ප්‍රතිඥා [ඔබේ පුතු සමඟ ඔබේ සොහොන ළඟ]

Image result for son and mother at grave
ප්‍රතිඥා
[ඔබේ පුතු සමඟ ඔබේ සොහොන ළඟ]

එහා ගෙදර අක්කා විවාහ වූයේ වසර පහකට උඩදී ය. ඒ ද බොහොම වැදගත් පවුලක අයියා කෙනෙකු සමඟ යැයි මා අසා ඇත. විවාහය බොහොම චාම් එකක් වූයේත්, ගමේ කිසිවෙක් එයට ආරාධනා නොලැබූයේත් එහා ගෙදර අක්කා ඊට පෙර වතාවක් වෙනත් පිරිමි ළමයෙකු සමඟ රහසේ පැනගොස් දින තුනකට පසු දෙමව්පියන් විසින් යළි කැඳවාගෙන ආ තැනැත්තියක බව ගමේ කාටත් නොරහසක් වූ බැවිනැයි මා සිතමි. ඇයව විවාහ කරගත් අයියා පිළිබඳව මට අනුකම්පාවක් ඇති වේ. මක්නිසාද ඔහු ඉතා චරිතවත් තැනැත්තෙකු බවත් එහා ගෙදර අක්කාව කරගැසීමට සිදු වීම ඔහුගේ පෙර කළ පාපයක ප්‍රථිඵලයක් බවත් ගම්මුන් කතා වනු මා නොයෙක් විට අසා ඇත. අක්කා විවාහ වී ගිය පසු යළි කිසි දිනෙක තම මහ ගෙදරට නොපැමිණියේ ගම්මුන්ගේ ඒ වචන නිසාම විය යුතුය. අක්කාගේ දෙමාපියන් පිළිබඳව ද මට අනුකම්පාවක් ඇති වේ. අක්කා ගෙදර සිටි කාලයේත් ඔවුන් දෙදෙනාට නපුරු විධියට බැන වදිනු මා අනන්තවත් අසා ඇත. ඇය මා දෙස ද බලන්නේ ඊර්ෂ්‍යාවෙන් යැයි මට අනන්ත වාරයක් සිතී ඇත. ඇය සුචරිත නොවූ නරක තැනැත්තියකැ යි මා සිතෙන් ඇයව පිළිකුල් කරන්නට පුරුදුව සිටි නමුදු අද මා පත්ව ඇත්තේ ඇයටත් වඩා අන්ත තත්වයකට ය. ඒ මා පැටළුනු අසම්මත බැඳීම කරණකොටගෙනය.

මා රාජකාරිය සිදු කළ බැංකුවට ඔහු තම වටිනා කාරයෙන් මසකට තුන් හතර වතාවක් පැමිණෙන්නේ මුදල් තැන්පත් කිරීමට හෝ මුදල් ආපසු ගැනීමටය. එය සිදු කරන්නේ ද ලක්ෂ ගණන්වල මුදලින් බැවින් ඔහු ඉතා ධනවත් තැනැත්තෙකු බව මට නිසැකව ම කිව හැක. යම් අවස්ථාවන් වල ඔහුට පැමිණෙන දුරකථන ඇමතුම්වලින් මට තේරුම් ගියේ ඔහු ව්‍යාපාරිකයෙකු බවයි. ඔහු ඉතා කඩවසම් තැනැත්තෙක් වූ බැවින් බොහෝ තරුණියන් කිහිප විටක් ඔහු දෙස හැරී බැලුවත් ඔහු කිසි දිනෙක පෙරළා ඔවුන් දෙස ආපසු බැලුවේ නැත. එහෙත් බොහෝ කළක සිට ඔහු මා පිළිබඳව සැලකිල්ලක් දක්වන බවක් මගේ යටි සිතට යන්තමින් දැනේ. එය සපථ කරමින් ඔහු දිනක් මා රාජකාරිය නිම කර නිවසට යන විට මා අසලින් ඔහුගේ කාරය නතර කළේය. මම පුදුමයෙන් බලා සිටින විට ඔහු කාරයේ වීදුරුව පහත් කර සුන්දර මඳහසක් පෑවේය.

"නගින්න.... මම ඔයාව ඩ්‍රොප් කරන්නම්...." ඔහු කී දේ අසා මම පුදුමයටත් භීතියටත් පත් වූයේ ඔහු එය අණ කරන ස්වරයෙන් පැවසූ නිසාත් අවට පෙනෙන්නට කිසිවෙක් නොසිටි නිසාත්ය. එහෙත් මා බිය වූ බැව් දැක ඔහු මඳක් සැලෙන්නට ඇත.

"ඔයා... කැමති නම් විතරක්...." ඔහු එවර පැවසුවේ කණගාටුවෙන් මෙනි.

ඔහු ඉඳුරාම සිතන්නට ඇත්තේ මා කාරයට නගින්නට අකමැති වනු ඇති බවයි. නමුත් මා බොහෝ කාලයක සිට නිරීක්ෂණය කළ ආකාරය නිවැරදි නම්, මොහු නරක පුද්ගලයෙකු වන්නට නොහැකිය. අනෙක් කාරණාව නම්, මොහු දිනෙක මා හමුවන්නට එනතුරු මා බලාසිටියාක් වැනි හැඟීමක් මගේ සිතට දැනෙන්නට වූයේ එය ඉටු වීමේ ප්‍රීතියත් සමඟය. මම දෙවරක් සිතීම පසෙක ලා කාරයට ගොඩවන විට ඔහුගේ මුහුණේ ඇඳුනු දීප්තිමත් සිනාව සඟවන්නට මෙන් ඔහු ඉදිරිපස බලාගත්තේය. මා දොර වැසූ කෙණෙහි ඔහු කාරය පදවාගෙන යන්නට විය. ඔහු ගියේ මා යා යුතු දිශාවටමය.

"අයියා මේ පැත්තේ නෙවෙයි නේද ?" මා එසේ ඇසුවේ ඔහුගේ ජාතික හැඳුනුම්පතේ ඔහුගේ ගම ලෙස වෙන ප්‍රදේශයක් සටහන්ව තිබූ බැවිනි. මා ඔහුට 'අයියා' කියා ඇමතුවේ ඔහුගේ හැඳුනුම්පතේ සටහන් කර තිබූ උපන්දිනය නිසා ඔහු මට වඩා අවුරුදු හතරක් වැඩිමල් බව මා දැන සිටි බැවිනි. ඔව්... ඔහුගේ හැඳුනුම්පත බැංකුවේ දී මා පරීක්ෂා කළේ මා ද ඔහු පිළිබඳව සැලකිල්ලක් දක්වන නිසාමය.

"නෑ.... අද මේ පැත්තෙන් ආවා පොඩි වැඩකට...." ඔහු මා දෙස සෙනෙහස මුසු බැල්මක් හෙලමින් කීවේ ඔහුගේ සොඳුරු මඳහසත් සමගම ය. එම බැල්මෙන් මගේ හදවත කීරි ගැසී ගියාක් මෙනි. ඉන් එහා අප අතර කතාබහක් සිදු වූයේ නැත. ඔහු මා කියන්නත් පෙර මගේ නිවස ඉදිරිපිටින් ම වාහනය නතර කිරීම මා පුදුමයට පත් කළේය. ඔහු මා පිළිබඳව පෙර සිටම සොයා බලා ඇද්දෝ සැකයක් මගේ හදවතේ පැණ නැඟිනි.

එදා එසේ ආරම්භ වූ ගමන හැමදාමත් සිදු විය. ඔහු මා ඇරලීමට හැම දිනකම පැමිණියත් අප අතර වැඩි කතාබහක් සිදු වූයේ නැත. සති දෙකකට පමණ පසු ඔහු මට යම් දෙයක් තෑගි කළේය.

"මට ? මේ මොනවද ?" මම පුදුමයෙන් ඇසීමි.

"ලබන සතියේ උපන්දිනයනේ.... මට තව සති දෙකක් යනකල් එන්න වෙන්නේ නෑ. ඒකයි අදම තෑග්ග දුන්නේ ?"

"ස්තූතියි...." මම පුදුමයෙන් කීවෙමි. ඔහු මාගේ උපන්දිනය ද දනී. ඔහු එතරම් මා ගැන සොයා බලා ඇත.

"ලෙහලා බලලා කැමතිද කියන්න...." ඔහු කීවේය. මම කුතුහලයෙන් යුතුව එය ලෙහා බැලීමි. පුදුමයකි.... එහි ඇත්තේ ඝනකමින් යුත් රන් මාලයකි. මෙය ඉතා වටිනාකමකින් යුක්ත වූවක් බව ඕනෑම කෙනෙකුට කිව හැක.

"අනේ අයියේ.... මේ තරම් වටින තෑග්ගක් ? මට නම් මේක ගන්න බෑ..." මම ඔහුගේ තෑග්ග බියෙන් ප්‍රතික්ෂේප කළෙමි. ඔහුගේ මුහුණ දුකෙන් බර විය.

"එහෙම කියන්න එපා.... මට ඔයා වෙනුවෙන් මීට වඩා දෙයක් වුනත් කරන්න පුළුවන්. ඒවා පස්සේ බලමුකෝ. දැනට ඕක තියාගන්න මාව මතක් වෙන්න...." ඔහු කී දේ අසා මම යළිත් පුදුම වීමි.

ඔහු කී පරිදි සති දෙකක් යන තුරු යළි පැමිණියේ නැත. මම ඔහු දුන් මාලය සඟවා තබා ඔහු නැති පාළුවෙන් කල් ගෙවුවෙමි. එම සති දෙක තුළ මා උගත් පාඩම නම් මම ඔහුට හදවතින් ම ප්‍රේම කරන බවත්, ඔහු නොදැක එක දවසක් හෝ ගෙවීම මා හට ඉතා අපහසු බවත්ය. දෙසතියකට පසු යළි ඔහුගේ මුහුණ දුටු දින මගේ ප්‍රීතිය ඉහ වහා ගිය අතර ඔහු ද සිටියේ එබඳුම ප්‍රීතියකින් බව මට වැටහිණි.

"කොහෙද ඔයා උන්නේ ?" මම අමනාපෙන් මෙන් ඇසුවෙමි.

"මම පොඩි ටුවර් එකක් ගියා. සිංගප්පූරුවට...." ඔහු සිනාසෙමින් කියන අතර පසුපස අසුනේ තිබූ ලොකු ඉටි බෑගයක් මා අත තැබුවේය.

"ඔයාට එහෙන් ගෙනාවේ...." ඔහු කී දේ අසා මම ඉමහත් පුදුමයෙන් සහ ආශාවෙන් එය විවර කර බැලීමි. ටෙඩි බෙයාර් කෙනෙක්, සුවඳ විලවුන් බෝතලයක් ,සිනිඳු ගවුමක් සහ චොකලට් බොහොමයක් ඒ තුල විය. මම ඔහු දෙස සෙනෙහසින් බැලුවෙමි.

"ගොඩක් ස්තූතියි. ඔයා මට මේ තරම් දේවල් දෙනවා. මම ඔයාට කිසිම දෙයක් දීලා නෑ...." මම දුකෙන් පවසන විට ඔහු එක්වරම කල්පනාවට වැටුනේය.

"මම දෙයක් ඉල්ලුවොත් දෙනවද ?" ඔහු එක්වරම මා දෙස බලා ඇසූ විට කුතුහලය මුසු බියක් මගේ හදවතේ ඇති විය.

"මො..න...ව...ද ?" මම ගැහෙන හදවතින් ඇසුවෙමි. ඔහු එක්වර ම වාහනයේ තිරිංග තද කළේය. ඔහු සිටින්නේ ද මා තරම් බියට පත්ව යැයි මට මොහොතකට හැඟුනි. මම පුදුමයෙන් බලා සිටියේ ඔහු තමන්ව ම සන්සුන් කරගන්නා ප්‍රයත්න දරන්නාක් මෙන් මට පෙනුනු බැවිනි.

"ඔයා මගේ වෙනවද ?" ඔහු දැඩි ආයාසයකින් මෙන් ඇසූ ප්‍රශ්නයෙන් මම නිරුත්තර වීමි.

මගේ වෙනවාද යන්නෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද ? ඔහුට ආදරය කිරීමද ? ඔහු හා විවාහ වීමද ? නැතිනම් ඔහුගේ හිතේ ඇත්තේ වෙනත් අරමුණක්ද?

"මම හැමදාම ඔයාගේ ම විතරක් වෙලා ඉන්නවා නම්, ඔයාටත් හැමදාම මගේ ම විතරක් වෙලා ඉන්න පුළුවන්ද ?" ඔහු යළිත් ඇසුවේ මා පිළිතුරක් නොදී පුදුමයෙන් බලා සිටිය නිසා විය යුතුය.

"පුළුවන්...." මා එසේ කීවේ ඇයි දැයි අදටත් මට නොහැඟේ.

සත්‍යය නම්, මොහු මාගේ පළමු පෙම්වතා නොවේ. පළමු පෙම්වතා මට ආදරෙයි කී පරිදි මොහු මට ආදරය ප්‍රකාශ කළේ ද නැත. මොහු ඉල්ලා සිටියේ හැමදාමත් මොහුගේ වන්නටය. මා අතහැර ගිය මගේ පළමු පෙම්වතා මට ආදරය ප්‍රකාශ කළ ආකාරයට වඩා ස්ථීර බවක් මොහුගේ ඉල්ලීම තුළත්, ඔහු මගේම වී ඉන්නට දුන් පොරොන්දුව තුළත් විය.

මාගේ කැමැත්ත ලද පසු ඔහු මාගේ සෑම ඕනෑ එපාකමක් ම සපුරාලූවේය. මාව සතුටින් තබන්නට ඔහු හැම විටම උත්සාහ කළේය. දුප්පත් පවුලක උපන් මා හට ඔහුගෙන් ලැබෙන දේවල් අහසටත් උසය. නමුත් පෙරළා යම් දෙයක් ඔහු මා කෙරෙන් බලාපොරොත්තු විය. ඔහු මගේ ආදරය දැඩි ලෙස බලාපොරොත්තු වන්නා සේම ඔහුගේ හැඟීම් මා කෙරෙන් සපුරාගන්නට උත්සාහ කරන බවක් මට නොබෝ කලකින් ම වැටහිණි. එය එසේ විය යුතුය. ඔහු මුලදී ම මාගෙන් ඉල්ලුවේ එය නොවේද ?

ඔහු අයහපත් කෙනෙකු යැයි සිතා ඉන් පසු මම ඔහුව ප්‍රතික්ෂේප කළෙමි. නමුත් ඔහු උන්මත්තකයෙකු මෙන් මා යන යන තැන මා පසුපස එන්නට විය. මට ද ඔහු අමතක කිරීම අපහසු කරුණක් වුවත් මා එසේ කිරීමට උත්සාහ කළෙමි. එහෙත් කියාගන්නට නොතේරෙන අමුතුම බැඳීමකින් මගේ හදවත ඔහු කෙරෙහි බැඳී ඇත. මේ සිතේ තවත් නම්, වෙනත් කෙනෙකුට ඉඩක් නැත.

"මම ඇත්ත ම කියන්නම්. මම බැඳපු කෙනෙක්...." ඔහු එක් දිනක් එසේ පාපොච්ඡාරණය කළ විට මට දැනුනේ මා එතැනම ඇද වැටෙන්නට යන්නාක් මෙනි. මා ආයාසයෙන් හදවතට ශක්තිය ගෙන ඔහු දෙස බැලුවෙමි.

"ඇයි එහෙනම් ? ඇයි මට ළං වුනේ ?" මම හැඬුම් වාවාගෙන ඇසුවෙමි. ඔහුගේ ඇස් වලද කඳුළු පිරෙනු මට පෙනේ.

"මම දන්නේ නෑ. මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බැරි වුනා. මට සමාවෙන්න.... මම ගොඩක් කල් ඉඳන් ඔයා දිහා බලාගෙන උන්නේ... ඔයාගේ අහිංසකකමට මම කැමතියි. ඒ අහිංසකකම යටින් මං ළඟදි විතරක් ඉස්මතු වෙන දඟකාරකමට මම ආදරෙයි. ඔයාව දැකපු දවසේ ම මම දැනගත්තා මම හොයපු කෙනා ඔයා බව. මට ඔයා ගැන හිතන්නැතුව ඉන්න බැරි වුනා. අන්තිමට ඕන දෙයක් වෙන්න කියලා මම ඔයාට ළං වුනා...." ඔහු පවසන විට මම හැඬුවෙමි.

"සුදූ..." ඔහු දුකෙන් මා අල්ලන්නට යන විට මම අත ගසා දැමුවෙමි.

"අල්ලන්නෙපා මාව...." මම තරහින් කීවෙමි. ඔහුගේ ඇස් යළි කඳුලකින් බර විය.

"මාව දාලා යනවද ඔයා ? අහන්න.... දෙවියන්පල්ලා, මම කාටවත් ම ඔයාට තරම් ආදරේ කරළා නෑ. මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ. ඔයාව වෙන කෙනෙකුට දෙන්නත් බෑ. ඔයා මගේ...." ඔහු මාගේ අත් දෙක ඔහුගේ දෝතට මැදිකරගනිමින් අසරණ ලෙස කීවේය.

"ඔයා ආත්මාර්ථකාමීයි. ඔයා හදන්නේ මාව ඔයාගේ හොර ගෑණි කරගන්නද ?" මම තරහින් අසන විට ඔහුගේ මුහුණ වේදනාවෙන් ඇඹරී ගියේය.

"නෑ.... හොර ගෑණි නෙවෙයි. ඔයා මගේ වයිෆ්. එහෙමයි මම ඔයා ගැන හිතන්නේ. ඔයත් මං ගැන එහෙම හිතන්න. ප්ලීස්...."

"මට යන්න දෙන්න අයියේ...." මම ඔහුගේ අත් දෙකෙන් මගේ අත් දෙක ඇද තරහින් කාරයෙන් පිටතට බසින්නට ගියත් ඔහු දොරවල් අගුළු දමා ඇත.

"මට යන්න දෙන්න." මම බියෙන් කීවෙමි.

"ඇයි රත්තරන් මට බය වෙන්නේ ? මට ඔහොම කරන්නෙපා වඳින්නම්. මම ඔයාට අවංකවම ආදරෙයි. ඇයි ඒක තේරුම් ගන්නේ නැත්තේ ?"

"ආදරේ කළා කියලා වැඩක් තියෙනවද අයියේ ? ඔයාව මට ලැබෙන්නේ නැත්නම් ?" මට යළි හැඬුම් ආවේය.

"කවුද කියන්නේ ලැබෙන්නේ නෑ කියලා ? මම අරයාව ඩිවෝස් කරනවා...."

"දෙයියනේ...." මට කියවිණි.

"එයා පවු...." මම ඔහු කී දේ ගැන සිතමින් කීවෙමි.

"නෑ..... එයාට වෙන කෙනෙක් ඉන්නවා."

"මොනවා ?"

"අනික බඳිනකොට වුනත් එයා කෙල්ලෙක් නෙවෙයි. මම අද වෙනකල් එයාගෙන් ඒ ගැන වචනයක්වත් ඇහුවේ නෑ. ඒත් එයා වෙන කෙනෙක් හොයාගෙන..."

"ඔය ඇත්තමද....?" මම සැකයෙන් යුතුව ඇසුවෙමි.

"ඔව්.... ඕනම කොල්ලෙක් ආසයි තමන්ගේ බිරිඳ පිරිසිදු කෙල්ලෙක් වෙනවා නම්. මම හිතනවා ඔයාගෙන් මට ඒ දේ ලැබෙයි කියලා...." ඔහු මා දෙස උවමනාවෙන් බලමින් ඇසුවේ මං ගැන සැකයෙන්දෝ යැයි මට සිතිණි.

"අනිවාර්යයෙන් ම. මම පිරිසිදු කෙල්ලෙක් තමයි...." මම කීවෙමි. මට ඔහු ගැන උපන්නේ අනුකම්පාවකි. ඔහු ප්‍රීතිමත් සිනාවක් පෑවේය.

"මම ඔයාව බඳිනවා සුදු බබා.... මම ඒක කරන්න මගේ උපරිමයෙන් ම උත්සාහ කරන බව පොරොන්දු වෙනවා...." ඔහු ස්ථීර හඬකින් කීවේය.

"ඔයාට බබාලා එහෙම...." මම අසන්නට යන දේ ඔහුට වැටහිණි.

"පුතෙක් ඉන්නවා.... අවුරුදු දෙකයි...." ඔහු කීවේය. ඉන්පසු ඔහු මට තම දරුවාගේ ඡායාරුවක් දැක්වීය.

"අහිංසකයි... ඔයා වගේ..." මම පැවසූ විට ඔහු ආදරයෙන් සිනාසුනි.

"එයාට හොඳ අම්මා කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් නේද ?" ඔහු ඇසීය.

"අනිවාර්යයෙන් ම. ඒත් මට දුකයි එයාගේ ඇත්ත අම්මාගෙන් ඔයා එයාව වෙන් කරන්න හදන එකට...." මම කණගාටුවෙන් කීවෙමි.

"පුතා දැනටමත් වැඩියෙන් ම ඉන්නේ ඬේ කෙයා එකේ. මම වැඩට යනවා, එයාගේ අම්මා රෝන්දේ යනවා. ඒ අම්මාට වඩා මගේ පුතාට මේ අම්මා හොඳයි...." ඔහු මගේ හිස අත ගා කීවේය. මට ඔහුව විශ්වාසය.

පුරා වසර තුනක් පුරා අප අපගේ හීනය එළිවන තුරු බලා සිටියෙමු. නමුත් දික්කසාද වීමක දී නීත්‍යානුකූලව පුතෙකු හිමිවන්නේ මවටය. එබැවින් අපේ හීනය දිනෙන් දිනම අපෙන් දුරස් විය. ඔහු මට ආදරය කරන තරමට ම තම පුතාට ද ප්‍රේම කළේය. මම ඔහුට ආදරය කරන තරමට ම ඔහුගේ පුතාට ද ප්‍රේම කළෙමි. ඔහුව මට ලැබෙනවා නම් මට පුතාවත් අවශ්‍යමය. ඔහුට ද අවශ්‍ය පුතා සමඟම මා හිමි කරගැනීමයි. හිටිවන ම මගේ මවට හෘදයාබාධයක් වැළඳුනේ මේ සමයේ දීය.

"දුව, ඔයා බඳින්නේ නැතුව මට සැනසිල්ලේ ඇස් පියාගන්න බෑ." මගේ මව කණගාටුවෙන් කී විට මම අසරණව කඳුලු සැලුවෙමි. මට ඇති එකම වත්කම ඇයය. ඇය මා ගැන කල්පනා කරමින් දුක් විඳිනු දැකීම මට වේදනාවක් විය. අවසානයේ මා තීරණයක් ගතිමි.

"ඔයාට අපේ අම්මා කොහෙත් ම කැමති වෙන්නේ නෑ. මේ අසනීප උඩ මට අම්මාට ඔයා ගැන කොහොමත් කියන්න බෑ. මම වෙන කෙනෙක්ව බඳිනවා. මට ඔයාව අත් අරින්න ශක්තියක් නෑ. ඔයා ම මාව මේ බැඳීමෙන් නිදහස් කරන්න...." මම දැඩි තීරණයක එල්බ ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු සිටියේ දැඩි ශෝකයෙනි. ඔහු ආපසු ගියේ පිස්සෙකු මෙනි.

"මතක තියාගන්න.... මම ඔයාට මගේ පුතාටත් වඩා ආදරේ කළා. ඒත් ඒ අහිංසකයාව මං ළඟ තියාගන්න ඕනා නිසයි මම මේ තරම් කාලයක් බලාගෙන උන්නේ.... ඔයාට බැරි වුනා මං වෙනුවෙන් මේ කැපකිරීම කරන්න. ඔයාට කවදා හරි තේරෙයි මං තරම් ඔයාට කිසි කෙනෙක් ආදරේ නොකරන බව. මොන දේ කළත් පරිස්සමෙන්. බඳින කෙනාව වුනත් හොඳට හිතලා තෝරගන්න. දැන් ඉන්න ගොඩක් පිරිමි අවස්ථාවාදියෝ...." ඔහු දුකෙන් මට අවවාද දී ගිය අයුරු මට කිසි දිනෙක අමතක නොවේ.

ඔහු යළි කිසි දිනෙක මා ඇමතුවේ නැත. මට පෙනෙන්නට ආවේ ද නැත. මම ඔහු නැති ශෝකයෙන් පසුතැවී ඔහුව අමතන්නට උත්සාහ කළත් ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත බව පැවසිණි. නිසැකව ම ඔහු දුරකතන අංකය වෙනස් කරන්නට ඇත. මා විසින් ම යන්න කීවාට ඔහුගේ නික්ම යාම මට මහත් වේදනාවක් විය. ඔහු යළි එතැයි මම නිතර බලා සිටියෙමි. නමුත් එය සිහිනයක් ම විය. ඔහුගේ නික්ම යාමෙන් මාස පහකට පසු මම අම්මා තෝරා දුන් පුද්ගලයා විවාහ කර ගතිමි. මධුසමය යනු යුවතියකගේ සුන්දරතම දිනයන්ගෙන් එකකි. එහෙත් මා විවාහ කර ගත් පුද්ගලයා මා වෙත ළංවීම මම මේ ලෝකයේ පිළිකුල් ම කළ දෙය විය. ඔහු වෙනුවෙන් මගේ හිතේ හැඟීමක් ඇති නොවූයේ මගේ ආදරය වෙනකෙකු සතුව තිබූ නිසා විය හැක. මගේ විවාහය වසරක් ඇතුළත දී ම දෙදරා ගියේ ඒ හේතුව නිසාමය. හැඟීම් විරහිත මළමිනියක් බඳු ගැහැණියක් පිරිමියෙකුගේ සිරි යහනට කුමට ද ?

මම යළි මගේ මව සමඟ වාසයට පැමිණියෙමි. ඇය මා කෙරෙහි බෙහෙවින් දුක් විය. මේ මගේ දෛවයයි. මා විවාහ වූ පුද්ගලයා සමඟ සිටිනවාට වඩා අම්මා සමඟ සිටීම මට නම් බෙහෙවින් ප්‍රිය වේ. නිවසට වී මා කල්පනා කළේ මම ආදරය කළ, මට අහිමි වූ ඔහු ගැනය. ඔහු කුමක් කරනවා ඇද්ද ? දැන් මා ද දික්කසාද වූ තැනැත්තියක බැවින් මගේ අම්මා ඔහුට කැමැත්ත දෙනු ඇත. මම අම්මාට ඔහු ගැන කියනවාද ? එහෙත් ඔහු දැන් ඔහුගේ බිරිඳ සමඟ සමාදාන වී ඇත්ද ? මගේ හිත හිරි වැටේ. තවමත් මා ඔහු ගැනම සිතන්නේ මන්ද ? මේ බැඳීමෙන් කිසිදා මිදෙන්නට මට නොහැකි වේවිද ?

"අම්මා.... අල්ලපු ගෙදර අක්කා ඇවිත් නේද ?" මම දිනක් පුදුමයෙන් ඇසුවෙමි.

"ඔව් මෙහේ පදිංචියට ම එනවා කියලා දවසක් මට කිව්වා."

"එතකොට එයාගේ මහත්තයා ?"

"ඒකිගේ මනුස්සයා මැරිලානේ. දන්නේ නැද්ද ?"

"මොනවා ? කවද්ද ?"

"අනේ මන්දා.... අවුරුද්දකටත් වැඩියිලු. අපිට කිව්වේවත් නෑනේ. කිව්වා නම් මළ ගෙදර යනවානේ... දැන් මාස දෙක තුනකට උඩදි දානයකුත් දුන්නා. එදත් ඒ කෙල්ල මෙහේ ආවා ළමයාත් එක්ක. ඔයා එතකොට මෙහේ නෑනේ.... " අම්මා යළි සුසුමක් හෙළුවේ මගේ විවාහය බිඳ වැටීම පිළිබඳව සිහි වූ නිසා විය යුතුය.

"හෙට දිහා ඒ පැත්තේ යනවා. අදනේ එයාත් ආවේ. පවු ඉතින්...." මම අල්ලපු ගෙදර අක්කා පිළිබඳව දුකෙන් කීවෙමි.

පසුදින මම ගෙදර තිබූ කෙසෙල් ඇවරියක් ද ගෙන අක්කාව බැලීමට ගියෙමි. මාව ඉස්තෝප්පුවේ වාඩි කරවා ඇය ද අසුනකින් වාඩි වූවාය.

"කරදරයක් වුනාලු නේද ? මම දන්නේ ඊයේ...." මම කණගාටුවෙන් කීවෙමි.

"ඔව්...." ඇය තම අතේ වූ නිය සායම් පිරික්සමින් කීවේ ඕනෑවට එපාවට මෙන් යැයි මට සිතේ.

"මොනා වෙලාද අයියා නැති වුනේ ?" මම ඇසුවෙමි.

"ඇක්සිඩන්ට් එකක්. කාර් එක ලොරියක හැප්පිලා මැරුනේ."

"අනේ....!" මට දුකට කියවිණි.

"දුක් වෙන්න එපා නංගි. ඒකා ඉස්පිරිතාලේ මැරෙද්දිත් වෙන කවුදෝ ගැන කියෙව්වේ... සුදු බබා... සුදු නෝනා කිය කියා මැරුනේ..."

"අනේ අක්කාව වෙන්නැති හොයන්න ඇත්තේ." මම දුකෙන් පැවසුවේ ඔහු මිය ගිය අන්දම සිහි කරමිනි.

"ඒකා කවදාවත් මට එහෙම නම්වලින් කතා කරලා නෑ. නිකන් තුෂාරි කියලා මට කතා කරන්නේ...." ඈ කීවාය.

මට සිහි වූයේ මා පෙම් කළ ඔහුය. ඔහු මා අමතන්නේ සුදු බබා, සුදු නෝනා, රත්තරන් ආදී නම්වලිනි. මගේ පපුව ඇවිලී ගියේ මන්දැයි මට නොහැඟේ.

"කවද්ද අයියා නැති වුනේ ?"

"ගිය අවුරුද්දේ ජූලි විසිපහ...." ඈ කියූ දෙයින් මා තිගැස්සිණි. මගේ ආදරය මා අත හැර ගිය දිනය ද අක්කාගේ ස්වාමිපුරුෂයා මිය ගිය දිනය ද එකකි. අප දෙදෙනා ම එක බෝට්ටුවේ යැයි මට සිතිණි.

"අම්මි.... මේක ගලෝලා...." එක්වරම සෙල්ලම් බඩුවක් අතැතිව එතනට පැමිණි පුංචි පුතු දැකීමෙන් මා තුෂ්ණිම්භූත වූයෙමි.

"පිස්සුද කොල්ලෝ ? ඕකත් කඩන්නද හදන්නේ ?" අක්කා කෑ ගසනු මට යන්තම් ඇසේ. මගේ හිස කැරකෙන්නාක් මෙන් දැනුනු නිසා මා නැගිටින්න උත්සාහ කළත් යළි එතනම ඉන්දවිණි.

මා පණ මෙන් පෙම් කළ මගේ රත්තරන් සුදු මහත්තයාගේ පුතා නෙවෙයිද දැන් මේ මා ඉදිරිපට සිටින්නේ ? ඔහු නිරන්තරයෙන් තම පුතාගේ ඡායාරූප පෙන්වූ බැවින් මා ඔහු හොඳින් හැඳින්නෙමි.

"නංගි... ඔයා හොඳින් ද ?" අක්කා මා ළඟට දිව විත් ඇසුවේ මා පුටුවෙන් නැගිටින්නට ගොස් යළි එතන ම ඇද වැටුනු බැවිනි.

"අනේ... මගේ රත්තරන්...." මට තවත් ඉවසාගත නොහැකිව මම බිම පෙරළීගෙන ම හඬා වැටුනෙමි. අක්කාත් ඇගේ අම්මාත් පැමිණ පුදුමයෙන් මා දෙස බලා හිඳිනු මට පෙනේ.

නැත... මා පණ මෙන් පෙම් කළ ඔහුට තවත් නින්දා ගෙන දිය යුතු නැත.

"සමාවෙන්න අක්කේ..... මට මං ආදරේ කරපු කෙනාව මතක් වුනා..." මම එසේ කියා සිතට දිරි ගෙන එතනින් නිවසට දිව ආවෙමි. මම කාමරයට දිව ගොස් ක්ලාන්තව ඇද වැටෙනු මට මතකය.

මට ඔහු වෙනුවෙන් සිත් සේ හඬන්නවත් වාසනාවක් නැත. එදින රාත්‍රියේ ම මා ඔහුගේ සොහොන සොයා ගොස් එතැන බිම වැටී පස් කමින් හැඬුවෙමි.

"අනේ මගේ සුදු මහත්තයෝ.... මට සමාවෙන්න...." මම ඔහුගේ සීතල සොහොන අසල හඬමින් මුළු රැයම පහන් කළෙමි.

සියල්ල සිදු වූයේ මාගේ වරදිනි. මා අතහැර යන ශෝකයෙන් ඔහු රිය පදවාගෙන යන විට ඔහු අනතුරට ලක්වන්නට ඇත. මා කෙතරම් පවුකාරියක් ද ? දින ගණනාවක් රාත්‍රියේ පැමිණ මම ඔහුගේ සොහොන අසල දරා ගත නොහැකි වේදනාවෙන් හඬා වැටුනෙමි. තවත් මාසයක් යන්නත් පෙර අල්ලපු ගෙදර අක්කා වෙනත් මනුස්සයෙක් සමඟ පැන ගියාය. මම ඇගේ දෙමාපියන්ගේ අවසරය ඇතුව පුංචි පුතාව නීත්‍යානුකූලව මගේ බාරයට ගතිමි.

ඉඳින් මාගේ ජීවිතයම මින් ඉදිරියට කැප වන්නේ ඔහුගේම ලේ වලින් ඉපදුනු ඔහුගේ පුංචි පුතු හොඳින් හදා වඩා ගැනීමටය. අපේ බිඳුනු සිහින අතරින් මම පුංචි පුතුගේ ජීවිතය ගොඩ නගමි.

මා ඔහුගේ පුතු සමඟ ඔහුගේ සොහොන අසළ හිඳ මෙසේ ප්‍රතිඥා දෙමි.....

[සත්‍ය කතාවක් ඇසුරිණි]
නිමි.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02