මම ආයෙත් එන්නෑ

Image result for girl sad images

මම ආයෙත් එන්නෑ
©උපුටා ගැනීම තහනම් ...

මට අද වගේ මතකයි එයාව මුලින් ම දැකපු දවස. රෝස පාට හැට්ටයයි, රතු පාට දිග සායයි එයාට ගෙනාවේ චාම් සුන්දරත්වයක්. කරේ තිබුන පබළු මාලයේ පබළු ඇට දිස්නෙ දුන්න තරමට ම එයාගේ ඇස් දෙකත් දිලිසුනා. එයාගේ මූණ පුරා ම ගෑවිලා තිබුනේ අහිංසක බවක්. ඒත් එක්ක ම මට දැනුනා එයා ගොඩක් නිර්භීත කෙනෙක් කියලා. ඒකයි පුංචි කෙල්ලෙක් වෙලත් තනියම බැංකුවට ඇවිත් තිබුනේ. 

"සර්, මට පොත ක්ලෝස් කරලා ගිණුමේ සල්ලි සේරම ගන්න පුලුවන්ද ?" ඇය මට බැංකු පොත දිගු කරලා ඇහුවා.

'සර් ?' මම උසස් පෙළ ඉවර කරලා ගෙදර නිකන් ඉන්න බැරිකමට බැංකුවේ වැඩ ඉගෙන ගන්න ආවා මිසක් මම මෙතන සර් කෙනෙක් නෙවෙයි කියලා මට කියන්න හිතුනා.

"පුලුවන් මිස්...." මම කිව්වේ පොතේ සටහන් වෙලා තියෙන රුපියල් එක්දාස් පන්සියයක ශේෂය දිහා කණගාටුවෙන් බලමින්. ඇය ඉන්නේ යම් මුදල් අසීරුතාවයක බව මට දැනුනා. මට ඇයට උදව් කරන්න තිබුනා නම් !

මම හොරෙන් ම ඇයගේ උපන්දිනය බැලුවා. මගේ වයසමයි. නම ශෙහාරා. ලස්සන නමක්. මට හිතුනා. බැංකුවේ උන්න බොහෝ දෙනෙක් ඇය දෙස බැලුවේ ඇයගේ අහිංසක සරල පෙනුමෙහි තිබූ සිත් ඇදගන්නාසුළු බව නිසාම විය හැකියි.

"මිස් මේ ෆෝම් එක පුරවන්න...." මම ඇයට පෝරමයක් දිගු කළා.

නම, ලිපිනය, දුරකතන අංකය..... මම හොරැහින් ඇය පෝරමය පුරවන දෙස බැලුවා. සමහර දේවල් ඇය පිරෙව්වේ මගේ උපකාරයත් ඇතිවයි. මමත් ඇයට උදව් කළේ බොහොම කැමැත්තෙන්. ඇය රුපියල් එක්දාස් පන්සියයත් අරගෙන බැංකුවෙන් පිට වෙලා ගියේ 'බොහොම ස්තූතියි සර්' යනුවෙන් පවසමින්.

"හරිම තැන්පත් ගෑණු ළමයෙක්...." මුදල් ගෙවීම් අංශයේ ඇයට මුදල් ලබා දුන් මිස් ඇය යන දෙස බලමින් කිව්වා.

"හ්ම්...." මම සිනාසුනා.

මම කාටත් රහසින් ඇය පිරවූ පෝරමයෙන් ඇයගේ දුරකතන අංකය ලබා ගත්තා.
-----------------------------------
මාස හතරක් කට්ට කාලා තමයි එයාව මම යාළු කරගත්තේ. මගේ නොම්මරය පොලීසියට දෙනවා කියපු දවසේ මම එයාට ඇත්තම කිව්වා. එයා තරහා ගනියි කියලා හිතුවත් එයා තරහා ගත්තේ නෑ. ඒ වෙනුවට එයා හිනා වුනා.

"ඔයා එදා බැංකුවේ උන්න පිරිමි ළමයින් දෙන්නාගෙන් කොයි එක්කෙනාද ?" එයා එහෙම අහද්දි නම් මගේ පපුවේ ගැස්ම හොඳට ම වැඩි වුනා.

"ඇයි ? ඔයා ඒ දෙන්නාගෙන් කොයි කෙනාටද කැමති ?" මම ඇහුවා.
එහෙම විශේෂයක් නෑ...

"හ්ම්... මම තමයි ඔයාට එදා උදව් කළේ...." මම කියද්දි ඇය හිනා වුනා.

"ඇයි ?"

"මම දැක්කා ඔයා එදා මං දිහා බලනවා. ඒත්, මම හිතුවේ නිකං බලනවා කියලා...."

"ඔයා ලස්සන නිසා බැලුවේ...." මම එහෙම කියද්දි ඔයා ටික වෙලාවක් යනකල් මොකුත් කිව්වේ නෑ.

කොහොම වුනත් මාස හතරක් කෝල් කරලා කෙටි පණිවුඩ යවලා අවසානයේ දී ඔයා මට කැමැත්ත දුන්නා. එදා මට දැනුන සතුට ඔයා දන්නවා නම්....! ඔයා මට ගොඩක් ආදරය කළා. ඒක මම දන්නවා. ඒත්, ඔයා දැනගෙන උන්නේ නෑ ආදරය පෙන්වන හැටි. මම කෝල් කරද්දි ආදරයෙන් කතා කරන්න, ඔයා දන්නේ නෑ. ඔයා මා එක්ක කතා කළේ සාමාන්ය විධියට. ඒත් මං ළඟ ඉද්දි ඔයා ඇස්වහගෙන මගේ පපුවේ ගුලි වෙනකොට මට දැනෙනවා ඔයා මට කොයි තරම් ආදරෙයිද කියලා. ඔයා එහෙම ඉද්දි ඔයාව මගේ තුරුලෙන් ඈත් කරන්න මට ලෝභයි.

"දැන් අපි යමු නේද ?" මම කියද්දිත් ඔයා සද්ද නැතුව තුරුලු වෙලාම ඉන්නවා. දෙතුන් වතාවක් කිව්වාට පස්සේ තමයි ඔයා තුරුලෙන් ඈත් වෙන්නේ.

මම මට පුලුවන් විධියට ඔයාව බලාගත්තා. ඔයාට පන්ති යන්න සල්ලි දුන්නා. ඔයා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එනවා දකින්නයි මට ඕන වුනේ. ඒ හැමදේම අතරමඟ නතර වුන එක ගැන මට තවමත් දුකයි.

"මට ඔයාගෙන් කිස් එකක් ඕනා...." ඔයා නිතරම ඉල්ලුවා. ඒත් මම මුල් වතාවට ඔයාගේ තොල් කිස් කරපු වෙලාවේ ඔයා ලැජ්ජාවෙන් මගේ පපුවේ මූණ හංග ගත්තා. මම ආදරේ කළේ ඒ අහිංසකකමටයි. මම ඒක නිතරම ඔයාට කිව්වා. මගේ හිතේ ඔයා ගැන තිබුනේ අබ ඇටයක් තරමටවත් කිලිටි නොවුනු හිම වගේ පිරිසිදු ආදරයක්. ඒ වගේ ආදරයක් ආයෙත් මගේ හදවතේ කිසිම කෙනෙක් වෙනුවෙන් ඇති වෙන එකක් නෑ.

"මාව ඔයාගේ කරගන්න...." ඔයා ම ඉල්ලුවා. මට පුදුමයි. ඔයා මෝඩ කෙල්ලෙක් නෙවෙයි. ඒ වගේ ම මම දැනගෙන උන්නා ඔයා මගෙන් ම ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගෙන් ඒ වගේ ඉල්ලීමක් නොකරන බව. මම එදා පාර අයිනේ ඔයා ළඟින් හිටගෙන ගොඩක් වෙලා කල්පනා කළා. අන්තිමට මම තීරණයක් ගත්තා. ඒ තීරණය මම ගත්තේ ලේසියෙන් නෙවෙයි.

"මට ඔයාව මගේ කරගන්න ඕනා. ඒත් මම එහෙම කරන්නේ නෑ. මොකද, මම ඔයාට ඇත්තට ම ආදරේ නිසා...." මම ඔයාගේ නළල ඉඹලා කිව්වා.

"ඔයා වැඩිපුරම කිස් කරලා තියෙන්නේ මගේ නළල...." ඔයා මගේ කම්මුලට හාදුවක් දීලා කිව්වා.

"ඒක හොඳ නැද්ද ?"

"හොඳයි.... ඒකේ තේරුම ඔයා මට ගරු කරනවා කියන එකයි..."

"අනිවාර්යයෙන්ම මම මගේ සුදු නෝනාට ගරු කරනවා තමයි.... එතකොට ඔයා මගේ කම්මුල කිස් කරන එකටත් තේරුමක් තියෙනවද ?"

"ඔව්.... ඒ කියන්නේ මම ඔයාව ආදරෙන් බලාගන්නවා කියන එකයි...." ඔයා මගේ අතක් බදාගනිමින් කිව්වා.

ඔයා දන්නවා මම ඔයාව බඳිනවා කිව්වේ බොරුවට නෙවෙයි. ඔයා දන්නවා මට ඔයාව හැමදාට ම මගේ ළඟින් තියා ගන්න ඕනා වුනා. අපි දෙන්නා තුරුලු වෙලා යූ ටියුබ් එකේ වෙඩින් වීඩියෝ බැලුවේ ඒක අපේ ලොකුම හීනය වෙලා තිබුන නිසයි. ලස්සන වෙඩින් එකක් අරන්, දෙවියන්වහන්සේ ඉස්සරහා මගේ අහිංසක කෙල්ලව මගේ ම කරගන්න මම හීන මැව්වා. ඒත් ඒක හීනයක් ම වෙයි කියලා මම හිතුවේ නෑ
.
ඒ කාලේ ඔයාට තිබුනේ පොඩි ෆෝන් එකක්. ඒකේ මැසේජ් පිරෙනකොට මකන්න වෙනවා. ඉතින්, ඔයා පරණ මැසේජ් සේරම පොතක ලියලා තියාගන්නවා. මගේ ෆොටෝ වගයකුත් ඔයා ඒ ෆෝ කොල වල ප්රින්ට් කරගෙන තියාගෙන උන්නා. අද වෙනකොට ඒවායේ අලුත් නැතුව ඇති. අපි වෙන් වෙලා අවුරුදු දෙකක් විතර ගත වුනාට පස්සේ ඔයා කිව්වා ඔයා ඒ සේරම පුච්චපු බව. ඔව්.... ඔයා එවන කෙටි පණිවිඩ එකකටවත් මම රිප්ලයි නොකළට ඔයා එවන හැම කෙටි පණිවිඩයක් ම මම කියවනවා. ඒවායින් මගේ හිත රිදෙන තරම ඔයා දන්නේ නෑ.

මට ඔයාව අතාරින්න වුනේ මගේ අම්මා නිසයි. ඔයා දන්නවා මම ඔයාටත් වඩා ආදරේ කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ මගේ අම්මා. අම්මා වෙනුවෙන් මම ඔයාව අත ඇරියා. ඒත් දන්නවද, අදටත් මම ඔයා නිසා තනියෙන්...... මොකද මට තාමත් බැරි වුනා ඔයාව අමතක කරන්න. අපි වෙන් වෙලා අදට අවුරුදු හතයි. මට ආරංචි වුනා ඔයා විවාහ වෙන්න යන බව. ඇයි ඔයා විවාහයක් කරගන්න මේ තරම් පරක්කු වුනේ ? ඒ මම ආයෙත් එයි කියලා ඔයා මඟ බලාගෙන උන්න නිසාද ? ශෙහාරා..... මම ඔයාට කිව්වා 'මම ආයෙත් එන්නෑ' කියලා. අන්තිමේ දී ඔයා ඒක තේරුම්ගත්ත එක ගැන මට සතුටුයි. ඔයා අලුත් ජීවිතයක් පටන් ගද්දි මටත් පුලුවන් වෙයි අලුත් ජීවිතයක් පටන් ගන්න. ඒත්, හැමදාමත් ඔයා මගේ හදවතේ ඉන්නවා. අදටත් මම ඇස් වහ ගද්දි රෝස පාට හැට්ටයත්, රතු පාට සායත් ඇඳගත්ත ඒ අහිංසක කෙල්ල මගේ ඇස් ඉස්සරහාට ඇවිත් හිනා වෙනවා.
😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02