇගේ නමත් මිය ගිය දිනයත් සටහන් විය.
“ඔන්න මම මගේ ජීවිතයම ඔයා වෙනුවෙන් කැප කළා. මට ඔයා ඉස්සරහට එන්න තහනම් වුනාට ඔයාට මගේ ඉස්සරහාට එන්න තහනමක් නෑ. කරුණාකරලා මාව අමතක කරන්නෙපා.. මාව හොයාගන්න ඔයාට පුලුවන්.” ඔහු සොහොන් කොත මත අත තබා ශෝකයෙන් කීවේය.
-------------------------------------
ලීනා සහ පිරිස ජෙනීස් සොයා දිය ඇල්ල පහළට එන විට ඇය නිරුපද්‍රිතව තමන් වෙතට එනු ඔවුන් දුටුවහ.
“ජෙනීස්...” ලීනා ප්‍රීතියෙන් හඬමින් ඇයව බදාගත්තාය.
“මොකද වුණේ ? ඔයා හොඳින්ද ?” අනෙක් පිරිස ඇසූහ.
“මාව උඩින් වැටුණා. මම හිතුවේ ඒ මගේ අවසානය කියලා. ඒත් වාසනාවට මං හොඳින්...” ජෙනීස් සිනාසෙමින් කී විට ඔවුන් සැනසුම් සුසුම් හෙළමින් ඇය කැටුව ආපසු යාමට හැරුණි. මාර්ගෝපදේශකයා පමණක් ජෙනීස් දෙස බලා දිය ඇල්ලේ මුදුන දෙස බැලුවේ ඇය එතැනින් වැටී සීරුමක්වත් නැතිව සිටින්නේ කෙසේදැයි පුදුම වෙමිනි.
----------------------------------------
වර්ථමානය
ගෙදරට ආ අමුතු පාර්සලය ගැන මගේ මිතුරිය සමඟ කී පසු හෙලූ බිම පිළිබඳව පොත්පත්වලින් හා අන්තර්ජාලයෙන් සොයන්නට අප තීරණය කළෙමු.
“ජෙනීස් මට බ්ලොග් එකක් හම්බු වුණා. ප්‍රංශ භාෂාවෙන් තියෙන්නේ. මේකේ අකුරු කොපි කරගන්නවත් ස්වයංක්‍රීයව පරිවර්තනය කරගන්නවත් බෑ. මම ප්‍රංශ ටිකක් දන්න නිසා සංක්ෂිප්තව තේරුම්ගන්න නම් පුලුවන්. පොඞ්ඩක් ඇවිත් මේ චිත්‍ර දිහා බලන්න... ඒවා ඔයා කියපු විස්තර වලට සමානයි...” ලීනා කී විට මා බලමින් සිටි පොත් සියල්ල පසෙකට විසි කර ඇගේ පරිගණක තිරයට එබුනෙමි.
“දෙයියනේ... ලීනා... ඒවා හරියටම හරි....” මා පුදුමයෙන් දෝතින් මුව වසාගනිමින් කීවෙමි.
“ජෙනීස් මේකේ කියන හැටියට හෙලූ බිම කියන්නේ සාතන්ට අයිති භූමියක්. ඒක තියෙන තැන කවුරුත් හරියටම දන්නේ නෑ. ඒකට මිනිස්සුන්ට ඇතුල් වෙන්නත් බෑ...”
“මොනවා ?”
“ඔව්... මේ බලන්න මේ වේලුණු ගස් වගේ තියෙන්නේ සාතන්ට පසු කාලීනව විරුද්ධ වුන සාතන්ගේම සොල්දාදුවන්ලු... තමන්ගේ සොල්දාදුවෙක් තමන්ට විරුද්ධ වුණාම සාතන් ඒ කෙනාව විනාශ කරනවාලු. ඒත් දෙවියන්වහන්සේ ඔවුන්ට තව එක අවස්ථාවක් දීලා තියෙන නිසා ඒ අය පොළවට මුල් ඇදපු ගසක් බවට පත් වෙනවා. ඒ භූමියට දෙවියන්වහන්සේ නතර නොවෙන වැස්සක් වස්සනවලු ඒ ගස් නොමැරී තියෙන්න. හැබැයි ඒ වතුර ඒ ගස්වලට විතරක් මිසක් ඒ ශාපලත් භූමියට අයිති නෑ. ඒ නිසා ඒ භූමියේ දුහුවිල්ල ඒ වැස්සෙන් වියැකෙන්නේ නෑ..
මේ බලන්න... ඔයා කියපු වැව. ඒ මැද තියෙන උස් ගොඩැල්ල... හැබැයි සොහොන් කොතක් නම් නෑ. යටින් ඒ ගැන විස්තරයක් තියෙනවා...”
“මොනවද ලියලා තියෙන්නේ ?” මා නොඉවසිල්ලෙන් ඇසුවෙමි.
“ඒ තැන අයිති සාතන්ගේ හොඳම සොල්දාදුවාට කියලා තියෙන්නේ. මං හිතන්නේ එයා සාතන්ට විරුද්ධ වුණොත් එයාගේ ජීවිතය රැඳෙන්නේ එතැනයි. ඒ කියන්නේ එයාව සාතන් විනාශ කළොත් ඒ ගොඩැල්ල උඩ එයාවත් ගහක් බවට පත් වෙනවා...”
“මට තේරෙන්නේ නෑ...” මා පුදුමයෙන් කීවෙමි.
“ඒ තැන මගේ සොහොන් කොතක් තියෙන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ ?” මා කල්පනාභරිතව මිමිනුවෙමි.
“ජෙනීස්.... ඔයාට ගෙදරට එවපු සොහොන් කොතේ ඔයාගේ විපත කියලා ලියලා තියෙන්නේ ඔයා අර දිය ඇල්ලෙන් පහලට වැටුණ දවසයි. ආයේ ඔයා හීනයෙන් හරි හෙලූ බිමට ගියාම පුලුවන් නම් එහේ තියෙන සොහොන් කොත හොයාගෙන ඒකේ සඳහන් කරලා තියෙන දිනය බලාගන්න...”
-----------------------------------
මා නැවතත් හෙලූ බිමෙහි සිටියෙමි. මෙවර එය සිහිනයක් නොවන බැව් මා දැන සිටි බැවින් මා කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබිණි.
“උඹ.... ආයෙත් ආවද බැ%# ? උඹට මම කියන දේ තේරෙන්නේ නැද්ද ?” විශාල සර්පයා මා හඹා එන්නට විය.ඌ සාතන් බව මම මේ වන විට දැන සිටියෙමි.
“මාව බේරගන්න....” මා නම නොදත් තරුණයාට හඬ ගාමින් දිව ගියෙමි. තත්පර කිහිපයක් ඇතුළත මා උන්නේ ඔහුගේ සුදෝ සුදු පියාපත් අතරය. ඔහු පියාපත් ලිහිල් කර මා දෙස ආදරෙන් බැලුවේය. අප සිටියේ හිස් අවකාශයේ පා වෙමිනි. මම ඔහුගේ ගෙල බදාගෙන ඔහුගේ නළලට මගේ නළල තැබුවෙමි.
“මට විශ්වාස කරන්නත් බෑ... ඔයා ඇත්තටම ඉන්නවා කියලා...” මම සතුටු කඳුලු හෙලුවෙමි.
“මම ඉන්නවා... ඔයා වෙනුවෙන්....” ඔහු ආදරෙන් කීවේය. ඔහුගේ ආදරය සිත් සේ විඳිමින් මොහොතක් ගත කළ පසු මට සොහොන් කොත බැලීමට අවශ්‍ය බව පැවසුවෙමි.
“නෑ... ඒක ඔයා දකින්න ඕන නෑ...” ඔහු තරවටු කරන ස්වරයෙන් කීවේය.
“මට බලන්න ඕනා... ඔයා දන්නවද ඒ වගේම සොහොන් කොතක් මගේ ගෙදරට කවුරු හරි එවලා තිබුණා...”
“මොකක් ?” ඔහු කලබලයටත්, කෝපයටත් පත් වූවේය.
“ඔය ඇත්තමද ?” ඔහු එසේ අසන විට ඔහුගේ ඇස්වල රිදී රේඛා ගින්දර පැහැයක් ගෙන තිබිණි.
“හ්ම්... අර සර්පයාගේ කටහඬ මට ඇත්තටම ඇහුණා. මම ඇහැරලා ඉද්දි...”
“නෑ....” ඔහු කෑ ගසමින් මා අතහැර පසෙකට පියඹා ගියේ ඔහුගේ සිරුරෙන් විහිදුන ගිනිදැල්වලින් මා ආරක්ෂා කරන්නට විය යුතුය.
“එයාට පාඩුවේ ඉන්න දීපන් යක්ෂයා...” ඔහු වියරු හඬකින් කෑ ගසන විට සර්පයා කට ඇරගෙන වේගයෙන් එතනට ආවේය.
“උඹට අවස්ථාවක් නැති බව දැන දැනත් මට අභියෝග කරන්න හයියක් කොහෙන්ද ?” සර්පයා කෑ ගැසුවේය.
"ඇයි එයාට පාඩුවේ ඉන්න නොදෙන්නේ ? උඹ තහනම් කළේ මට එයාගේ ඉස්සරහට යන එක විතරයි. එයාට මං ළඟට එන්න අවසර තියෙනවා.."
“මගේ භූමියට මනුස්සයෙක් හිතූ මනාපේ එනවා යනවා...මට ඒකට ඉඩ දෙන්න බෑ. ඒකි දැනටමත් මැරුණ කෙනෙක්...ඒකිගේ කලින් ශරීරය උඹේ බිම් කොටසින් අයින් කරපන්. එතකොට හැම ප්‍රශ්නයක්ම ඉවරයි. ඒකිට මැරෙන්න ඇරපන්... උඹේ බිම් කොටසේ අයිතිය ඒකිගෙන් ආපහු ගනින්... මගේ ඉවසීමේ සීමාව පැන්නොත් එතනින්ම උඹේ අවසානය සිද්ධ වෙනවා....”
සර්පයා කී විට මා පුදුමයෙන් තරුණයා දෙස බැලුවෙමි.
“මොකක්ද මේ කියන්නේ ? මට පැහැදිලි කරන්න පුලුවන්ද ?” භයානක සර්පයා දෙසත් රෞද්‍ර බවට පැමිණි තරුණයා දෙසත් බලමින් මා ඇසුවේ සිතට උපරිම ධෛර්යය ගෙනය. සර්පයා මා දෙස හැරී බැලුවේය. ක්ෂණයකින් මමත් සර්පයාත් උන්නේ වැව අද්දරය. මා සොහොන් කොත දෙස බැලුවෙමි.
‘ජෙනීස් ඒන්ජල්...
විපත 2017.08.17’ එහි ලියැවී තිබිණි. මගේ දෙපා අප්‍රාණික විය.
“ඒකේ තේරුම ?” මා සර්පයා දෙස බලා වෙවුලන හඬින් ඇසුවේ තරුණයා මගෙන් ඒ සියල්ල වසන් කරන බව හොඳින් ම දන්නා නිසාය.
“ඒකේ තේරුම උඹ එදා දිය ඇල්ලෙන් වැටිලා එතනම මැරුණා කියන එකයි. ඒත් උඹට ජීවත් වෙන්න තව අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව උඹට අයිතිව තිබුණ එකක් නෙවෙයි. මගේ හොඳම සොල්දාදුවාට අයිතිව තිබුණු එකක්. ඒක එයා උඹ වෙනුවෙන් කැප කළා...” යක්ෂයා එය කීවේ ඈතින් වියරු වැටී අප වෙත ඇදී එන තරුණයාව පෙන්වමිනි.
“ඒ කියන්නේ... ඔයා එයාව විනාශ කළොත් එයාගේ ජීවිතය එතනින් සදහටම ඉවර වෙනවා කියන එකද ?”
“අනිවාර්යයෙන්ම...” එසේ කී යක්ෂයා තරුණයා වෙතට පිනූයේ මට සිතන්නටවත් කාලයක් නොතියාය. මට දැනුනේ විශාල පිපුරුමකට සමාන කම්පනයකි. සර්පයා ඉහලට එසවී සිටිවනම ඉන්නා අතර වියළි ගසක ලොකු කොටයක් වැනි යමක් බිම වැටිණි. මා තවමත් ඉහළ බලා සිටියේ මගේ ආදරවන්තයා දැකගැනීමටය. එහෙත් ඔහු එහි නොවන බව වැටහීමෙන් අනතුරුව මා වෙවුලමින් බිම වැටුණු වියළි කොටය දෙස බැලුවෙමි. එයින් අතක් වැනි යමක් ඉහළට එසවී තිබුණේ තමන්ව බේරාගන්නා ලෙස ස්වර්ගයේ සිටින දෙවියන්ගෙන් අයදින්නාක් මෙනි.
මා කෑ ගසමින් හඬා වැටුනෙමි. ඒ සමඟම සියල්ල බොඳව යන්නට විය. මා අවදි වූයේද කෑ ගසමින් හඬමිනි. දින කිහිපයක් යන තුරු මා ගෙයින් එළියට බැස්සේවත් නැත. යළි කිසි දිනෙක මා හෙලූ බිම දුටුවේද නැත. මා යම්කිසි මුලාවකට හසුව සිටිනවාදෝ විටෙක පුදුම වූයෙමි. එහෙත් මේසය මත තවමත් ඇති සොහොන් කොත සහ කඩදාසි කොළය ඒ සිදු වූ සියල්ල සත්‍යයක් බව ඔප්පු කළේය.
“මම අඩු තරමේ එයාගේ නමවත් දැනගෙන හිටියේ නෑ....” මා හඬමින් මටම කියාගත්තේ දින කිහිපයක් පුරා ඇදහැලෙන පොද වැස්ස දෙස වීදුරු අතරින් බලමිනි. එක්වරම මා තිගැස්සිණි. මා පුදුමයෙන් නැගිට මිදුලට ගියේ පොද වැස්සේ තෙමීගෙනමය. මිදුලේ තණගොල්ලේ මා නොසිටවූ ගසක් වැඩී ඇත. එය සිහින්ය. ඒවායේ පත්‍ර හෙලූ භූමියේ පත්‍රවලට හැම අතින්ම සමානය. මගේ ඇස්වලින් කඳුලු කැට කිහිපයක් කඩාගෙන වැටුණේය. මම සෙමින් ගසේ පත්‍ර ස්පර්ශ කළෙමි. ඉන්පසු එහි පාමුල වැටී හඬන්නට වූයෙමි.
“මම ඔයාට හැමදාමත් ආදරෙයි...” මා සිහින් හඬින් කීවෙමි.
-The End-
Comments
Post a Comment