BLOOD MOON - ලෝහිත සඳ - 05

BLOOD MOON
[ලෝහිත සඳ - 05]

©උපුටා ගැනීම තහනම්...




බෲනෝ එක්වර ම එළියට පැන මිදුල මැදට ගොස් වල්ගය වනන්නට වූයේ අඳුනන කවුරුන් හෝ එතැන සිටින්නාක් මෙනි. එහෙත් සැබවින් ම එතැන කිසිවෙක් සිටියේ නැත. බෲනෝ හිස මඳක් ඉහළට ඔසවාගෙන එසේ වලිගය වනන විට මගේ සිත මඳක් සසල විය. 

“බෲනෝ... මෙහෙට එන්න...” මා වෙවුලන හඬින් කීමි. බෲනෝ මා දෙස හැරී බලා යළි අනෙක් පස හැරී නකුට වනන්නට විය.

“බෲනෝ... එනවා.... දැන්ම...” මා සැර වූයෙමි. බෲනෝ හැරී මා අසළට පැමිණ ගේ තුළට ගිය විගස මා දොර වසා දැමුවෙමි. බෲනෝ දොර දෙසට මුහුණලා බිම වැතිරී දෑස් අයා ඒ දෙස බලා සිටියේය.

“මොකක්ද ඔයාට ඇත්තටම වෙලා තියෙන්නේ ? ඔයා මාව බය කරනවා...” මා එසේ පවසා අවුල් වී ගිය මනසින් යුතුව කාමරයට ගොස් දොර වසාගතිමි. බෲනෝ එදින බිරුවේ නැත. එහෙත් පසුදින උදෑසන මා අවදි වී බලන විට බලුපැටවා දොරට හේත්තු වී නිදා සිටියේ නිවසින් පිටත තමාට ලෙන්ගතු යමක් ඇතුවාක් මෙනි. ශීතකරණයෙහි වූ අවසන් කිරි ටිකෙන් භාගයක් මා බී ඉතිරි භාගය බෲනෝගේ පිඟානට දමා මා කල්පනා කරන්නට වීමි.

පෙරදින බෲනෝ ගෙන රැගෙන ගිය ස්ත්‍රිය විසින් දුන් මුදල අතට ගත් මා බෲනෝ දෙස බැලුවෙමි. මේ වන විට බලුපැටවා කිරි බී අවසන්ව පිඟාන නොඉවසිල්ලෙන් ලෙවකමින් සිටියේ එය තමාට ප්‍රමාණවත් නොවූ බව කියාපාමිනි.

“මේ සල්ලි... හරි නම් මට අයිති නෑ. මට දැනෙන්නේ මම වංචාවක් කරනවා වගේ.” මුදල් ටික මගේ පසුම්බියේ ලා ගනිමින් මා කීවෙමි.

“කොහොම වුනත් මට වෙන විකල්පයක් නෑ...” මා අත් බෑගය අතට ගනිමින් කීවෙමි. බෲනෝ කෙඳිරි ගෑවේ තමාට තවමත් කුසගිනි බව මට හඟවන්නට මෙනි.

“මම කෑම අරගෙන එනකල් හොඳ ළමයා වගේ ඉවසලා ඉන්න...” මා බලුපැටවාගේ හිස සිඹ නිවසින් පිට වූයෙමි.

“දෙවියනේ... මට අදවත් මොකක් හරි රස්සාවක් ලබා දෙන්න...” මා ගේට්ටුව වසමින් සෙමින් මිමිණුවෙමි.

නගරයේ රැකියාවක් ලබාගැනීමට ස්ථානයක් නොමැති බැව් සහතිකය. මා නගරය පුරා ඒ පිළිබඳව සොයා අවසන්ය. මා බසයකට ගොඩ වී වාඩි වූයේ අසල්වැසි නගරයට යාමට සිතාය. බසය කැලෑ පාරෙන් ගමන් කරන විට මා විමසිල්ලෙන් බලා සිටි ස්ථාන දෙකක් විය. එකක් පාලමය. අනෙක මිගෙල් වලව්වට යන පාරය. පාරට වලව්වේ කොණක් හෝ නොපෙනේ. මා බලාපොරොත්තු කඩ වූ සිතින් අසුනට බර වී හිස තද කරගත්තෙමි.

“මම කලින් වැඩ කළේ පුද්ගලික ආයතනයක කාර්යාලයේ ලිපිකාරිණියක් හැටියට. මට ගිණුම් හදන්න, අනෙක් ලිපි ලේඛණ හදන්න පුළුවන්...” මම අසල්වැසි නගරයේ ආයතනයක කළමණාකාර අධ්‍යක්ෂක මහතා හමුව කීවෙමි.

“හොඳයි, ඔයාට පුලුවන් නම් ඒ ආයතනයේ වැඩ කළ බවට ලියුමක් අරගෙන එන්න, අපිට පුලුවන් ඔයාව ලිපිකාරිණියක් හැටියට බඳවා ගන්න.” අධ්‍යක්ෂක මහතා කී දේ අසා මගේ උගුර සිරව යන්නාක් මෙන් මට දැනිණි.

“අහ්... ම්... ඒක නම්... කරන්න අමාරුයි මහත්මයා...” මා අපහසුවෙන් වචන ගලපා කීවෙමි.

“ඇයි ලියුමක් ගන්න බෑ කියන්නේ ? ඔයා එතනින් අයින් වුනේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගෙනද ?” ඔහු එවර උනන්දුවෙන් ඇසුවේය. මා සුසුමක් හෙළා ඔහු දෙස බැලුවෙමි. මා කුමක් කීවත් මට මෙහි රැකියාව නොලැබෙන බැව් විශ්වාසය.

“මම ගිහින් එන්නම්...” මා පුටුවෙන් නැගිටින විට ඔහු පුදුමයෙන් මා දෙස බලා උන්නේය.

මම නගරය පුරා ඇවිද්දෙමි. එහෙත් මට සරිලන රැකියාවක් සොයාගැනීමට මා අපොහොසත් වූයෙමි. දහවල් හිරු රශ්මියත්, දැඩි ලෙස දැනෙන කුසගින්නත් මා පීඩාවට පත් කළේය.

“සමාවෙන්න බෲනෝ...” මා කුඩා අවන්හලකින් බනිස් ගෙඩියක් රැගෙන කමින් සෙමින් මිමිණුවේ බලුපැටවා කුසගින්නේ සිටින බැව් සිහි කරමිනි. එහි වූ රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය වෙමින් තිබුණි. අද සවස් යාමයේ කුණාටු තත්වයක් ඇති විය හැකි බැව් ඉන් කියවුණු බැවින් මා ඉක්මණින් නිවසට යා යුතුව ඇති බැව් මා තේරුම් ගතිමි.

සවස් භාගය පුරාවට ද මා නගරය පුරා සැරිසරා අවසානයේ බේකරියක් අසළ නතර වූයෙමි. එහි අයිතිකරු මාව අත් උදව්කාරියක් හැටියට බඳවාගන්නට කැමැත්ත පළ කළේය. මා එයින් සෑහීමකට පත්ව ආපසු එන්නට හැරුනෙමි.

“සමාවෙන්න මහත්මයා, ලේක්වුඞ් වලට යන බස් එක එන්නේ කීයටද ?” මා බස් නැවතුම්පළෙහි සිටි මිනිසෙකුගෙන් ඇසුවෙමි. ඔහු ඔරලෝසුව දෙස බලා මා දෙස බැලුවේය.

“තව පැය දෙකකින්....” ඔහු කීවේය.

“ඔහ්...” මා පුදුමයෙන් කීවෙමි.

“මං හිතන්නේ ඔයා කුලී රථයක් ගත්තා නම් හොඳයි. ලොකු කුණාටුවක් මඟ එනවා...” ඔහු මට අවවාද කළේය.

“හොඳයි... ස්තූතියි...” මා සිනාසී කීවද මා අතේ ඇති මුදලින් කුලී රථයක් ගැනීමට මට පුලුවන්කමක් නැත. එසේ කරනවා නම් බෲනෝත් මාත් කුසගින්නේ මියැදෙනු ඇත. මා එතැනම වූ බංකුවේ වාඩි වන විට මිනිසා පුදුමයෙන් මා දෙස බැලුවේය.

“මම බස් එකේ යනවා...” ඔහුගේ පුදුමයෙන් පිරි මුහුණ දෙස බලා මා කීවෙමි.

පැය දෙක ගෙවී ගියේ ඉබි ගමනින් යැයි මට සිතිණි. කුසගින්නේ සිටින බෲනෝ සිහිවන විට මගේ හදවත රිදුම් දුන්නේය. සුලං හමමින් අහස පුරා කළු වලාකුළු එකතු වන විට කුණාටුව ළඟ ළඟ ම එන බව මම තේරුම් ගත්තෙමි. මේ වන විට බස් නැවතුම්පලෙහි සිටියේ මා පමණි. පැය දෙක පසුවී මිනිත්තු දහයක් පමණ ගෙවී ගිය විට ලේක්වුඞ් වෙත යන බසය පැමිණියේය. මා එයට ගොඩ වී පුදුමයෙන් වටපිට බැලුවේ එහි සිටි එක ම මගියා මා පමණක් වූ බැවිනි. එය පුදුමයක් නොවේ. ලොකු කුණාටුවක් එන බැව් දැන දැන බස් රථයක ගමන් කරනවා නම් ඒ මා වැනි අසරණයෙකු විය යුතුය. පෙනෙන හැටියට අද ලේක්වුඞ්හි සිටිනා එකම අසරණයා මාය.

බස් රථය කැලෑ පාර දිගේ වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබිණි. ඉක්මණින් නිවසට යා හැකි බැවින් මා ඒ ගැන සතුටු වූයෙමි. එහෙත් සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. බස් රථයේ එන්ජිම එක්වරම නතර විය. බස් රථය මඳ දුරක් ඉදිරියට ගොස් නතර විය. හරියට ම මිගෙල් වලව්වට හැරෙන අතුරු පාර ඉදිරියෙන් බස් රථය නතර වනු දුටු මා වෙවුලා ගියේ මන්දැයි මා නොදනිමි. එය යම්කිසි අද්භූත බලවේගයකින් සිදු වූ දෙයක් මෙනි. රියදුරා කිහිප වතාවක් බසය පණගන්වන්නට උත්සාහ කළත් ඔහු අසාර්ථක වූයේය. මේ වන විට බස් රථයේ සිටින්නේ ඔහුත් මාත් පමණක් වූ බැවින් මගේ සිත පුරා බියජනක සිතිවිලි හොල්මන් කරන්නට විය. සීතල සුලං එන්න එන්නම දැඩි වූ අතර එක්වර ම දොඹ ගෙඩි මෙන් විශාල වැහි බිංදු ඇදවැටෙන්නට විය. රියදුරා ද සිටින්නේ කම්පනයට පත්ව බැව් මට ඔහුගේ නළල දෙපැත්තෙන් ගලන ඩා බිඳු හේතුවෙන් කිව හැකිය. මෙවැනි ශීතල දේශගුණයක දහඩිය දමන්නේ වෙන කුමන හේතුවකට ද ?

“මොකද වුණේ ?” රියදුරා වෙවුලන දෑතින් තම ජංගම දුරකතනය අතට ගනු දුටු මා ඇසුවෙමි.

“වාහනය කැඩිලා... මම උදව්වට කාට හරි කතා කරනවා...” ඔහු කීවේය.

“හ්ම්...” සසල වී ඇති සිතුවිලි නිශ්චල කරගන්නට තැත් කරගනිමින් මා හූමිටි තබමින් දෑත් තදින් බැඳගත්තෙමි. මා මේ ගෙවන්නේ කෙබඳු අවාසනාවන්ත දින කීපයක්ද ?

“මෙතනට සිග්නල් නෑ...” ඔහු එක්වර ම කීවෙන් මා යළි තිගැස්සුනෙමි.

“මොනවා...” මා එසේ පවසා මගේ දුරකතනය අතට ගෙන පිරික්සා බැලුවෙමි.

“ඇත්ත තමයි....” මා එසේ කියමින් රියදුරා දෙස බලන්නට හිස එසෙව්වෙමි. ඒ සමඟ ම දුටු දසුනින් මා භීතියට පත් වූවෙමි. බසය ඉදිරිපිට කලු කුඩයක් ඉහලා ගත් උස පිරිමියෙකු සිටගෙන අප දෙස බලා සිටී. වීදුරුවට වැටෙන වතුර නිසාත් අවට වූ අඳුර නිසාත් ඔහු කව්දැයි කියා හරි හැටි නොපෙනුනත් ඔහු ඇඳ සිටින්නේ අලු පැහැයට හුරු කලිසමක් සහ කබායක් බව මා හඳුනා ගත්තෙමි. ඔහු මිගෙල් වලව්වේ කෙනෙකු විය යුතුය. ඔහු සෙමින් බසය දෙසට ඇවිද එන විට රියදුරා වහ වහා බසයේ දොර ජනේල අගුළු දැමුවේ මා තවත් භීතියට පත්කරවමිනි. ඉන්පසු ඔහු දෙවියන් යදින්නට වූ අතර මා භීතියෙන් අසුනේ ගුලි වූයෙමි. බසය අසළ පැමිණි අද්භූත මිනිසා එහි දොර අතින් විවර කළේ මා පුදුමයට පත්කරවමිනි. රියදුරා මොහොතකට පෙර එය අගුළු දැමුවා නොවේද ? බස් රථයේ රියදුරු කොහෙදෝ තිබූ පිහියක් ඇදගනිමින් තම අසුනට තද වෙමින් තවත් උස් හඬින් දෙවියන් යදින්නට වන විට අමුත්තා ඔහුගේ දෑස් දෙස බැලුවේය.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02