BLOOD MOON - ලෝහිත සඳ - 06

BLOOD MOON
[ලෝහිත සඳ - 06]
©උපුටා ගැනීම තහනම්...

“මාත් එක්ක එන්න. ලොකු කුණාටුවක් එනවා... ඔයාලාට ආරක්ෂාව අවශ්‍යයි...” ඔහුගේ හඬ සුලං හඬ කපාගෙන පැහැදිලිව සවන් වෙත ගලා ආවේ මා යළි පුදුමයට පත් කරවමිනි. රියදුරා මොහොතක් ගල් ගැසුණේය. ඔහු අත තිබූ පිහිය සෙමින් පසෙකින් තැබූ ඔහු අමුත්තාට එක්වර ම කීකරුව බසයෙන් පිටතට බැස්සේ ඔහු ළඟ තිබූ කුඩයක් ද ඉහලා ගනිමිනි. ඒ සිදු වූයේ කුමක්ද ? මෙතෙක් වේලා බියෙන් ගැහෙමින් සිටි රියදුරා එක්වර ම අමුත්තාට කීකරු වූයේ කුමන හේතුවක් නිසාද ?

“ඔයත් එන්න...” ඔහුගේ හඬ එවර ඇසෙන විට මා භීතියෙන් ඇලලී ගියෙමි. මා අසුනේ කොණකට වී ගුලි වූයෙමි.

“මම ඇතුළට ගියාට කමක් නැද්ද ?” ඔහු එය ඇසුවේ රියදුරාගෙන් විය යුතුය. රියදුරා දුන් පිළිතුර මට ඇසුණේ නැත. එහෙත් නිසැක වශයෙන් ම ඔහු අමුත්තාට අවසර දෙන්නට ඇත. අමුත්තා ඊ ළඟ තත්පරයේ ම බසයට ගොඩ වූයේ එබැවිනි. මා ගුලි වී ගැහෙමින් ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි. එක්වර ම මගේ බිය කොහේ පළා ගියාදැයි මට නොහැඟේ. ඔහු සුන්දර මුහුණකුත් ආඩම්බර දෑසකුත් හිමි ලාබාල තරුණයෙකි. ඔහුව කොහේදී හෝ දැක ඇති බවක් මගේ සිතට දැනෙන්නට වූයෙන් මා පුදුමයෙන් ඔහු දෙස බලා සිටියෙමි.

“ඔයා මේ පාලු කැලෑ පාරේ, කැඩුණු බස් එකක් ඇතුළට වෙලා තනියම ඉන්නවාට වඩා කුණාටුව ඉවර වෙනකල් මගේ ගෙදරට වෙලා සැප පහසුව ඉන්න කැමති වෙයි කියලා මම හිතනවා....” ඔහු අසන විට මා ඔහුගේ හඬට වශී වී ගියාක් මෙන් මට හැඟිණි. එය මා අසන්නට පෙරුම් පිරූ හඬක් මෙන් විය.

“ඔයා මට බය වෙලාද ?” ඔහු ඒ පැණය අසන විටත් මා සිටියේ පෙර මෙන් ම අසුනේ ගුලි වීගෙනය.

“ඔහ්....” මා වහ වහා අසුනේ හරිබරි ගැහී වාඩි වූයෙමි. ඉන්පසු මට දැනුණේ ඔහුට මූණ දෙන්නට නොහැකියාවකි.

“යමුද ?” ඔහු ඇසුවේය.

“හොඳයි....” මා බිම බලාගෙන ම සිටගත්තේ තවමත් සිතට දැනෙමින් තිබූ ලැජ්ජාව ඔහුගෙන් සඟවන්නට උත්සාහ දරමිනි.

මා බසයෙන් බසින විට ඔහු මට පෙර බැස මා නොතෙමෙන පරිදි කුඩය අල්ලාගෙන සිටියේය. අමුත්තා සිටියේ මට ඉතාමත් සමීපයෙනි. ඉන් අපහසුතාවයට පත් වූ මා රියදුරා දෙස බැලුවෙමි. ඔහු ගල් පිළිමයක් සේ හැරී මිගෙල් වලව්වට යන පාර දිගේ ගමන් කරන්නට වූයේය. මා පුදුමයෙන් අමුත්තාගේ මුහුණ දෙස බැලුවෙමි.

“යමුද ?” අමුත්තා මගේ දෑස් දෙස බලාගෙන ඇසුවේය.

“හ්ම්...” මා හිස සලා කීවෙමි. අප දෙදෙනා එක කුඩය යටින් අඩි දෙකක් ගමන් කරන්නට ඇත. බසයේ දොර එක්වර ම ‘දඩස්’ ගා වැසෙන හඬින් මා හිටිවන ම තිගැස්සී ගල්ගැසුනෙමි. මා බියෙන් ඒ දෙස හැරී බලා මා සමඟ ම නතරව සිටින අමුත්තා දෙස බැලුවෙමි.

“ඒක ස්වයංක්‍රීය දොරක්...” ඔහු සෙමින් කීවේය.

මගේ පපුව වේගයෙන් ගැහෙමින් තිබුණි. එහෙත් ඔහු පැවසූ දේ නිවැරදි විය හැක. මා යළි ගමන් කරන්නට වූ විට ඔහු ද මා සමඟ පියවර තබමින් පැමිණියේය. මේ වන විට රියදුරාත් අපත් අතර වූයේ ලොකු පරතරයකි. අමුත්තා මා සමඟ ගමන් කළේ සෙමිනි. මගේ හදගැස්ම දැඩි වූයේ අවට පැවති කෑලි කැපිය හැකි අඳුර නිසාද නැතහොත් ශීතල වැහිබිඳු ඇඟට ගසමින් හමා යන කුණාටුව නිසාදැයි මා කල්පනා කළෙමි. නො එසේත් නම් මගේ හදගැස්ම වැඩි කරවන්නට සමත් වූයේ අප ගලවාගන්නට පැමිණි මේ සුන්දර අමුත්තාද ? වරින් වර විදුලි කොටන විට මට ඔහුගේ මුහුණ දෙස බලන්නට දැඩි ආශාවක් ඇති විය. එහෙත් මා ඒ හැඟීම මැඩපවත්වා ගත්තෙමි. මා සිතුවාට වඩා වලව්ව දුර බව මා තේරුම් ගතිමි. අප අතර පවතින නිහැඬියාව මා අපහසුතාවයට පත්කරමින් සිටියේය.

“එයා මෙහේ කලින් ඇවිත් තියෙනවා වෙන්න ඕනා...” මා කීවේ විදුලි ආලෝකයෙන් වරින් වර පෙනෙන රියදුරා දෙස බලමිනි.

“නෑ...” අමුත්තා හැඟීම් විරහිත හඬකින් කීවේය.

“නෑ...?” මා පුදුමයෙන් ප්‍රතිරාව කළේ ඔහුගේ මුහුණ දෙස බලමිනි.

“එයා කලින් ඇවිත් නෑ...” ඔහු ඉදිරිපස බලාගෙන ම කීවේය.

“ඒත්, එයා යන්නේ හරියට.... පුරුදුකාරයෙක් වගේනේ...” මා ගැහෙන සිතින් යුතුව කීවෙමි.

“මිගෙල් වලව්වට එන ගොඩක් අය එහෙමයි....”

“ගොඩක් අය ?”

“ඔව්... ගොඩක් අය... එක්කෙනෙක් හැර....”

“එක්කෙනෙක් ?” මා වෙවුලන හඬින් ඇසුවෙමි. මේ වන විට අමුත්තා කෙරෙහි භීතියක් යළි මගේ සිතේ ජනිත වෙමින් තිබිණි.

“ඔව්... ඔයා තරම් බයෙන් ආවේ නෑ කිසිම කෙනෙක්...” ඔහු කී විට යළි මා නතර වූයෙමි.

“ඔයා... කොහොමද කියන්නේ මම බය වෙලා ඉන්න බව ?” මා වෙවුලන හඬින් ඇසුවෙමි.

“ඔයාගේ ඇස් දිහා බැලුවම ඒක ඕනා කෙනෙකුට කියන්න පුළුවන්...” ඔහු මා සමඟ නතරව නමුත් මා දෙස නොබලා කීවේය.

“ඔයා... මං දිහා බලන්නේ නැතුව මගේ ඇස් වල තියෙන දේ දකින්නේ කොහොමද ?” මා එසේ ඇසූ කෙණෙහි ම ඔහු මගේ දෑස් දෙස හෙලූ බැල්ම මගේ හදවත විනිවිද යන තරම් විය.

“ඔයා හිතන්නේ ඔයා වගේ ලස්සන කෙල්ලෙක් දිහා මම නොබලා ඉඳියි කියලද ?” ඔහු ඇසූ පැණය නිසා මගේ සිත එක්වර ම යම් මිහිරියාවකින් පිරී ගියාක් මෙනි.

“ඔයා නොදන්නවා වුනාට, ඔයාව දැකපු මුල් වතාවේ ඉඳලා මම උන්නේ ඔයා දිහා බලාගෙනමයි...” ඔහු මගේ දෑස් දෙස බලාගෙන ම කියන විට මගේ සිත හිරිවැටී ගියේය. ඔහු කෙතරම් ආකර්ශණීය ලෙස කතා කරනවාද ? තව වචනයක් හෝ කිව්වොත් මා ඔහු කෙරේ උමතු වනු නිසැකය.

“යමු...” ඔහු යළි පියවර නගමින් කීවේය. මෙවර මා කිසිවක් නොකියා ඔහු සමඟ ගියේ අමුතුම ප්‍රීතියකින් සිත පුරවාගෙනය.

මඳ වේලාවකින් ඈතින් ආලෝකයක් දිස්වන්නට විය. එය මිගෙල් වලව්වේ ජනේල වලින් විහිදුන ආලෝකයයි. මා සිතින් මවාගෙන සිටියාක් මෙන් එය භයංකාර පෙනුමකින් යුක්ත වූයේ නැත. එය හොඳින් නඩත්තු කළ පරණ තාලයේ විශාල දෙමහල් නිවහනකි. විදුලි කෙටීම්වල ආලෝකයෙන් ඒ වටා ඇති ගාණට කැපූ මල් පඳුරු හා තෘණ වැවූ පොළව මා දුටුවෙමි. නිවසේ බාහිර අඳුරේ ගිලී තිබියදී ඇතුළත පමණක් ආලෝකමත් වී තිබෙන්නේ එම නිවහනෙහි විදුලි බලය නොමැති බැව් පසක් කරලමිනි. අප ඉදිරියෙන් ගිය බස් රියදුරා වෙනුවෙන් නිවසේ දොර විවර වූ අතර මමත් අමුත්තාත් ඒ පසුපසින් ම නිවසට ඇතුල් වූයෙමු. නිවසේ දොර විවර කළේ කවුරුන්දැයි දැනගැනීමට සිතා වටපිට බැලූමුත් මාත් අමුත්තාත් රියදුරාත් හැරෙන්නට වෙන කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත. අමුත්තා නිවසේ දොර වසා අගුළු ලෑවේය.

සාලය මැද සිවිලිමකින් තොර වූ වහලය බොහෝ උස් වූ අතර එහි එල්ලෙමින් තිබූ විශාල පොකුරු පහන මත ඉටි පන්දම් සියයක් පමණ දැල්වෙමින් තිබිණි. එය නිවසේ දෙමහල තෙක් ආලෝකමත් කරන්නට සමත්ව තිබූ අතර දිනපතා මෙය බිමට බාමින් මෙතරම් ඉටිපන්දම් පත්තු කරන්නේ කවුරුන්දැයි මා පුදුම වූයේ පෙනෙන්නටවත් කිසිම සේවකයෙකු වටපිටාවේ නොමැති වූ හෙයිනි.

“ඇඳුම් මාරු කරගන්න...” අමුත්තා පහත මාලයේ කාමරයක දොරක් විවර කර කීවේය. රියදුරා වචනයක්වත් නොකියා ඒ තුළට ගියේය. අමුත්තා ඒ දොර වසා දමා මා දෙස බැලුවේය.

“ඔයාට ගැලපෙන ඇඳුම් තියෙන්නේ උඩු මහලේ....” ඔහු කී විට මා ජනේලයෙන් පිටත බැලුවේ කුණාටුව අඩු වේවා යැයි ප්‍රාර්ථනා කරමිනි. එහෙත් එය අඩුවන පාටක් නැත. මා ශීතලය හැදෙන්නට මත්තෙන් තෙත ඇඳුම් උනා දැමිය යුතුය.

“හොඳයි....” මා පියගැටපෙළ දෙසට පියවර තබමින් කීවෙමි.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02