BLOOD MOON - ලෝහිත සඳ - 07

BLOOD MOON
[ලෝහිත සඳ - 07]

©උපුටා ගැනීම තහනම්..



මා පියගැටපෙළ නඟින විට ඔහු මා පසුපස්සෙන් එනු මට දැනිණි. පඩිපෙළ අවසන් වන තැනදී ඔහු මට ඉස්සර වී ගොස් කාමරයක් විවර කළේය. ඉන්පසු ඔහු මගේ දෑස් දෙස බැලූ විට සිතට දැනුණේ නුහුරු බියකි. එහෙත්, මා බිය වන්නේ කුමකටදැයි කියාවත් මට තේරුම්ගත නොහැකි විය. සමහරවිට මා බිය වන්නේ ඔහුගේ දෑස්වලින් මට පෙනෙන අමුතු ආකර්ශණීය බවට විය යුතුය. 

“එන්න...” ඔහු මෘදු ස්වරයකින් කීවේය. මා ඔහුට අවනතව කාමරය තුළට ඇතුල් වූයේ දොර අසළ සිටි ඔහුගේ ඇඟේ ගෑවී නොගෑවීය. කාමරය තුළ වූ පහන් රුකක් මත ඉටිපන්දම් දහයක් පමණ දැල්වෙමින් තිබිණි. පරණ තාලයේ සුන්දර යහනක්, අල්මාරියක් සහ කණ්නාඩි මේසයකින් සමන්විත තිබූ කාමරයේ බිම අතුරා තිබුණේ රතු පැහැති බුමුතුරුණුය. පසෙකින් තිබූ කුඩා දොර නාන කාමරයට ඇතුල් වන දොර විය යුතුය.

“ලස්සන කාමරයක්...” මා කීවෙමි. ඔහු අල්මාරිය අසළට ගොස් එය විවර කළේය. එහි පුරවා තිබුණේ ගැහැණු ඇඳුම්ය. පෙනෙන හැටියට ඒවා සියල්ල නිමවා තිබූයේ වටිනා රෙදි වලිනි.

“මං හිතුවේ... ඔයා තනියම ඉන්නවා කියලා...” මා එය කීවේ සිතේ ඇති වූ කණගාටුව ඔහුට නොපෙනෙන පරිදි පරිස්සමටය. එහෙත් මගේ කටහඬ බරව ඇති බැව් මට ම වැටහිණි. ඔහු කිසිවක් නොකියා මා වෙත ඇඳුමක් දිගු කළේ මගේ දෑස් දෙස පෙර මෙන් බලමින්ය. මා ඇඳුම අතට ගත්තේ ඔහුගේ ඒ සුන්දර දෑසින් මගේ දෑස් ඉවතට නොගනිමිනි.

“ඇඳුම මාරු කරන් පහසුවෙන් ඉන්න...” ඔහු කීවේය.

“දන්නවද, මට බල්ලෙක් ඉන්නවා. ඌට අද දවසට ම කන්න නෑ. මට ඒ ගැන හිතද්දි කොහෙත් ම පහසුවෙන් ඉන්න බෑ...” මා දුකෙන් කී විට ඔහු කිසිවක් නොකියා සුපුරුදු බැල්මෙන් මගේ දෑස් දෙස බලා සිටියේය.

“ඔයා දොර වහලා නො ආවා නම් වෙන කෙනෙක් හරි ඌට කන්න දෙන්න ඉඩ තිබුණා...” ටික වෙලාවකින් ඔහු එසේ පවසා යන්නට හැරෙන විට මා පුදුම වූයෙමි. එහෙත් යළි සිහි එළවාගත් මා දොර වසන්නට සූදානම් වන ඔහු දෙස බැලුවෙමි.

“ස්තූතියි....” මා කීවෙමි. ඔහු එය ගණනකටවත් නොගත්තෙකු මෙන් දොර වසා දැමුවේය.

“එයා නම්, අමුතුයි....” මා තනිවම කියා ගතිමි.
ඇඳුම මාරු කරගන්නට පෙර නා ගත යුතු යැයි මා සිතුවෙමි. නාන කාමරයට ගිය මා පුදුමයෙන් බලා සිටියේ එහි සෑම දෙයක් ම අමුත්තෙකු පිළිගන්නට මෙන් අලුතෙන් පිළිවෙලට සකස් කර තිබූ නිසාය. සබන් කෑල්ල, ෂැම්පු බෝතලය පවා අලුත් ය. සියල්ලට ම වඩා පුදුම කාරණාව වූයේ ඒවා සියල්ල මා පාවිච්චි කරන ජාතියේ ම ඒවා වීමය. මා නාන්නට පටන්ගත්තෙමි. වතුර ඉතා සීතල විය. මා ඉක්මණින් නාගෙන තුවායක් ගත දවටාගෙන කාමරයට පැමිණියෙමි. ඒ සමඟ ම මා යමක් දුටුවෙමි. කන්ණාඩි මේසය අසළ බිම තිබුණේ බල්ලන්ට කෑම දෙන පිඟානකි. එය අතට ගත් මා පුදුමයට පත් වූයේ එය අලුත් ම එකක් බව දැකීමෙනි.

“අනේ මන්දා....” එය ආපසු බිම තැබූ මා තෙත කොණ්ඩය පිසදමන්නට පටන් ගතිමි. එක්වර ම කාමරය තුළ අමුත්තක් දැනෙන්නට වූයෙන් මා නතර වූයෙමි. එය වචනයෙන් පහදන්නට මට නොතේරේ. නමුත් කාමරය තුළ මා හැරෙන්නට තවත් කෙනෙකු සිටින බව මට දැනෙන්නට විය. මා සිටි තැනම කැරකෙමින් කාමරය පුරා බැලූවත් මා හැරෙන්නට වෙනත් කෙනෙකු එහි සිටියේ නැත. මා කුතුහලයෙනුත්, චකිතයෙනුත් පිරි හදවතින් යුතුව ඇඳුම අතට ගත්තේ ඉක්මණින් එය ඇඳගෙන සාලයට යාම නුවණට හුරු බව සිතමිනි. එක්වර ම තවත් වෙනසක් කාමරය තුළ සිදුවන්නට විය. පහන් රුකෙහි තිබූ ආලෝකය මඳින් මඳ අඩුවීගෙන යන බැව් දැනීමෙන් මා ඒ දෙස චකිතයෙන් බැලුවෙමි. එහි වූ ඉටිපන්දම් හතරක් නිවී ගොස් තිබූ අතර පස්වෙනි ඉටිපන්දම නිවී ගියේ මා තිගැස්මට ලක්කරමිනි. ඒ සමඟ ම හයවෙනි ඉටිපන්දම ද නිවී ගිය අතර මා ඇඳුම පසෙක ලා භීතියෙන් කාමරයේ දොර අසළට දිව ගියෙමි.

“අහ්... මේක නම් වෙන්න එපා....” මා දොර අගුල වේගයෙන් සොලවමින් කීවේ එය පිටතින් අගුළු ලා තිබූ බැවිනි. මා බියෙන් පහන් රුක දෙස බැලුවෙමි. මේ වන විට සත්වෙනි ඉටිපන්දමත් නිවී ගොස් තිබූ අතර අටවෙනි ඉටිපන්දම ද ඒ සමඟ ම නිවී ගියේය. තව ඉතිරි ඉටිපන්දම් දෙකකි. මා බයෙන් වෙවුලමින් අගුල වේගයෙන් සොලවන්නට වූයෙමි.

“මේ දොර අරින්න...” නවවෙනි ඉටිපන්දම ද නිවී යන විට මා දොරට ගසමින් හැකි වෙර යොදා කෑ ගැසුවෙමි.

“උදව් කරන්න....” මා භීතියෙන් කෑ ගැසුවේත් දසවෙනි ඉටිපන්දම නිවී ගියේත් එකටමය.
මා ක්ෂණිකව කාමරය දෙසට හැරී දොරට තද වී අඳුර දෙස බලා සිටියෙමි. පරිසරය සීතලෙන් පිරී තිබුණ ද මගේ මුළු ගතම දහඩියෙන් නැහැවී ගොස් තිබිණි. මා වෙවුලමින් නිහඬව බලා සිටි නමුත් මා වේගයෙන් හුස්ම ගන්නා හඬින් අඳුරේ වුව ද ඕනෑම කෙනෙකුට මා සිටිනා ස්ථානය සොයාගත හැකි විය යුතුය. විදුලි කෙටීම්වල ආලෝකයෙන් කාමරය වරින් වර ආලෝකමත් වන විට මා හොඳින් දෑස් අයා බලා බලා සිටියේ මා හැරෙන්නට වෙනත් කෙනෙකු එහි සිටීදැයි දැනගැන්මටය. විදුලි කෙටීම් තුනක් අවසන් වන තුරු කාමරයේ කිසිදු නපුරක් ඇති බව පෙනෙන්ට තිබුණේ නැත. ඒත් සමඟම සතරවෙනි විදුලි කෙටීම සිදු වූයේ මට යාර කිහිපයක් ඉදිරියෙන් සිටගෙන සිටින උස මිනිසෙකුගේ ඡායාව දක්වමිනි. මා යටිගිරියෙන් කෑ ගසමින් යළි දොර අගුල අල්ලා ගතිමි. ඒත් සමඟ ම යමෙකුගේ ශක්තිමත් ග්‍රහණයට මා හසු වූයෙමි. ඔහු මා ඔසවා යහන මතට විසි කළේය. මා යළි නැගිටින්නට යත්න දරන විට ඊ ළඟ විදුලි එළියෙන් මා දුටුවේ ඔහු යහන අසළ සිටගෙන සිටින බවයි. මා යළි කෑ ගසමින් ඇඳෙන් බසින්නට උත්සාහ කළත් ඔහු යහනට පැමිණ මා තදකර අල්වා ගත්තේය. මා දඟලමින් බලා සිටියේ ඊ ළඟ විදුලි එළියෙන් ඔහුගේ මුහුණ දැකගැනීමට සිතාගෙන ය. එහෙත් ඒ සමඟ ම ඔහු මගේ බෙල්ල තදින් සපාගනු මට දැනිණි. මා යටිගිරියෙන් නැගූ හඬ වලව්වේ අස්සක් මුල්ලක් නෑර ඇසෙන්නට ඇති බැව් මට විශ්වාසය. එසේ නම් මා මෙහි රැගෙන ආ ඔහු මා බේරාගන්නට නොපැමිණියේ මන්ද ? ඉන්න... මේ දැන් මාගේ ශරීරය මත සිට මගේ බෙල්ල සපාගෙන සිටින්නේ ඔහු විය හැකිද ?
මගේ බෙල්ල සපාගෙන සිටින පුද්ගලයා බෙල්ල තදින් උරවනු දැනෙන විට මගේ සිරුර ටිකෙන් ටික අප්‍රාණිකව යනු මට දැනිණි. ඒ සමඟ ම කාමරයේ ජනේලය වේගයෙන් විවර වූ අතර කාමරයේ දොරද වේගයෙන් විවර වනු මට පෙනිණි. ඊ ළඟ විදුලි කෙටීමේ ආලෝකයෙන් මා දුටුවේ කාමරයේ සිටින තවත් ඡායාවකි. ඒ සමඟ ම මගේ සිරුර මත සිටි පුද්ගලයාව කවුරුන් හෝ ඉවතට ඇදගනු මට දැනිණි. ඊ ළඟ විදුලි කෙටීමෙන් මා දුටුවේ කාමරයේ දොරෙන් එක පොදියට ඉවතට විසිවන ඡායාවන් දෙකයි. මා අපහසුවෙන් නැගී සිටින්නට උත්සාහ දැරුව මුත් යළි මා ඇඳට ම වැටී ගියේය. ජීවිතය බේරාගැනීමට නම් මා උත්සාහය අත නොහැරිය යුතුය. ඊ ළඟ නිමේෂයේ මා ඇඳෙන් බසින්නට තැත් කරන විට මා ඇඳ පාමුල දඩස් ගා බිම ඇද වැටුනෙමි. මා කෙඳිරි ගෑවෙමි. විදුලි කෙටීම් කිහිපයක් ම සිදුවන විටත් මා බලා සිටියේ කාමරයේ දොර දෙසය. දොර ළඟට යාමට මට නැගී සිටින්නට අවැසි වූවත් මා අප්‍රාණිකය. ඊ ළඟ විදුලි කෙටීමෙන් මා දුටුවේ කාමරයට ඇතුල් වන පුද්ගලයෙකුගේ පාදයන්ය. මා භීතියෙන් නැගිටින්නට තැත් දැරුවත් අත පය යළි බිමට ම කඩා වැටිණි. පැමිණි පුද්ගලයා මා ඔසවා ගත්තේය. ඔහු මා පුදුමාකාර වේගයකින් වලව්වෙන් පිටතට රැගෙන යනු මට දැනුනේ මා එදා ගිලී යන මොහොතේ මා බේරාගන්නට පැමිණි පුද්ගලයා වේගයෙන් වතුර යටට පැමිණි ආකාරය සිහිගන්වමිනි. මෙහි තේරුම යළි මා මරණයට ආසන්නව සිටින බවද ? වැසි බිඳු මගේ මුහුණ මත පතිත වන විට මා ටිකෙන් ටික ප්‍රකෘති ස්වභාවයට පැමිණෙන බවක් දැනුන මුත් එය සත්‍යයක්දැයි විශ්වාස කිරීමට බැරි තරම් මා මුළාවට පත්ව ඇති සෙයකි.

මා රැගෙන යන පුද්ගලයා අවට දේවල් පැහැදිලිව නොපෙනෙන තරම් වේගයකින් ගමන් කරමින් සිටින නිසා මා සිටින්නේ කොහිදැයි මට තේරුම් බේරුම්කරගත නොහැකි විය. මෙය කිසියම් මුළාවක් නොව, සත්‍ය වශයෙන් ම සිදුවන්නක් බව මා තේරුම් ගත්තේ මා ඔසවාගෙන සිටින පුද්ගලයා මා සමඟ ම බිම පෙරළී ගිය විටය. බිම වැටෙන විටත් ඔහු මා අත නොහැර සිටින්නට උත්සාහ දරනු මට දැනිණි. එහෙත් ඔහු මගෙන් ඈතට විසි වී ගොස් මුණින්තලාව බිම වැටී නිශ්චල වූයේය. මා මගේ මඩ වැකුණු දුර්වල ශරීරයත් ඔසවාගෙන අපහසුවෙන් නැඟී සිටියෙමි. මට අවශ්‍ය වූයේ හැකි තරම් ඉක්මණින් ඔහු කෙරෙන් පලා යන්නටය. මා අමාරුවෙන් අඩි කිහිපයක් ගමන් කළෙමි. මා කරන්නේ වරදක්ද ? මා ආපසු හැරී බිම වැටී සිටින පුද්ගලයා දෙස බැලුවෙමි. ඔහු කව්ද ? ඔහු උත්සාහ කළේ මා මිගෙල් වලව්වේ යක්ෂයාගෙන් බේරාගන්නද ? නැතහොත් ඔහුත් මිගෙල් වලව්වේ යක්ෂයා වැනි ම වූ යක්ෂයෙක්ද ? ඔහුත් සිටියේ මිගෙල් වලව්වේ ම නොවේද ? මා වික්ෂිප්තව බලා සිටියෙමි. මොහොතක් එසේ බලා සිටි මා සෙමින් ඔහු අසළට ගියෙමි. වැස්සෙන් ගලා යන වතුර දිගේ ඔහුගේ රුධිරය ද මිශ්‍ර වී ගලා යමින් තිබුණි. මගේ සිතට එකෙණෙහිම ඇති වූයේ කණගාටුවකි. මා අපහසුවෙන් ඔහුව හරවන්නට තැත් කළෙමි. එහෙත් දුර්වලව සිටි මා බිම ඉන්දවුනා විනා ඔහුව හරවා ගැනීමට අපොහොසත් වූයෙමි. ඒ සමඟ ම ඔහුගේ අතේ ඇඟිලි සෙලවෙනු මට පෙනිණි. ඉන් බියට පත් වූ මා වහ වහා නැඟී සිටියෙමි. ඔහු අත් දෙකම තම පපුව දෙසට ළං කරගෙන ඒවා බිමට තද කරමින් නැගිටිනු දුටු මා පස්සෙන් පස්සට ගියෙමි. ඔහු මා දෙස බැලුවේය. ඊ ළඟ විදුලි එළියෙන් මා එය දුටුවෙමි. එසේ ම මා ඔහුගේ මුහුණ දුටුවෙමි. මා ඔහු හඳුනා ගතිමි.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02