සදෙව්


සදෙව්
©උපුටා ගැනීම තහනම් ...

මගේ උස අඩි පහයි අඟල් දෙකයි. එයා අඩි හයක් විතර උසයි. හැමදාම ඉස්කෝලේ ඇරිලා මම ගෙදර යන්න බස් එක ළඟට යද්දි එයා ජිම් එකේ ව්‍යයාම කරන ගමන් මං දිහා බලාගෙන ඉන්නවා. අම්මෝ ඒ බැල්ම නම්.., කියලා වැඩක් නෑ. එක දවසක් මගේ පන්තියේ ළමයින් දෙන්නෙක් සාරි පොට ඔලුවේ දාගෙන මගේ පස්සෙන් එද්දි ඒක දැකලා එයාට යන්තම් හිනාවක් ගියා. එයාගේ හිනාව මුල් වතාවට මම දැක්කේ එදා තමයි. අනෙක් හැම දවසක ම එයා උන්නේ මං දිහා කන්න වගේ බලාගෙනයි. එයා දිහා බලද්දි බය හිතුණත් මොකක්දෝ හේතුවකට ඒ ලස්සන මූණත්, කඩවසම් ශරීරයත් දකින්න මගේ හිත ආසා කළා. මාස ගාණක් ගෙවුනේ ඒ වගේ හොරැහින් බැලීම් එක්ක විතරයි. එතනින් එහා දෙයක් කවදාවත් සිද්ධ නොවුන නිසා මමත් හැමදාම ඇස් කොණින් එයා දිහා බලනවා. 

එදත් සුපුරුදු විධියට බස් එකට යන ගමන් මම හොරැහින් ජිම් එක පැත්ත බැලුවා. මොනවා ? කවදාවත් නැතිව එයා ජිම් එකේ පේන්න උන්නේ නෑ. මම හිටිවන ම නතර වෙලා පුදුමයෙන් ජිම් එක පුරාවට ම ඇහැ යැව්වා. මම දුකෙන් එන්න හැරුණේ එයා කොහේවත් ම පේන්න නොහිටිය නිසයි. එක පාරට ම මම ගැස්සුනේ බස් නැවතුම්පලේ ඉන්න පුද්ගලයාව දැකලා. මම ආයෙත් හිටි තැන ම ගල් ගැහුනා. 

"අර බලන්නකෝ, අපේ චූටි මිස් දිහා බලන අයියා අද බස් හෝල්ට් එකේ...." මගේ සාරි පොටේ එල්ලිලා උන්න පොඩි එකෙක් කෑ ගහද්දි මට පොළව පලාගෙන යන්න හිතුණා.

"ඒයි, මොනවද ඔය කියන කතා ? ගුටි ඕනෙද ?" මම බොරු තරහක් පෙන්නලා අහද්දි පොඩි එකා බිම බලාගෙන හිනා වුනා.

මම ගැහෙන හිතින් ඉස්සරහට ඇදුනේ පොඩි උන් දෙන්නා ළඟ ඉන්න හයිය හිතේ තියාගෙනයි. මම බස් නැවතුම්පල ළඟ නතර වෙලා ෆයිල් මිටිය පපුවට තදින් තුරුලු කරගෙන එයා දිහා නොබලා උන්නා. ඒත් මට ඇහුණා එයා මං ළඟට එන අඩි සද්දේ. මම බයෙන් ඒ දිහා හැරිලා බලද්දි ම එයා මං ළඟින් හිටගත්තා. මූණ පුරා ලාවට වැවුන රැවුල, කලු පාට අත් නවපු දිග කමිසය නිසා එයාගේ ලස්සන තවත් කැපිලා පෙනුණා. එයා එහෙමම ටික වෙලාවක් මං දිහා බලාගෙන ඉද්දි මම බයෙන් ඒ ඇස් දිහා බලාගෙන උන්නා. එයා යන්තම් ඔලුව ඇල කරලා ඇස් කුඩා කරලා මං දිහා බලද්දි මම ෆයිල් මිටිය අත් දෙකෙන් ම මිරික ගත්තා.

"මම ඔයාට කැමතියි...."

"ආ ?" එයා එක පාරට ම කියපු දේ අහලා මගේ ඇස් දෙක ලොකු වුනා. මම එහෙමම එයා දිහා බලාගෙන ඉද්දි එයා මං දිහා බලාගෙන උන්නේ අර පිස්සු වැටෙන බැල්මෙන්මයි. මට පිටිපස්සේ උන්න පොඩි උන් දෙන්නා 'හිකි හිකි' ගාලා හිනාවෙන සද්දේට මම ආයෙත් පියවි ලෝකයට ආවා.

"මම හෙට එනවා ඔයාගේ ගෙදරින් කැමැත්ත අහන්න. ඊට කලින් ඔයා මට කැමතියිද කියලා කියන්න...." එයා ආයෙත් කියද්දි මම පුදුමයෙන් බලාගෙන උන්නා.

"හෙ... හෙට ?" මම පුදුමෙන් ඇහුවා.

"ඔව්.... ඇයි ? ඔයා කැමති නැද්ද ?"

"කැමතියි... මම මේ කිව්වේ...." මම ගොත ගහද්දි එයාගේ ආඩම්බරකාර මූණට හිනාවක් ආවා. ඒත් එක්ක ම එයා හිනාව ආයාසයෙන් යටපත් කරගත්ත බව මට තේරුණා.

"හරි එහෙනම්.... ඔයා කැමතියිනේ ? මම හෙට ගෙදරට එනවා...." එයා එහෙම කියලා මගේ පිටිපස්සේ ඉඳන් 'හිකි හිකි' ගාන කොල්ලන් දෙදෙනාව ළඟට ඇදලා ගත්තා. 

"මිස්ව හොඳට බලාගන්න ඕනා..." එයා එහෙම කියලා දෙන්නගේ ම දාඩිය පිරුනු ඔලු දෙක අත ගෑවා. පොඩි උන් දෙන්නා ලැජ්ජාවෙන් ඔලුව වනලා ඒ අවවාදය පිළිගද්දි මම උන්නේ තුෂ්ණිම්භූත වෙලා. එයා යන්න යද්දි මම තීරණය කළා මම ඔහුට කතා කළ යුතු ම බව.

"අහන්න...." මම කියද්දි එයා හැරිලා බැලුවා. මම කතා කරපු එක ගැන එයා උන්නේ සතුටින්. ඒ බව එයාගේ දිලිසෙන ඇස්වලින් මට පෙනුණා. මම දුකෙන් බිම බලාගත්තා.

"මම කැමති නෑ ඔයා ගෙදර එනවට. මං ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම්, ඒක දැන්ම හිතෙන් අයින් කරගන්න...." මම කියපු දේ අහලා එයා පුදුම වුන බව මට තේරුණා. ඒත් එක්ක ම එතනට ආව බස් රථයට මම ඉක්මණින් ගොඩ වුනා. මම ජනේලයෙන් එයා දිහා බලද්දි එයා ආයෙත් ඔලුව ඇල කරලා ඇස් කුඩා කරලා මං දිහා බැලුවේ මාව තේරුම්ගන්න උත්සාහ කරන කෙනෙක් වගේ. මගේ ඇස්වලට කඳුලු උනාගෙන එද්දි ම බස් රථය ඉදිරියට ඇද්දුවා. එයා මගේ කඳුලු දැකපු බව එයාගේ මූණේ ඇති වුන වෙනස්කමින් මම තේරුම් ගත්තා.
-----------------------------------------
පහුවදා නිවාඩු දවසක් වුන නිසා මම උදේම නාගෙන චීත්තයක් ඇඳගෙන තුවායත් ඔලුවේ බැඳගෙන රෙදි බේසම උස්සගෙන ඉස්සරහා වැල ළඟට ගියේ කිසිම බයක් සැකක් නැතුව. ඒකට හේතුව අපේ ගේ අවට කිසිම කෙනෙක් පදිංචි වෙලා නොඉඳීමත්, අපි පදිංචි වෙලා උන්නේ පාර කෙළවරේ ම ගෙදරත් වීමයි. සාමාන්‍යයෙන් අපේ ගෙදරට අමුත්තෙක් එන්නේ බොහොම කලාතුරකින්. මම මුලු සතියේ ම ඇඳපු සාරි ටික වැලට දමමින් ඉද්දි එක පාරට ම සිද්ධ වුනේ අනපේක්ෂිත දෙයක්. පාර දිගේ ආව සුදු පාට හයිබි්‍රඞ් කාරයක් ගේ ඉස්සරහා නතර වුනා. මම ඉක්මණින් හිස් බේසම අතට ගනිමින් ඒ දිහා කුතුහලයෙන් බලද්දි කාර් එකෙන් බැස්සේ එක පිරිමියෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ජිම් එකේ පිරිමි ළමයා. එයා මගේ උඩ ඉඳන් යටට යනකල් බලද්දි මම මොහොතක්වත් පරක්කු නොවී හිස් බේසමත් උස්සගෙන ගේ ඇතුළට දුවගෙන ගියා. 

"මොකද ළමයෝ මේ ? ගේ ඇතුට බේසමත් උස්සගෙන කඩාගෙන පැන්නේ ?" අම්මා එහෙම අහගෙන දොරකඩට යද්දි මම බේසම තියලා මගේ කාමරයට රිංග ගත්තේ ගැහෙන හිතින්. 

"කවුද මේ පුතා ?" අම්මාගේ හඬ ඇහෙද්දි මම අත් දෙකේ නියපොතු හපාගෙන අහගෙන උන්නා.

"අම්මේ මම ආවේ සුරනි ගැන කතා කරන්න. මම ඇතුළට ආවට කමක් නැද්ද ?" එයාගේ කටහඬ ඇහෙද්දි නම් මගේ මුලු ඇඟම රත් වෙලා ගියා.

"එපා කියන්න.... එපා කියන්න...." මම හෙමින් මිමිනුවා.

"ආ එන්න පුතේ...." අම්මා කියද්දි මම අතෙන් නළලට ගහගෙන ගහගෙන ගියා. ඊට පස්සේ දෙන්නා කුටු කුටු ගාන හඬ මට ඇහුණේ නෑ. ටික වෙලාවකින් අම්මා කතා කළා.

"දුවේ...." අයියෝ අම්මාත් කරන වැඩ. මම දැන් කාමරයේ ඉඳන් අම්මාට උත්තර දෙන්න ඕනද ?

"ඉන්න අම්මේ...." මම කෑ ගැහුවා. මම කඩිමුඩියේ ගවුමක් දාගෙන කොණ්ඩය එහෙන් මෙහෙන් පීරගෙන එළියට ආවා. එයා ආයෙත් මගෙ උඩ ඉඳන් යටට යනකල් බලාගෙන ගියා. තෙත කොණ්ඬේ තවමත් වතුර බේරෙනවා. මොනවා කරන්නද ? මම හෙමින් අම්මා ළඟට ගියා.

"දුවේ, මේ ළමයා ඇවිත් තියෙන්නේ ඔයාට යෝජනාවක් අරගෙන..." අම්මා කියද්දිත් මගේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙනවා. මම මොකුත් නොකියා බිම බලාගෙන ම උන්නා.

"සුරනිත් මට කැමතියි...." එයා එහෙම කියද්දි මම පුදුමයෙන් ඔලුව උස්සලා බැලුවා. 

"මට පොඞ්ඩක් කතා කරන්න පුලුවන්ද ?" මම ඇහුවා.

"අනිවාර්යයෙන්...." එයා සතුටින් කිව්වා. අම්මා ගේ ඇතුළට ගියේ අපිට කතා කරගන්න ඇරලා.

මම එයා ඉස්සරහා පුටුවකින් වාඩි වෙලා බිම බලාගත්තා. කතාව කොහෙන් පටන් ගන්නද කියලා මට හිතාගන්න බැරි වුනා. ඒත්, මම ඔහුට ඇත්ත ම කිව යුතු බව හිතට දැනුණා.

"අහන්න..." මම එහෙම කියලා නතර වුනේ මම එයාගේ නම නොදන්න නිසයි.

"සදෙව්....." එයා කිව්වා.

"සදෙව්...." මම ඒ නම හෙමින් මැතිරුවා. ඒ නම මගේ ආත්මයට ම බැඳිලා කියලා මට හිතුණා. ඒත්, ඔහුව රවටන්න මට අවශ්‍ය නෑ.

"අහන්න, සදෙව්...." මම හෙමින් කිව්වා.

"මම ඔයා හිතන තරම් වටින කෙනෙක් නෙවෙයි... මට ඔයාව රවට්ටලා බඳින්න ඕන නෑ. ඇත්ත ම කියනවා නම්, මං.... මං...." මම ගොත ගැහුවා.

"බය වෙන්න එපා. ඔයාට කියන්න තියෙන ඕනම දෙයක් කියන්න...." එයා මාව දිරිමත් කළා.

"මං ඉස්කෝලෙන් අවුට් වුන මුල් කාලේ... මම කෙනෙක්ට ආදරය කළා.... එයා... එයා..." මම එහෙම කියද්දි මගේ ඇස් දෙකට කඳුලු ඉනුවා.

"එයා අතින්..... මං...." මම බිම බලාගෙන ගොත ගහද්දි සදෙව් එක පාරට ම එයාගේ අතක් මගේ වෙවුලන අත් දෙක උඩින් තිබ්බා. මම පුදුමයෙන් ඒ ඇස් දිහා බැලුවා. ඒ ඇස් දෙකේ තිබුණේ ලොකු ආදරයක්. ඒ වගේම මං වෙනුවෙන් උපන් අනුකම්පාවක්.

"ඒකට කමක් නෑ...." සදෙව් හෙමින් කිව්වා.

"මමත් කලින් ආදරය කරපු කෙනෙක්.... මට තේරෙනවා...." සදෙව් ඒ වතාවේ හිනා වෙලා කිව්වා. මම පුදුමෙන් ඒ ඇස් දිහා බලාගෙන ඉද්දි මගේ ඇස් දෙකෙන් සට සට ගාලා කඳුලු වැටෙන්න පටන් ගත්තා.

"මාව බඳින්න... හැම දෙයක්ම අමතක කරන්න... මම ඔයාට අලුත් ජීවිතයක් දෙන්නම්...." සදෙව් කියද්දි ඉබේට ම මගෙන් ඉකියක් පිට වුනා.

"මට බෑ.... ඔයා පවු...." මම බිම බලාගෙන අඬමින් කියද්දි සදෙව් එයාගේ අතකින් මගේ කඳුලු පිහලා දැම්මා.

"අඬන්නෙපා.... මම තීරණය කරලා ඉවරයි ඔයාව බඳිනවා කියලා. අතීතයේ දේවල් අතීතයේ තිබුණාවේ. මම දන්නවා ඔයා හොඳ කෙල්ලෙක් කියලා. මම ඔයාව බඳින්න තීරණය කළේ අවුරුදු ගාණක් ඔයාව හොඳින් නිරීක්ෂණය කරලා.... ඔයා වගේ තැන්පත්, ලස්සන කෙල්ලෙක්ව තමයි මම හෙව්වේ. මට අනිත් දේවල් වැඩක් නෑ. ජීවිතේ ඉතුරු කාලය මගේ පපුවේ උණුසුමෙන් විතරක් සැනසිලා ඉන්න පුලුවන් නම්, අන්න එච්චරයි මට ඕන කරන්නේ...." සදෙව් කියද්දි මට තවත් ඇඬුනේ ඒ තරම් ආදරයක් ලබන්න මම සුදුසු නෑ කියලා දැනුණ නිසයි.

"හරි එහෙනම්, අඬන්න.... ඇති තරම් අඬලා මං ළඟට එන්න. ඊට පස්සේ කවදාවත් ඔයාට අඬන්න ඕන වෙන්නේ නෑ....." සදෙව් කිව්වා.
-----------------------------------------------------
මම එයාව විවාහ කර ගත්තා. සදෙව්.... එයා තමයි දැන් මගේ පණ. අද අපේ පළවෙනි විවාහ සංවත්සරය. එයා පොරොන්දු වුනා වගේ ම හැම මොහොතක ම මාව සතුටින් තිබ්බා. අතීතය කවදාවත් අපේ ආදරයට බාධාවක් වුනේ නෑ. හැම මාසේ ම පෝය දාට එයා මාව තුරුලු කරගෙන හඳ දිහා බලාගෙන ඉන්නවා.

"දන්නවද මැණික ? හඳේ ආවාට නිසයි හඳ ඒ තරම් ලස්සන වුනේ...." හඳ දිහා බලාගෙන උන්න දවසක සදෙව් එහෙම කිව්වා. මම මොකුත් නොකියා ආදරෙන් එයාගේ පපුවේ උණුසුමට ගුලි වුනා.

-නිමි-

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02