සංතාප


සංතාප
©උපුටා ගැනීම තහනම්....

දොළොස් හැවිරිදි ග්රිෂා තම මිය ගිය කුඩා සොහොයුරාගේ මිනිය දෙස බලා සිටියාය. තවත් මොහොතකින් ඔහු සදහටම පස් යට වැලලෙනු ඇත. ඉඳින්, මේ තමන් ඔහුව දකින අවසන් මිනිත්තු කිහිපය බව ඈ දැන සිටියාය. ඔහු පෙර දිනයේත් තමන් සමඟ කෙලි දෙලෙන් ගත කළ හැටි ඇය මෙනෙහි කළාය. ගඟ අයිනේ උසට වැඩුනු බර්ච් ගස් අතරින් නිතර දෙවේලේ ඔහු සමඟ දිව ගිය අයුරු ඇයට සිහිනයක් මෙන් යලි සිහි විය. මිනී පෙට්ටිය වලට දමා පළමු පස් පිඬ ඒ මතට වැටෙන හඬින් ග්රිෂා තිගැස්සුනාය. සොහොයුරා වෙනුවෙන් දැල්වූ ඉටි පන්දම් අතරින් අවසන් ඉටි පන්දමත් නිවෙන තුරු ඇය බිම වාඩි වී බලා සිටියාය.

“ග්රිෂා... අපි යමු...” ග්රිෂාගේ පියා පැමිණ ඇගේ අතින් අල්ලා ඇයව නැගිටුවේය.

“ඩැනියෙල්.....” ඇය තම සොහොයුරාගේ මිනී වල දෙස බලා මිමිනුවාය.

“එයා... නිදි. අපි එයාට නිදාගන්න ඉඩ දීලා යමු...” ග්රිෂාගේ පියා තම දෑසට ඉනූ කඳුලු පිසිමින් කීවේය. වටින් ගොඩින් අඳුර වැටී කනත්ත පුරා වූයේ දැඩි මූසල ගතියකි. සීතල සුලං ඔවුන් දෙදෙනාගේ ඇඟේ හිරිගඩු නැංවීය.

“වැස්සක් එන්න වගේ. ඉක්මණට කාර් එකට නගින්න...” ග්රිෂාගේ පියා කීවේය. ග්රිෂා කාරයට නගින විට ඇගේ මව අසුනේ කොණකට වී තවමත් හඬමින් සිටින අයුරු ඈ දුටුවාය. ග්රිෂා කවුලුවෙන් යලිත් වතාවක් තම සොහොයුරාගේ මිනී වල දෙස බැලුවාය.

“ඩැනියෙල්....” ඇය පුදුමයෙන් රාවය කළාය. ග්රිෂාගේ මව කලබලයෙන් හිස ඔසවා බැලූ අතර ග්රිෂාගේ පියා ද පුදුමයෙන් ග්රිෂා නෙත් යොමාගෙන සිටින දෙස බැලුවේය. ඔවුන් දෙදෙනා කිසිවක් නොදුටු නමුත් ග්රිෂාගේ දෑස්වල වූයේ පුදුමයකි. ඇගේ දෑත් සීතලෙන් මෙන් වෙවුලුවේ ඇය යමකට බිය වී ඇති බව අඟවමිනි.

“ග්රිෂා....” ඇගේ පියා කතා කළත් ඇය ගැහෙන හදවතින් යුතුව තම සොහොයුරාගේ මිනී වල දෙස ම බලා සිටියාය.

“එයාගේ මූණට මොකද වෙලා තියෙන්නේ ?” ග්රිෂා ගැහෙන හඬින් අසන විට ඇගේ මවත් පියාත් විමතියෙන් මුහුණට මුහුණ බලාගත්හ.

“හෙන්රි, අපි යමු....” ග්රිෂාගේ මව ග්රිෂාව තමන්ගේ ළයට තුරුලු කරගනිමින් තම සැමියා දෙස බලා කීවේය. කාරය වේගයෙන් ඇදී යන විට ග්රිෂා තම මවගේ ඇකයට වී තම සොහොයුරාගේ මිනී වල අසල සිටගෙන සිටින විරූපි මුහුණෙන් යුතු පිරිමි දරුවා දෙස භීතියෙන් බලා සිටියාය.

-------------------------------------------
“නිදාගන්න....” ග්රිෂාගේ මව ග්රිෂාගේ පොරවනය සකසා ඇයගේ හිස අත ගා හාදුවක් දී පිටව ගියේ ග්රිෂාගේ කාමරයේ අනෙක් පස තිබූ හිස් යහන දෙස බලා සුසුමක්ලමිනි. ග්රිෂා ද ඒ දෙස බලා උන්නේ වේදනාවෙනි. වෙනදාට තමා සමඟ එක කාමරයේ නිදාගත් සොහොයුරා අද කනත්තේ තනිවම නිදනු ඇත. බොහෝ වේලාවක් ඇඳේ එහා මෙහා දඟලමින් සිටි ග්රිෂා කරා නිදි දෙව්දුව එළඹෙන විට මධ්යම රාත්රියට ආසන්නව තිබිණි. සිහිනයෙන් ඈ සිටියේ අඳුරු කුටියක් තුලය. ඒ අඳුරු කුටිය තුල දිය සීරාව ඇති බව ඇඟට දැනෙන තෙත් ගතියෙන් ඈ තේරුම් ගත්තාය. ඒ තුළ වූ පුස් ගඳ ඉහිලුම් නොදෙන සුලු විය. ඈ බියෙන් එහා මෙහා අත ගාමින් ගියේ වියලි ස්ථානයක් සොයාගැනීමට සිතාය. එක්වර ම ඇගේ අතට විශාල යකඩ දම්වැලක් හසු විය.

“ග්රිෂා... නැගිටින්න.” ඒ සමඟ ම ඇසුන තම සොහොයුරාගේ හඬින් ඈ තිගැස්සී අවදි වූවාය. ඇගේ දෑස් භීතියෙන් විසල් විය.

“තාත්තා....” ඇය භීතියෙන් කෑ ගැසුවාය. නිවස තුළ සිටි ඇගේ මවත් පියාත් කලබලයෙන් නැගිට ජනේලයෙන් පිටත බැලූහ.

“දෙයියනේ....” ග්රිෂාගේ මවට කියවිණි. ග්රිෂාගේ පියා වේගයෙන් දිව ගොස් දොරගුල ඇරගෙන ග්රිෂා අසලට ගොස් ඇයව තුරුලු කරගෙන බයෙන් වටපිට බැලුවේය. ඒ සමඟ ම ඇගේ මව ද ඒ අසලට ආවාය.

“ග්රිෂා.... වස්තුවේ. බය වෙන්න එපා. ඔයා හීනෙන් ඇවිදලා....” බයෙන් වෙවුලමින් සිටින ග්රිෂාව ඔසවා ගනිමින් ඇගේ පියා කීවේය.

“හෙන්රි, එයාව අපේ කාමරයට අරන් යන්න...” ග්රිෂාගේ මව කීවාය. හෙන්රි ඇයව ඔසවාගෙන යන විට ඇගේ මව අඳුරින් වැසුන පඳුරු ගොන්නක් දෙස භීතියෙන් බලා සිටියාය.

ග්‍රිෂා මවගේත් පියාගේත් උණසුම මැද යළි නින්දට වැටුනත් ඇගේ මව සහ පියා සිටියේ විශාල කල්පනාවක නිමග්නවය.

“එමා... ඔයා දන්නවද, මම දොර අරිනකන් දොරේ අගුල ඇරලා තිබුනේ නෑ...” හෙන්රි කී දේ අසා එමාගේ දෑස් භීතියෙන් පිරුණි.

“එහෙම වෙන්නේ කොහොමද ? ග්‍රිෂා එළියට ගියේ කොහොමද ?” එමා බියෙන් ඇසුවාය.

“මටත් තේරෙන්නේ නෑ....” ඇඟිලි තුඩු වලින් තම නළලේ ඇඳුනු ඩා බිඳු පිසදාගනිමින් කීවේය.

“මොකක් හරි අද්භූත දෙයක් සිද්ධ වෙනවා. ග්‍රිෂා එළියේ උන්න වෙලාවේ මම කාගෙදෝ ඡායාවක් දැක්කා. ඒක එකපාරට ම පෙනිලා නොපෙනිලා ගියා....”

“එමා..., දැන් නිදාගන්න. අපි හෙට මේ ගැන කතා කරමු...” හෙන්රි කීවේය.

“ඒ ඩැනියෙල් වෙන්න පුලුවන් ද ?”

“මොකක් ?”

“එයා ආයෙත් ඇවිත් ද ?” එමා ඇස්වල කඳුලු පුරවගෙන ඇසුවේ බලාපොරොත්තුසහගත හඬකින්.

“එමා, ඔයාට පිස්සුද ? එයා ආයෙත් එන්නේ නෑ. අපි ග්‍රිෂා වෙනුවෙන් ඒ ඇත්තට මූණ දෙමු...” හෙන්රි කීවේය.

“ඒත්, ඔයාමනේ කිව්වේ දොරේ අගුල ඇරලා තිබුනේ නෑ කියලා.”

“සමහරවිට, කලබලයට මට එහෙම හිතෙන්න ඇති. ඒ වගේ දේවල් වෙනවා...” හෙන්රි එමාගේ හිත හැදුවේය.

-----------------------------------------------
පසුදින හෙන්රි ග්‍රිෂාගේ කාමරයෙන් ඩැනියෙල්ගේ ඇඳ ඉවත් කළේය. ඔහු එය ගබඩා කාමරයට දමනයුරු ග්‍රිෂා බලා සිටියේ වේදනාවෙනි. එමා හඬමින් ඩැනියෙල්ට අයිති සියල්ල පෙට්ටි කීපයක ඇසිරුවේ ඒවා ද ගබඩා කාමරයට දැමීමට ඉටාගෙනය.

“ඒක තියන්න....” ඩැනියෙල්ගේ කුඩා පුටුව ඉවත් කරන්නට යන හෙන්රි දෙස බලා ග්‍රිෂා කීවාය. හෙන්රි ග්‍රිෂා දෙස මොහොතක් බලා හිඳ පුටුව එතන ම තබා පිට වූයේ රිදුම් දෙන හදවතින් යුතුවය. ග්‍රිෂා තනිවම ගඟ දෙසට යනු දුටු හෙන්රි එමාට හිසින් සන් කළේ ඈ සමඟ යන ලෙසය. එමා තමා කරමින් සිටි කාර්යය නවතා ග්‍රිෂා පසුපස ඉක්මණ් ගමනින් ගියාය.

“ඔයා දැන් ගඟ ළඟට යන එක අඩු කරන්න ඕනා...” එමා ග්‍රිෂාට ඇසෙන පරිදි උස් හඬින් කීවාය. ග්‍රිෂා ඈ දෙස හැරී බලා යලිත් ගඟ දෙසට පිය මනින්නට විය. ගඟට උඩින් තැනූ කුඩා ලී අට්ටාලය මත වාඩි වූ ග්‍රිෂා ගඟේ ජලය දෙස බලා සිටියාය.

“ඩැනියෙල්ට පීනන්න බෑ. ඒත් මට පුලුවන්. මාව ගඟට වැටුනොත් අම්මා බය වෙන්න එපා...” තමා අසලින් වාඩි වන මව දෙස බලමින් ග්‍රිෂා කීවාය.

“මං දන්නවා...” එමා ග්‍රිෂාව තම ඇකයට තුරුලු කරගනිමින් කීවාය.

“ඩැනියෙල් පොඩි කාලේ ඉඳලාම වතුරට බය වුනේ ඇයි කියලා මට දැන් තේරෙනවා.” ග්‍රිෂා කී දේ අසා එමා කුතුහලයෙන් ඈ දෙස බැලුවාය.

“එයා මැරෙන්න තිබුනේ වතුර නිසායි...” ග්‍රිෂා කී දේ අසා එමාගේ දෑස්වලින් කඳුලු වැගිරෙන්නට විය. එමා ග්‍රිෂාවත් බදාගෙන හඬන අයුරු හෙන්රි කවුලුවකින් බලා සිටියේ කණගාටුවෙනි. එක්වර ම ගබඩා කාමරයේ යමක් පෙරලෙන හඬක් හෙන්රිගේ සවන් වැකිණි. ඔහු ඒ කුමක්දැයි බලන පිණිස බිම් මහලේ වූ ගබඩා කාමරය තුලට පිළිපන්නේය. එහෙත් ගබඩා කාමරය තුළ කිසි වෙනසක් පේන්නට තිබුනේ නැත. ඔහු යළිත් එන්නට හැරෙන විට ම දුටු දෙයින් පුදුමයට පත් විය. ගබඩා කාමරයේ බිත්තියකින් කුඩා දිය දහරාවක් ගලා එමින් ගබඩා කාමරයේ පසෙකින් ගලා යන්නට විය.

“මොන මඟුලක් ද ?” ඔහු එය හොඳින් පිරික්සන්නට විය. ඉන්පසු අඩුම කුඩුම රැගෙන අවුත් ඔහු එම බිත්තිය මුද්‍රා තැබුවේය.ගබඩා කාමරයෙන් පිටවන්නට පෙර ඔහු ඩැනියෙල්ගේ බඩු දෙස බලා සුසුමක් හෙලුවේය. ඒත් සමඟ ම තවත් කවුදෝ සුසුම්ලන හඬක් ඔහුගේ සවන් වැකිණි. ඔහු තම අත තිබූ අඩුම කුඩුම පසෙකින් තබා ගබඩා කාමරය තුළ හෙමින් ඇවිදිමින් එය පරීක්ෂා කර බැලුවේ පුදුමයෙනි. කිසිදු විශේෂ යමක් දැකගන්නට නොවූ තැන ඔහු ගබඩාවෙන් පිටතට ගොස් එය අගුලු දැමුවේය.

“පීසා... ඩැනියෙල් උන්නා නම් ආසා වෙයි.” දහවල් කෑම සඳහා හෙන්රි විසින් ගෙන්වන ලද පීසා එක දෙස බලමින් ග්‍රිෂා කීවාය. එමා කඳුලු පිරි දෙනෙතින් යුතුව කෑම මේසයෙන් නැගිට්ටාය.

“එමා...., ඔයා කන්න ඕනා.” හෙන්රි කීවේය.

“බඩගිනි නෑ...” එමා දුකෙන් පවසා පිටව යන විට හෙන්රි ඇගේ හිත හදමින් ඈ පසුපස ගියාය. කෑම මේසයේ තනි වූ ග්‍රිෂා පීසා එක දෙස දුකෙන් බලා සිට එය වසා දමා තම යහනට ගොස් වැතිරුනාය.

“ඇයි ඔයා එහෙම කළේ ? ඇයි ගඟට පැන්නේ ? බලන්න, අපි හැමෝම දුකෙන්.” ග්‍රිෂා තම සොහොයුරාගේ පුටුව දෙස බලමින් කීවාය. ඇගේ දෑස් අගින් උණු කඳුලු ගලා යන්නට විය. ටික වෙලාවකින් තම පියාගේ බරැති පාද වල හඬ ග්‍රිෂාට ඇසුණි. ඒ සමඟ ම ඔහු කෝපයෙන් කෑ ගැසුවේය.

“ග්‍රිෂා...” හෙන්රි කෑ ගැසූ හඬින් ග්‍රිෂා පුදුමයෙන් නැගිට කෑම කාමරය දෙසට ගියාය.

“ඔයාට තිබුනා අම්මා වෙනුවෙන් එක කෑල්ලක් හරි ඉතුරු කරන්න....” හෙන්රි පවසන්නේ කුමක් දැයි තේරුම්ගත නොහැකිව ග්‍රිෂා පුදුමයෙන් කෑම මේසය ළඟට ගොස් පීසා එක දමා තිබූ පෙට්ටිය දෙස බැලුවාය. ඇගේ දෑස් පුදුමයෙන් මහත් විය. එය තුළ වූ පීසා එක අතුරුදහන්ව ඇත.

“මං... මං කෑවේ නෑ.” ග්‍රිෂා පුදුමයෙන් කීවාය.

“ඔයා දැන් බොරු කියන්නත් පටන් ගත්තද ?” හෙන්රි කෑ ගසන හඬින් කලබල වූ එමා විගසින් එතනට ආවාය.

“මං කෑවේ නෑ අම්මා. ඇත්තමයි....” ග්‍රිෂා කඳුලු පිරි දෑසින් යුතුව කීවාය.

“දුවට කෑ ගහන්න එපා. ඔයාට මොන යකෙක් වැහිලාද ?” එමා තම සැමියා දෙස බලා කෝපයෙන් කීවාය. ග්‍රිෂා දිව ගොස් කාමරයට වැද දොර වසා ගත්තාය.

“එයාට තිබුනා ඩැනියෙල්ව බේරගන්න. එයා ඩැනියෙල්ට මැරෙන්න ඇරියා...” තම පියා තරහෙන් කියන දේවල් ඇසෙන විට ග්‍රිෂා දෝතින් ම කණ වසාගත්තාය.

“හෙන්රි, එයාට ඇහෙයි. අපි මේ ගැන කලිනුත් කතා කළා....” තම මවගේ වදන් යාන්තමින් ග්‍රිෂාගේ සවන් වැකුණි.

ග්‍රිෂා තම කඳුලු පිරි දෑස් වසාගත්තාය. තම සොහොයුරා මිය යන්නට මොහොතකට පෙර තමන් සමඟින් බර්ච් ගස් අතර සෙල්ලම් කළ ආකාරයත් හිටි හැටියේ ඔහු ගඟේ ගිලෙමින් සිටි ආකාරයත් ඇයට සිහි විය. තමා ගඟ අද්දරට වී ඔහු මිය යන දෙස කම්පනයෙන් යුතුව බලා සිටියා විනා තම දෙමව්පියන්ට කතා කළේ හෝ ගඟට පැන ඔහුව බේරා නොගත්තේ මන්දැයි ඇය පුදුම වූවාය. ඇය පුදුම වූ අනෙක් කාරණාව නම් පීනන්න බැරි ඩැනියෙල් ගඟට පැන්නේ කුමක් නිසාද යන්නයි. අසන සියලු දෙනාට ඇය කීවේ ඔහු විසින් ම ගඟට පැන්න බවයි. නො එසේ නම් තමා ඔහුව ගඟට තල්ලු කරන්නට ඇති බව ඔවුන් සිතනු ඇතැයි ඈ බිය වූවාය.

“ග්‍රිෂා.... දොර අරින්න වස්තුවේ...” එමා දොර අසල හිඳ කොතෙක් කතා කළත් ග්‍රිෂා දොර විවර කළේ නැත.

“ග්‍රිෂා, කෑම කන්න එන්න.” රාත්‍රී හතට පමණ එමා යළිත් පැමිණ කතා කළාය.

“මට කන්න බෑ...” ග්‍රිෂා කෝපයෙන් කීවාය. තවත් පැය දෙකකින් පමණ මවත් පියාත් නින්දට යන හඬ ග්‍රිෂාට ඇසුනි. ඇය හෙමින් සැරේ කාමරයේ දොර හැරගෙන එළියට ආවේ දැනෙමින් තිබුන අධික කුසගින්න නිවාගැනීමේ අරමුණෙන්. ඇය බලාපොරොත්තු වූ පරිදි ම ඇගේ මව විසින් ඇගේ කෑම පංගුව පිඟානක දමා වසා තිබුනි. ඇය මේසයෙන් වාඩි වී හෙමින් හෙමින් කන්නට පටන් ගත්තාය. එක්වර ම අඳුරු කොරිඩෝව තුලින් යම් කිසිවෙකු රහසින් කතා කරන හඬක් ඇයගේ සවන් වැකුණි. ඇය පුදුමයෙන් ඒ දෙස බලන විට ඒ හඬ නතර විය. ඇය යළිත් කෑම කන්නට පටන් ගත්තාය.

“මට සීතලයි...” වේදනාත්මක පිරිමි දරුවෙකුගේ හඬින් ග්‍රිෂා තිගැස්සුනාය.

“ඇයි අම්මා එහෙම කළේ ?” රහස් කටහඬ අඳුරු කොරිඩෝවේ සිට මුමුණද්දි ග්‍රිෂා වේගයෙන් හුස්ම ගනිමින් ඒ දෙස භීතියෙන් බලා සිටියාය.

“ඇයි ?” පිරිමි දරුවා හඬන්නට විය. ග්‍රිෂා වෙවුලන දෙපාවලින් යුතුව සිටගත්තාය. ඇයට අවැසි වූයේ හැකි පමණ වෙර යොදා එතනින් දිව යන්නටය. නමුත් එක්වර ම අඳුරු කොරිඩෝවෙන් යම් කිසි කෙනෙකු පිටතට පැමිණියේය. ඉතා කෘශ සිරුරකින් හෙබි ඔහුගේ ඇඳුමේ මඩ තැවරී තිබූ අතර ඒවා වැරහැලි වී තිබුනි. බිමට බර කරගත් මුහුණ හරි හැටි නොපෙනුනේ ඝනව වැඩී තිබූ කෙස් කළඹ මුහුණට වැටී තිබූ හෙයිනි. ඔහුගේ කලිසමෙන් දිය බේරෙමින් තිබූ අතර ඒවා ගලාගෙන අවුත් ග්‍රිෂාගේ දෙපා අසල නතර විය. ග්‍රිෂා යටිගිරියෙන් කෑ ගැසුවේත් පිරිමි දරුවා හිස ඔසවා ඈ දෙස බැලුවේත් එකටම ය. පිරිමි දරුවා ගෙම්බෙකු මෙන් ග්‍රිෂාගේ ඇඟට කඩාගෙන පැන්න අතර ග්‍රිෂාව ඔහු සමඟ ඇද වැටුනේ ඇගේ හිස මේසයේ තදින් හප්පමිනි.

“අම්මා වන්දි ගෙවයි....” සිහිසුන් වෙමින් සිටින ග්‍රිෂාගේ මුහුණට එබුනු විරූපී මුහුණකින් යුත් පිරිමි දරුවා තෙපලුවේය.

තමා සිටින්නේ කලින් දිනයක සිහිනයෙන් දුටු අඳුරු කුටිය තුළ ම බව ග්‍රිෂා ඇඳින්නාය. තමා අත්දකිමින් සිටින්නේ සිහිනයක් ද, නැතිනම් සැබෑවක් ද යන්න තෝරා බේරාගත නොහැකි තරමට ම එහි වූ පුස් ගඳත්, සීතලත් ඇයට දැනුනි. පුස් ගඳට අමතර ව කුමක් හෝ දැඩි දුර්ගන්ධයක් ඇගේ නැහැයට දැනෙන්නට විය. ඒ සමඟ ම ඇගේ අතට හසු වූයේ කලින් දින හසු වූ යදම් වැලයි. එහි එක් කොණක් බිත්තියට සවි කර ඇති බව ඇය අඳුරේ අතපත ගා බලා තේරුම් ගත්තාය. ඇය බරැති යදම් වැල ඔසවා ඇද්දාය. එහි අනෙක් කෙළවර යම් කිසිවක ගැටගසා ඇති බව තේරුම් ගත් ඇය භීතියට පත් වූවාය. එහි සිටින්නේ කවුරුන්දැයි ඈ ගැහෙමින් කල්පනා කළාය. ඒත් සමඟ ම ඇයට දැනුනේ දම්වැල හෙමින් බිම දිගේ ඇදීගෙන යන ආකාරයයි. ග්‍රිෂා භීතියෙන් බිත්තියට පිට දී ගුලි වූවාය.

“ග්‍රිෂා.... ඔයා අවදිවෙන්න ඕනා.” එක්වර ම ඇයට ඇසුනේ ඩැනියෙල්ගේ හඬය. ග්‍රිෂා තිගැස්සෙමින් අවදි වූවාය. ඇය සිටියේ තමන්ගේ යහන මතය. එමා සහ හෙන්රි ඇය අසල වාඩි වී සිටි අතර වෛද්‍යවරයෙක් විසින් ඇයට ප්‍රතිකාර කරමින් සිටියේය.

“ඒ ඩැනියෙල් නෙවෙයි. ඒ වෙනත් කෙනෙක්....” ග්‍රිෂා එමා දෙස බලමින් කීවාය.

“එයාගේ එක ඇහැක් අන්ධයි. උඩු තොලේ කෑල්ලක් අඩුයි.” ග්‍රිෂා පැවසූ දේ අසා හෙන්රි පුදුමයට පත් වූ අතර එමා භීතියෙන් තැති ගත්තාය.

“ඔහ්, එයා තවමත් කම්පනයෙන් ඉන්නේ....” වෛද්‍යවරයා පැවසුවේය. එමා කිසිවක් නොකියා හොර බැළලියක මෙන් කාමරයෙන් පිටව යන දෙස ග්‍රිෂා පුදුමයෙන් බලා උන්නාය.

👹☠️💀👹💀☠️👹💀☠️

පසුදින රාත්‍රියේ හෙන්රි මත්පැන් බෝතලයක් රැගෙන බිම් මහලට ගොස් ඩැනියෙල්ගේ ඇඳ මත වාඩි වී එය පානය කරන්නට වූයේය. ඇඳේ කොණක වූ පෙට්ටියක් තමා ළඟට ගත් ඔහු එහි තිබූ ඩැනියෙල්ගේ චිත්‍ර පොතක් අතට ගත්තේය. ඔහු මත්පැන් පානය කරමින් චිත්‍ර පොතේ පිටු එකින් එක පෙරලන්නට විය. කුඩා කළ පටන් චිත්‍ර ශිල්පයට උපන් හපනෙක් වූ ඩැනියෙල්ගේ චිත්‍ර පුදුමාකාර විය.

‘තාත්තා...’ එක් චිත්‍රයක ඔහු තමාව පමණක් ඇඳ ඇති අයුරු දුටු හෙන්රිගේ දෑස් කඳුලින් තෙත් විය.

‘අබිරහස් යාලුවා...’ අනෙක් පිටුවේ තිබූ චිත්‍රය දුටු හෙන්රි ගල් ගැසුනේය. එහි ඇඳ තිබුනේ ඉතා කෙට්ටු ශරීරයකින් යුත් පිරිමි දරුවෙකි. ඔහුගේ දකුණු ඇස වැසී තිබූ අතර මූණේ යම් කිසි විකෘතිභාවයක් පෙන්නුම් කළේය. උඩු තොලේ වම්පස කොට නොමැති හෙයින් ඒ විරූපීභාවය මනා සේ ඉස්මතු විය. හෙන්රිට එක්වර ම සිහි වූයේ ග්‍රිෂා සිහිය ආ සැනින් කී දෙයයි.

‘එයාගේ එක ඇහැක් අන්ධයි. උඩු තොලේ කෑල්ලක් අඩුයි.’
හෙන්රි භීතියෙන් යුතුව චිත්‍රයත් රැගෙන ඉක්මණ් ගමනින් ග්‍රිෂාගේ කාමරයට ගියේය. ඔහු යන විට එමා ද ඈ අසල සිටියාය.

“ග්‍රිෂා... ඔයා මෙයාව දන්නවද ?” හෙන්රි චිත්‍රය විදහා පාමින් ඇසුවේය. චිත්‍රය දුටු විගස ග්‍රිෂා භීතියට පත් විය.

“එ... එයා තමයි. එයා ගැන තමයි මම කිව්වේ...” ග්‍රිෂා තෙපලාය.

“ඔයා මේ ගැන මොනවා හරි දන්නවද ?” හෙන්රි එමා දෙස බලා ඇසුවේය. ඇය උරහිස හැකිළුවාය.

“ඩැනියෙල් හිතෙන් මවාගත්ත කෙනෙක් වෙන්න ඇති. පොඩි කාලේ ළමයි එහෙම කරනවා.” එමා සැහැල්ලුවෙන් කියනු අසා හෙන්රි කේන්ති ගත්තේය.

“මෙයාව ග්‍රිෂාත් දැක්කා. දෙන්නෙක් කොහොමද එකම කෙනෙක්ව මවා ගන්නේ ?”

“හෙන්රි, ග්‍රිෂා ඔය චිත්‍රය දකින්න ඇති. දෙන්නම උන්නේ එක ම කාමරයෙනේ.” එමා සිදුව ඇති දේ පැහැදිලි කළාය. හෙන්රි කෝපයෙන් පිටව ගිය පසු එමා ආදරයෙන් ග්‍රිෂාගේ හිස අත ගෑවාය.

“ඔයාට තමයි මම හැමදාමත් වැඩියෙන් ම ආදරේ කළේ. ඔයාට තියෙන්නේ මගේ ම ඇස්. මගේ ලස්සන සුරංගනාවි.” එමා ආදරයෙන් ග්‍රිෂාගේ නළලට හාදුවක් තැබුවාය. ග්‍රිෂාට නින්ද යන තුරු එමා ඇය අසලට වී සිටියාය. ග්‍රිෂා එදින රාත්‍රියේ ත් සිහිනයක් දුටුවාය. ඇය ඩැනියෙල් සමඟ බර්ච් ගස් අතර දුවමින් සිටියාය. දුවන්නට දක්ෂයෙකු වූ ඩැනියෙල් සුපුරුදු පරිදි ඇයව පරාජය කළේය. ඩැනියෙල් හති අරිමින් ග්‍රිෂා දෙස බලා සිනාසුනේය.

“මට කවදාවත් ඔයාව පරාද කරන්න බැරිද ?” ග්‍රිෂා ඇසුවාය.

“පුලුවන්. අම්මාගේ ආදරෙන්....” ඩැනියෙල් කී දේ අසා ඈ පුදුමයෙන් බලා සිටියාය.

“අම්මා මට වඩා ඔයාට ආදරෙයි. ඒත්, අර අඳුරු කුටියේ තියෙන දේ හොයන්න හදන්න එපා. ඒක අමතක කරන්න. එහෙම වුනොත් ඔයාට පුලුවන් අම්මායි තාත්තායි එක්ක හැමදාම සතුටින් ඉන්න. ඒත් එහෙම නැති වුනොත්...” ඩැනියෙල් එසේ පවසන විට ම මෙතෙක් වේලා ආලෝකමත්ව තිබූ වටපිටාව එක් වරම තද අඳුරු හැරෙන්නට විය. ග්‍රිෂාගේ නැහැයට සුපුරුදු පුස් ගඳ හා අනෙක් දුර්ගන්ධය දැනෙන්නට විය. ඩැනියෙල් භීතියෙන් ග්‍රිෂා දෙස බැලුවේය.

“ඔයා අවදිවෙන්න ඕනා.” ඩැනියෙල් කීවේය. ඒත් සමඟ ම දංවැල් ගැටෙන හඬ ඇසෙන්නට විය.

“දැන් ම....” ඩැනියෙල් කෑ ගැසුවේය. ග්‍රිෂා භීතියෙන් දෑස් විවර කළාය.

“අම්මා...” බිම් මහලෙන් ඇසුන තම දියණියගේ හඬින් අවදි වූ එමා සහ හෙන්රි භීතියෙන් ඇඳෙන් පැන දිව ගියහ.

“අම්මා....” ග්‍රිෂා තව තවත් කෑ ගසන විට හෙන්රි ගැහෙන අත්වලින් යුතුව බිම්මහලේ දොරට දමා තිබූ ඉබි අගුල අරින්නට තැත් දැරුවේය.

“අපි මෙතන වස්තුවේ....” එමා වෙවුලන දෙතොලින් කීවාය. හෙන්රි අගුල විවර කළ විගස ඔවුන් දෙදෙනා බිම් මහලට දිව ගියේ බයෙන් ගැහෙමිනි.

“අම්මා...” ග්‍රිෂා හඬමින් තම මවට තුරුලු වූවාය.

“හරි මැණික. බය වෙන්න එපා. ඔයා හීනෙන් ඇවිදලා. එච්චරයි...” එමා තම දියණියව තුරුලු කරගෙන කීවාය.

“මම මල්ලිව දැක්කා. එයා කිව්වා අඳුරු කුටිය ගැන හොයන්න එපා කියලා.” ග්‍රිෂා කී දේ අසා එමාගේ දෑස් භීතියෙන් විසල් විය.

“මොන අඳුරු කුටිය ද ?” හෙන්රි පුදුමයෙන් ඇසුවේය.

“ඒක හීනයක් විතරයි. ඒක අමතක කරන්න...” එමා ග්‍රිෂාව අස්වසාලමින් කීවාය. එමා ග්‍රිෂාවත් රැගෙන බිම් මහලින් පිටව යන විට හෙන්රි ඩැනියෙල්ගේ යහන මත වාඩි වූයේ සිදු වන දේවල් ගැන කම්පා වෙමිනි.

“පුතා, මේ ඔයාද ? ඇයි ඔයාගේ අක්කාට හිරිහැර කරන්නේ ?” හෙන්රි දෑසේ කඳුලු රුවාගෙන එසේ කියමින් ඩැනියෙල්ගේ යහන ආදරයෙන් අත ගෑවේය.

“තාත්තා....” එක්වර ම ඇසුනේ වේදනාත්මක හඬකි. හෙන්රි භීතියෙන් යුතුව හිස ඔසවා බැලුවේය. බිම් මහලේ අඳුරු කොණක ඉතා කෲශ පිරිමි දරුවෙකු සිටගෙන සිටි අතර අඳුර නිසා හෙන්රිට ඔහුව පැහැදිලිව පෙනුනේ නැත. එක්වර ම යහන මත වූ පෙට්ටියක් බිමට පෙරලෙන හඬින් තිගැස්සුන හෙන්රි ඒ දෙස හැරී බැලුවේය. පෙට්ටියේ වූ චිත්‍ර පොතක් පිටතට විසි වී තිබූ අතර බිම්මහලේ සිටි කෲශ දරුවා අතුරුදන්ව සිටියේය. හෙන්රි ගැහෙන හදවතින් යුතුව බිම තිබූ චිත්‍ර පොත අතට ගෙන පෙරලුවේය. එහි මුල් පිටුවේ වූයේ ඩැනියෙල් විසින් කලින් ඇඳ තිබූ කෲශ, විරූපි දරුවාය.

‘ඩැනියෙල්...’ චිත්‍රය යටින් එලෙස ලියා තිබුනි. හෙන්රි අනෙක් පිටුව පෙරලුවේය. එහි වූයේ තනිකර කලු පාටින් පාට කළ පිටුවකි.

‘එයා ඉන්නේ අන්ධකාරයේ...’ අනෙක් පිටුවේ එලෙස සටහන්ව තිබිණි. හෙන්රි ගැහෙන හදවතින් යුතුව තව පිටුවක් පෙරලුවේය. එහි වූයේ පිටු දෙකක් පුරා ඇඳි විශාල දම්වැලකි.

‘එයා කෙට්ටු වුන නිසා දංවැල ඉබේ ම ගැලවුනා.’ දම්වැල යටින් ලියා තිබුනි. හෙන්රි තව පිටුවක් පෙරලුවේය. එහි තිබුනේ ඔවුන්ගේ නිවසය. එහි නිවසට යටින් කෲශ දරුවා වකුටුව සිටියේය.

‘එයා ඉන්නේ අපේ ගෙදරමයි...’ එහි ලියා තිබූ දේ දුටු හෙන්රිගේ දෑස් විසල් විය. ඒ සමඟ ම ‘ඩොක්... ඩොක්...’ යන අනුකරණයෙන් හඬක් පැරණි පෙට්ටි අතරින් නිකුත් වන්නට විය. හෙන්රි ගැහෙන සිතින් යුතුව ගොස් එම හඬ ඇසෙන පෙට්ටිය පිටතට ගත්තේය. හඬ නතර වූ අතර ඔහු භීතියෙන් එය විවර කළේ ඇතුලේ ඇත්තේ කුමක්දැයි සිතමිනි. ඔහුව පුදුමයට පත් කරවමින් එහි වූයේ ඔවුන්ගේ නිවසේ සැලසුමයි. ඔහු එය බලා විශේෂ යමක් නොවූයෙන් එය පසෙක ලා ආපහු එන්නට හැරුනේය. එහෙත් ඔහු යලි නතර විය. ඔහු පුදුමයෙන් යලිත් හැරී බිම් මහලේ සැලසුම අතට ගත්තේය.

“මගේ දෙවියනේ....” ඒ දෙස හොඳින් බැලූ ඔහුට කියවිනි.

-------------------------------
“ඔයාලා දෙන්නා අම්මලාගේ ගෙදර ගිහින් ආවා නම් හොඳ නැද්ද ? වෙනසකටත් එක්ක ?” පසුදින උදෑසන කෑම කන අතරතුර හෙන්රි එමා සහ ග්‍රිෂා දෙස බලා කීවේය.

“අම්මා... යමුකෝ...” ග්‍රිෂා පවසන විට එමා කුතුහලයෙන් හෙන්රි දෙස බලා සිටියාය.

“එතකොට ඔයා ?”

“මට ගෙයි වහලේ වැඩ වගයක් තියෙනවා.” හෙන්රි යමක් හිතේ සඟවාගෙන කීවේය.

“ඔයා වහලේ කඩන්න එහෙම නෙමේ නේද යන්නේ ?” එමා ඇසුවාය.

“බය වෙන්න එපා. ඔයාගේ ගේ මම කඩන්නේ නෑ...” හෙන්රි සිනාසෙමින් කී විට එමා මඳ ආඩම්බරයකින් යුතුව සිනාසුනාය.

කෑමෙන් පසු එමා සහ ග්‍රිෂා කාරයට නැගී පිටව ගිය අතර හෙන්රි ගැහෙන සිතින් යුතුව ඒ දෙස බලා සිටියේය. ඔවුන් නොපෙනී ගිය විගස හෙන්රි වේගයෙන් බිම්මහල බසින්නට පටන් ගත්තේය. බිම් මහලේ සැලසුම දිග හල ඔහු සටහන් කර තිබූ රහස් කුටිය සොයන්නට පටන් ගත්තේය. එය ඇත්තේ පෙර දිනයක වතුර ගැලීම හේතුවෙන් තමන් මුද්‍රා තැබූ ස්ථානයේ බව ඔහු තේරුම් ගත්තාය. ඔහු බිම් මහලේ බඩු එහා මෙහා අදිමින් පෙරලමින් රහස් කුටියට යා යුතු මාර්ගය සෙවුවේය. එහෙත් ඔහුට එය හමු වූයේ නැත.

“දුව ආච්චි අම්මාත් එක්ක ඉන්න. මම පොඩි ගමනක් ගිහින් එන්නම්.” එමා තම දියණියව මහ ගෙදරින් බස්සවා කාරය නැවත හරවා ගත්තේ තම සැමියාගේ හැසිරීම පිළිබඳව ඇතිව තිබූ සැකය නිසයි.

මේ අතර රහස් කුටියට යාගත නොහැකිව නොසන්සුන්ව සිටි හෙන්රි විශාල මිටියක් සහ අලවංගුවක් ආධාරයෙන් බිත්තිය කඩන්න තැත් කළත් ඔහු අසාර්ථක විය. එක්වරම බිම්මහලේ පඩිපෙළ බැස ආවේ එමාය. ඇය කාමරය පුරා විසිරී තිබූ බඩු දෙස උපේක්ෂාසහගතව බලා සිටියාය. හෙන්රි ඈ දෙස බැලුවේ කෝපයෙනි.

“ඔයා මොනවා හරි හොයනවාද ?” එමා සන්සුන්ව ඇසුවාය.

“ඔව්. ඔයා මගෙන් හංගපු රහස් කුටිය...” හෙන්රි කෝපයෙන් කීවේය.

“මොන රහස් කුටියද ?” එමා බොරුවට පුදුම වෙමින් කීවාය.

“රඟපාන්න ලෑස්ති වෙන්න එපා. මේ මුලු ගේ ම සැලසුම් කළේ ඔයායි. ඔයා කවදාවත් මට කිව්වේ නෑ මේ ගෙට රහස් කුටියක් තියෙන බවවත්, ඒ කුටිය ඇතුලේ පිරිමි ළමයෙක් ඉන්න බවවත්.”

“පිරිමි ළමයෙක් ? ඔයා මොනවද මේ කියන්නේ හෙන්රි ?” එමා ඇසුවේ බිම වැටී තිබූ ඩැනියෙල්ගේ චිත්‍ර පොත අහුලමිනි.

“මේ හැමදේම ඩැනියෙල්ගේ හිතේ මැවුන දේවල්.” එමා පොත පෙරලමින් කීවාය.

“අනික, රහස් කුටියක් හදන්න උන්නා වුනත් මට ඒක හදන්න බැරි වුනා....” එමා බිම වැටී තිබූ අලවංගුව හා මිටිය දෙස බලමින් කීවාය.

“ඔයා හිතනවද මේවායෙන් කඩන්න පුලුවන් විධියට මම මේ ගෙයි බිත්ති හදවයි කියලා. අනේ හෙන්රි, මේ ගේ මම හැදෙව්වේ හදන්න පුලුවන් උපරිම ශක්තිමත්ව. මෙතන කිසිම රහස් කුටියක් නෑ. පොඩි ළමයින්ගේ මනස්ගාත ඔයත් ඔලුවට ගත්තද ?” එමා දුක්බර මුහුණකින් යුතුව හෙන්රිගේ පපුවට තුරුලු වූවාය.

“මාව අවිශ්වාසද ?” එමා තව තවත් හෙන්රිගේ පපුවට තද වෙමින් ඇසුවාය.

“නෑ....” හෙන්රි කණගාටුවෙන් තම දයාබර බිරිඳගේ හිස අතගෑවාය.

“මම ගොඩක් කලබල වුනා. බලන්න, ඒවා ඇත්තම වගේ...” හෙන්රි තම මියගිය පුතුගේ චිත්‍ර පොත දක්වමින් කීවේය.

“අනික, මම ඒ පිරිමි ළමයාව දැක්කා එමා. පුතාගේ චිත්‍රවල ඉන්න කෙට්ටු පිරිමි ළමයා. එයා මට තාත්තා කියලා කතා කළා.” හෙන්රි කී දේ අසා එමාගේ දෑස්වල තැවරුනේ භීතියකි.

“මොකක් වුනත් අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඒක මුලින් වුනේ ඩැනියෙල්ට. දැන් ග්‍රිෂාට.” හෙලන් කී දේ අසා එමා තවත් බියට පත් වූවාය.

“අපි මේ ගෙදරින් යමු. එතකොට හැමදේම හරි යයි....” එමා කීවාය.

---------------------------------------------------------
දින කීපයකට පසු හෙන්රි, එමා සහ ග්‍රිෂා ඔවුන් සිටි ඉඩම විකුණා දමා අලුත් සථානයක පදිංචියට ගියහ. ග්‍රිෂා තවදුරටත් සිහිනයෙන් බය නොවූවාය. හැම දෙයක් ම තිබුනේ සාමාන්‍ය අතට හැරෙමිනි. එහෙත් දින දෙක තුනකට පසු එමා සිහිනයෙන් බය වෙන්නට පටන් ගත්තාය. නොබෝ දිනකින් ඇය හැසිරුනේ උමතු වූ එකියක පරිද්දෙනි. හෙන්රි කොපමණ බෙහෙත් කළත් ඇය සුව වූයේ නැත. අවසානයේ මානසික රෝහලට ඇතුළත් කළ ඇය එහිදී අතුරුදන් වූවාය. ටික දවසක් යන තුරු වැලපුනු හෙන්රි අවසානයේ දි හිත ශක්තිමත් කරගත්තේ තම දියණිය වෙනුවෙනි.

එක් දිනක් රාත්‍රියේ නිදා සිටින විට ග්‍රිෂා නින්දෙන් ඇවිදිමින් හෙන්රිගේ කාමරය තුලට පැමිණියේ ඔහුව භීතියට පත්කරවමිනි.

“ග්‍රිෂා...” හෙන්රි බියෙන් කතා කළත් ඇය සිටියේ දෑස් වසාගෙනය.

“මම ග්‍රිෂා නෙවෙයි, ඩැනියෙල්.” ග්‍රිෂා පිරිමි හඬකින් කී විට හෙන්රි භීතියෙන් ඇඳේ පසුපසට ගියේය.

“අම්මාට මාව ලැබෙන්න ඉද්දි තාත්තා රට ගියා. මාව ලැබුනාම අම්මා දැනගත්තා මම විකෘති වුන කෙනෙක් බව. අම්මා මාව කාටත් හොරෙන් රහස් කුටියක හංගලා ළමා නිවාසයකින් පුතෙක් අරගෙන එයාට ඩැනියෙල් කියලා නම තිබ්බා. මට මතක ඇති කාලයේ ඉඳලා මම දැක්කේ අඳුර විතරයි. ගෙදර කවුරුත් නැති වෙලාවට අම්මා මට කෑම බීම ගෙනත් දුන්නා. එයා මට කතා කළෙත් ඩැනියෙල් කියලා. මම අම්මා ළඟ වැඳ වැටුනා මට එළියට යන්න දෙන්න කියලා. ඒත් එයා කැමති වුනේ නෑ. මම දවසක් එළියට යන රහස් දොර හොයාගෙන එළියට ආවා. ඒත් මාව අම්මාට අහු වුනා. අම්මා දම්වැලක් දාලා මාව ගැටගැහුවා. මම කෑම බීම අඩු කළා. අවුරුද්දකින් විතර මාව ගොඩක් කෙට්ටු වුනා. මම රෑට අම්මාට හොරෙන් දංවැල ගලවගෙන එළියට ගියා. ගෙදර තිබුන රස කෑම හොයාගෙන කෑවා. ලස්සන පොත් බැලුවා. ඒත් දවසක්, ඩැනියෙල්ට මාව අහු වුනා. එයා මගේ යාලුවෙක් වුනා. එයා පොරොන්දු වුනා මං ගැන කාටවත් ම නොකියන්න. මම ඩැනියෙල්ට කිව්වා එයාගේ අම්මා මාව හිරකරගෙන ඉන්න බව. ඩැනියෙල් මං ගැන ඇඳපු චිත්‍ර අම්මාට අහු වුනා. අම්මා මගේ ඇඟම දංවැලෙන් ගැටගහලා මාව කාමරයට දාලා වැහුවේ ඩැනියෙල්ලා දෙන්නවම මරන බවට පොරොන්දු වෙමින්. අම්මා ආයෙත් කිසිම දවසක මාව බලන්න ආවේ නෑ. අම්මා මාව ගැටගහලා දැම්මේ රහස් කාමරයේ වතුර කාන්දු වෙන කරාමය ළඟට. ඇඟම ගැටගහලා තිබුන නිසා මට හෙලවෙන්නවත් බැරි වුනා. මම උදව් ඉල්ලලා කෑ ගැහුවා. ඒත් ඒ කාමරයේ කිසිම හඬක් පිටට ඇහෙන්නේ නෑ. ඩැනියෙල් වතුරේ ගිලිලා මැරුන දාම මමත් මැරුනා. මම මැරුනේ බඩගින්නවත්, පිපාසයවත් නිසා නෙවෙයි. මම මැරුනේ දවස් ගාණක් වතුරෙන් පෙඟිලා ඇති වුන සීතලෙන්...” ග්‍රිෂා කියූ දේවල් අදහාගත නොහැකිව හෙන්රි ඈ දෙසම බලා සිටියාය. තවමත් දෑස් වසාගෙන සිටින ග්‍රිෂා ආපසු යන්නට හැරුනාය.

“ඉන්න... එමා කොහෙද ?” හෙන්රි ඇඳෙන් බසිමින් ඇසුවේය. ග්‍රිෂා විකෘති හඬකින් වියරු ලෙස සිනාසෙන්නට වූවාය. ඉන්පසු නිශ්චල වූ ඇය වචනයක්වත් නොකියා සෙමින් ඇවිදගෙන තම කාමරයට ගියාය.

----------------------------------
“මාව එළියට ගන්න... අනේ, මට මේ ගඳයි සීතලයි ඉවසන්න බෑ. ඩැනියෙල්.... මට සමාවෙන්න.” අඳුරු කුටිය තුල යදම් අතර සිරව සිටි එමා කෑ ගැසුවාය.

“බය වෙන්න එපා අම්මා. මම හැමදාම ඉන්නවා ඔයා ළඟ. ඔයා මැරෙනකල්ම....” අඳුර මැදින් විකෘති හඬක් ඇසිණි.
-The End-

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02