BLOOD MOON - ලෝහිත සඳ - 04

BLOOD MOON
ලෝහිත සඳ - 04


රෑ වන තුරුම මා සාලයේ සෝෆාවට වී හඬ හඬා සිටියා විනා කෑමක් බීමක් ගත්තේ නැත. එදා ගඟ මැදදී මා මිය ගියා නම්... එදා නන්නාඳුනන ඔහු විසින් මා බේරා නොගත්තා නම්... එදින එතැන මගේ වේදනාවන් අවසන් වන්නට තිබිණි. දැන් මා මැරී මැරී ජීවත් වෙමි. වෙනදා ඇඳිරි වැටෙන්නට පෙර මම දොර ජනේල වසා දමන මුත් අද ඒවා වසා දමන්නටවත් මට සිහියක් නොවිණි. මට සෝෆාවේ නින්ද ගියේ නොදැනුවත්වමය. මා නිදන අතර මධ්යම රාත්රිය එළඹෙන්නට ඇත. එක්වරම මගේ නින්ද කැඩුණේ බෲනෝ මගේ මුහුණ ලෙවකනු දැනීමෙනි.

“අහකට යන්න බෲනෝ...” මා නිදිමතේම දෙඩුවෙමි. එහෙත් විදුලි සැරයක් වැදුනාක් මෙන් මට එය සිහි විය. බෲනෝ තවදුරටත් මා සමඟ නිවසේ සිටීම සිදුවිය නොහැක්කකි.... මා දනිපනි ගා සෝෆාවේ වාඩි වූයෙමි. මෙය සිහිනයක් විය හැකිද ? බෲනෝ වල්ගය වනමින් දැඩි ප්රීතියකින් මා මුහුණ තොරක් නැතුව ලෙවකමින් සිටී.

“බෲනෝ...” මා දරාගත නොහැකි සතුටින් කෑ ගසමින් මගේ ආදරණීය බලු පැටවාව තුරුලු කරගතිමි. ඉන්පසු මා පුදුමයෙන් වටපිට බැලුවෙමි.

“ඔයා කොහොමද ආපහු ආවේ ?” මා අවුල් වී ගිය මනසින් යුතුව බෲනෝ වඩාගෙන දොර අසළට ගොස් තවමත් අගුළු දමා ඇති ගේට්ටුව දෙස බැලුවෙමි.

“කොහොමද මේක වුනේ ? ඔයාව කූඩු කරලානේ තිබුණේ. අනික එයාලා ඉන්නේ සැතපුම් අසූවකට එහා....” මම බෲනෝගේ මුහුණ දෙස බලමින් සිදුව ඇති දේ තේරුම් ගැනීමට උත්සාහ කළෙමි.

“කොහොම වුනත්, ඔයා ආයෙත් මාව හොයාගෙන ආවාට මට සතුටුයි පැටියෝ...” මා බලුපැටවා යළිත් තුරුලුකරගෙන කීවෙමි.

“ඒත්, ඔයාට දෙන්න පෝෂ්යදායී කෑම මං ළඟ නෑනේ වස්තුවේ. මම කොහොමද ඔයාව බලාගන්නේ ?” මා එසේ පවසනවාත් සමඟ ම මිදුල දෙසින් නිවස ඇතුළට කොළයක් ගසාගෙන ආවේය. මගේ දෙපා අසළ නතර වූ එය මා අතට ගත්තේ පුදුමයෙනි.

‘හෙට දවස ගැන කනස්සලු නොවන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි...’ එහි සඳහන්ව තිබුණේ බයිබලයේ වැකියකි. කොලයේ අනෙක්පස ද යමක් ඇති බව දුටු මා එයද කියවන්නට වීමි.

‘දිළින්දන් වෙනුවෙන් සෑම දිනක ම රාත්රී ආහාරය සපයනු ලැබේ. ස්ථානය - මිගෙල් වලව්ව.’ එහි සඳහන්ව තිබුණේ එපමණකි.

“මිගෙල් වලව්ව...” මා පුදුමයෙන් මටම කියාගතිමි. එය ඇති ස්ථානය මා අසා තිබුණෙමි. පාලු කැලෑ පාරේ මඳ දුරක් යන විට අතුරු පාරක් හමු වේ. එහි කෙළවර මිගෙල් වලව්ව ඇතැයි මා අසා තිබුණ නමුත් කිසි දින එය දැක තිබුණේ නැත.

“හහ්... මහ රෑ කෑම කන්න ඒ වගේ භයානක තැනකට යන්නේ මොන මෝඩයාද ?” මා කොළ කැබැල්ල ගුලි කර කසල බඳුනට දැමුවෙමි. එහෙත් එහි සටහන්ව තිබූ දෙය මගේ මනසින් හොඳින් ධාරණය විය.

“ඔයාට බඩගිනිද ?” මා විස්කෝතු බෝතලය අතට ගෙන කීවෙමි. එහෙත් බෲනෝ මා කී දේ නෑසුනාක් මෙන් දිව ගියේය.

“බෲනෝ...” මා විස්කෝතු බෝතලය පසෙකින් තබා ඌ ගිය දෙසට දිව ගියෙමි. බෲනෝ සිටියේ මිදුලේය. ඌ යම් දෙයක් කන බව මට පෙනිණි.

“බෲනෝ.... මොනවද ඔයා කන්නේ ?” මා කෑ ගසමින් එතනට දිව යන විටත් ඌ අවසන් මස් කැබැල්ල කට තුළට රුවා ගත්තේ මා භීතියට පත් කරවමිනි. එක්වර ම මගේ හිසකෙස් අවුල් කරවමින් සීතල සුලඟක් හමා ගියේය. මා බෲනෝ වඩාගෙන නිවස තුළට දිව ගොස් වහ වහා දොර ජනෙල් වසා දැමුවෙමි. ඉන්පසු නිවසේ තිබූ කිණිස්සක් අතට ගෙන නිවස පුරා යමෙකු සැඟවී ඇත්දැයි පරීක්ෂා කර බැලුවෙමි. අවසානයේ සැනසුම් සුසුමක් හෙළමින් බලුපැටවා තුරුලු කරගත් මා කාමරයට ගොස් දොර වසා ගතිමි. බෲනෝට මස් ලබා දුන්නේ කවුරුන් විය හැකිදැයි සිතන වාරයක් පාසා මගේ සියොලඟ සීතල වී ගියේය. බෲනෝ නැවත මා වෙත පැමිණීම ද අහම්බයක් නොවිය හැකි බැව් මේ වන විට මා තේරුම්ගෙන සිටියෙමි. මේ සියල්ල කවුරුන් හෝ හිතාමතා කරනා දේවල්ය. එහෙත් ඒ කවුරුන් විය හැකිද ?

“බෙන්... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද ?” සිතේ තිබූ බිය පහ නොවන බැවින් මා බෙන්ට දුරකතන ඇමතුමක් ගෙන කතා කළේ මට වෙන කතා කරන්නට කෙනෙක් නොමැති නිසාය.

“ලෞරා... මොකද මේ මහ රෑ ?” බෙන් නිදිබර හඬකින් ඇසුවේය.

“කව්ද ඩාලිං ?” ඒ ඇසුණේ ගැහැණු කටහඬක්ද ? මගේ සියොලඟ වෙවුලා ගියේය.

“යාලුවෙක්...” බෙන් ඇයට පිළිතුරු දුන්නේය.

“ඔයා... තනියම නෙවෙයිද ?” මා වෙවුලන හඬින් ඇසුවෙමි.

“ඔයා මොකටද කෝල් කළේ ?” බෙන් මගේ ප්රශ්නයට උත්තර නොදී ඇසුවේය.

“එහෙනම්.... ඒකයි හේතුව....” මා කීවෙමි.

“මොනවද ඔයා කියවන්නේ ?” බෙන් නොරිස්සුම්සහගතව ඇසුවේය.

“ඔයා මාව අත ඇරලා ගෙවුණේ සතියක් විතරයි. දැන් ඔයා ළඟ නිදාගෙන ඉන්න කෙනා ඒ සතිය ඇතුළත හම්බවුන කෙනෙක් වෙන්න බෑනේ...”

“මේ අහන්න. මම කලිනුත් ඔයාට කිව්වා. පරණ දේවල් ගැන මාත් එක්ක කතාකරන්න එපා. අනිත් එක මේ මහ රෑ. ඔයාට පිස්සුද ඇත්තටම ?”

“ඔව්... මට පිස්සු. ඔයා වගේ කෙනෙක්ට රැවටිලා උන්න මට පිස්සු...” මා වේගයෙන් රිසිවරය තබමින් කීවෙමි.

මා හරි නම් හැඬිය යුතුව ඇත. එහෙත් පළමු වතාවට මගේ සිතට නිදහසක් දැනිණි. මා තවදුරටත් බෙන් සමඟ ප්රේමය නමැති වේදනාත්මක බැඳීමෙන් බැඳී නොමැත. ඔහු දැනටමත් මා කුණුගොඩක් සේ පසෙක දමා ඇත. ඔහු අලුතෙන් ජීවිතය පටන් ගත්තා නම් මා ද ඔහුට දෙවෙනි විය යුතු නැත. මම ද අලුතෙන් ජීවිතය පටන් ගනිමි.

පසුදා උදෑසනින් ම මා බෲනෝව නිවස තුළට දමා නගරයේ අවන්හලට ගියෙමි. මා ගියේ එහි රැකියාව බාරගැනීමට සිතාය. එහෙත් මා යන විටත් එහි අලුත් සේවිකාවන් දෙදෙනෙකු වැඩ කරමින් සිටියහ. මා ප්රමාද වී ඇත්තේ එක් දිනක් පමණි. දෙවියන් මා සමඟ කුමන ආකාරයේ සෙල්ලමක් කරනවාද ? මා බලාපොරොත්තු කඩ වූ සිතින් යුතුව ආපසු එන්නට හැරුණෙමි. මඳ දුරක් එන විට විශාල ගසක කඳේ අලවා තිබූ පෝස්ටරයක් මගේ නෙත ගැටිණි.

“මිගෙල් වලව්වේ මුලුතැන්ගෙයි සේවය සඳහා කඩිසර සේවිකාවක අවශ්ය කර තිබේ.” එහි සඳහන්ව තිබුණේ එපමණකි. එහි ලිපිනය හෝ දුරකතන අංකය සටහන් කර නොතිබෙන්නේ මන්දැයි මා විශ්මයට පත් වූයෙමි.

“මිගෙල් වලව්වේ පෝස්ටර්, පත්රිකා වගේම එහේ ඉන්න අයත් අමුතු ඇති....” මා භයානක, පරණ, විශාල වලව්වක් සිතේ ඇඳගනිමින් මට ම කියාගතිමි. ඒ සමඟ ම මා පසුකර යන කඩවසම් තරුණයා දුටු මා තිගැස්සුනෙමි. ඔහු මා පසුවනවාත් සමඟ ම මා දෙස තියුණු බැල්මක් හෙලූ අතර ඔහුගේ හුරුපුරුදු බවක් මට දැනිණි. මම සිටිවන ම නතරව ආපසු හැරී ඔහු යන දෙස පුදුමයෙන් බලා සිටියෙමි. ඔහු නොපෙනී යනතුරුම බලා සිටි නමුත් ඔහු කව්දැයි කියා මට මතක් කරගත නොහැකි විය.

“මේ අන්තිම විස්කෝතු ටික....” මා එදින රාත්රියේ බෲනෝට කෑම දෙමින් කීවේ සුසුමක් හෙළමිනි.

“අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. අද ඒ ගැන කරදර වෙන එකේ තේරුමක් නෑ...” මා මගේ සුප් බඳුන අහවර කරමින් කීවෙමි. බෲනෝ එක්වරම කෑම නවතා දොර දෙසට දිව ගියේය. මා එය අගුලු ලා තිබූ බැවින් ඌ නොසන්සුන්ව දොර පහුරු ගාන්නට විය.

“බෲනෝ... ඔයා කලින් එළියට ගියානේ. දැන් මොකද මේ වෙලා තියෙන්නේ ?” මා පුදුමයෙන් කියමින් දොර ඇරියේ පිටත කවුරුන් හෝ සිටීදැයි පිරික්සමිනි.
(05වන කොටසින් හමුවෙමු.)
-----------------------------------------------
@උපුටා ගැනීම තහනම්...
දිල්හාරා සන්දීපනී.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02