BLOOD MOON -ලෝහිත සඳ - 08

BLOOD MOON
[ලෝහිත සඳ - 08]

©උපුටා ගැනීම තහනම්.. 

“ඔයා...?” ඔහු දුටු මා පුදුමයෙන් කීවෙමි. ඒ වැහැරී ගිය වියළි මුහුණ මා කෙසේ අමතක කරන්නද ? එදා ගඟ මැදදී මා බේරාගත් ඔහු ම අද දෙවන වතාවටත් මා ගළවාගෙන ඇත. බිඳක් හෝ පමා නොවූ මා වහ වහා ඔහු අසළට දිව ගියෙමි. මට අවශ්‍ය වූයේ ඔහුව නැගිටුවන්නටය. එහෙත් ඔහු කලබලයෙන් මා දෙස බැලුවේය.

“දුවන්න...” ඔහු භීතියෙන් කීවේය.

“මොකක් ?” මා ගැහෙන හඬින් ඇසුවෙමි.

“දුවන්න. එයා එනවා...” ඔහු පාරේ ඈත කොණ දෙස භීතියෙන් බලමින් කියන විට මා වෙවුලන දෙපාවලින් සිටගෙන ඒ දෙස නෙත් යොමු කළෙමි. වරින් වර විදුලි කොටන නමුත් මට කිසිවෙකු නොපෙනේ. එහෙත් මා අසළින් ම සිටගත් මගේ ගැලවුම්කාරයා තියුණු දෑසින් යම් දෙසකට තර්ජනාත්මක බැල්මක් හෙළුවේය.

“දුවන්න...” ඔහු වෙවුලන හඬකින් කීවේය.

ඒ සමඟ ම කෙටූ විදුලියෙන් මා ඒ යක්ෂයා
දුටුවෙමි. මා යටිගිරියෙන් කෑ ගසනවාත් සමඟ ම මා බේරාගත් තරුණයා ඔහු දෙසට පිනුයේ සම්පූර්ණයෙන් ම වෙනස් වේශයකට හැරෙමිනි. මට මගේ දෑස් අදහාගත නොහැකි විය. මක්නිසාද යත් මා බේරාගත් තරුණයාගේ වේශය කලින් මා දුටු යක්ෂයාට සෑම අතින් ම සමාන විය. ඔවුන් දෙදෙනා ම යක්ෂයින්ය. වෙනසකට ඇත්තේ එකෙකු මා මරන්නට තැත් දරන විට අනෙකා මා බේරාගන්නට තැත් කිරීමයි. මා දෙපයට හැකි වෙර යොදා එතනින් දිව යන්නට වූයේ උමතුවෙන් මෙනි. පාලම මතින් දිව යන අතර මට සිතුණේ සිදු වූ සෑම දෙයක් ම සිහිනයක් මෙනි. සැබවින් ම එය සිහිනයක් වූවා නම්.... නමුත් ඒ සියල්ල සැබෑවට ම සිදු වූ දේවල් ය. මා හසු වී සිටින්නේ භයානක ඉරණමකටය. මා නිවසට ගොස් දොර වසාගෙන දොරට හේත්තු වී බිම වාඩි වූයේ දෑතින් මුඛය තද කරගෙන හඬමිනි. යක්ෂයා මා කිසි දිනෙක අත් නොහරිනු ඇත. මට තවත් දුවන්නට තැනක් නැත.

යක්ෂයා විසින් ලේ උරා බොන්නට සිදුරු කළ ගෙල තදින් රිදුම් දෙන්නට වූයෙන් මා සෙමින් ඒ මත ඇඟිලි තුඩු තැබුවෙමි.

“අහ්....” මට වේදනාවට කෑ ගැස්සිණි. ඒ සමඟ ම මට ඇසුණේ කෙඳිරිලි හඬකි. මා එය හැඳින්නෙමි.

“බෲනෝ....” මා කලබලයෙන් මුලු දවසේ ම කුසගින්නේ උන් බලුපැටවා අසළට ගියෙමි. බලුපැටවා සිටගත්තේ නැත.

“බෲනෝ... අනේ, එපා....” මා හඬමින් මියැදෙමින් සිටින බලුපැටවා තුරුලු කරගත්තෙමි.

“එපා... එපා... එපා... දෙවියනේ... මට මෙහෙම කරන්නෙපා...” මා කෑ ගසමින් හැඬුවෙමි.

ගත වූයේ තත්පර කීපයකි. යම් කිසි කෙනෙකු වේගයෙන් දොරට ගැසුවේය. මා භීතියෙන් සිට ගතිමි. මේ රාත්‍රියේ මා හමුවන්නට පැමිණෙන කෙනෙක් නැත. ඒ අර යක්ෂයා ම විය යුතුය.

“ලෞරා...” කුණාටුව මැදින් යන්තමට මට ඒ හඬ ඇසිණි. ඒ බෙන්ය. දෙවියනි... ඒ හඬ ඇසෙන විට මට ඇති වූ ප්‍රීතිය කියා නිම කළ නොහැකි විය. මා දිව ගොස් දොර විවර කළෙමි.

“බෙන්...” මා හඬමින් ඔහුගේ ගෙල බදාගත්තේ මා බේරාගැනීමට පැමිණි සුර දූතයෙකු ලෙස සිතාය.

“මාව ඇතුළට ගන්නේ නැද්ද ?” ඔහු සිනාසී ඇසුවේය. ඒ සමඟ ම මා දුටුවේ ලේ පෙරාගෙන ගේට්ටුව කඩාගෙන එන යක්ෂයාය.

“ඇතුළට එන්න... දැන්ම....” මා බෙන්ට කෑ ගැසුවෙමි.

“එපා....” යක්ෂයා කෑ ගැසුවේය. බෙන් ඇතුළට වන් විගස මා දොර වසා දැමුවෙමි. ඒ සමඟ ම මා බෙන්ගේ මුහුණේ වූ ජයග්‍රාහී පෙනුම දුටුවෙමි.

“බෙන්...” මා ගැහෙන හදවතින් යුතුව කීවේ කොතැන නුමුත් වරදක් සිදුවී ඇති බැව් තේරුම් ගනිමිනි. බෙන්ගේ මුහුණ එක්වර ම වෙනස් වන්නට විය. තවදුරටත් එතැන උන්නේ බෙන් නොවේ. මිගෙල් වලව්වේ සිටි තරුණයාය. මිගෙල් වලව්වේ සිටි යක්ෂයා ද මොහුම බව සක්සුදක් සේ මට පැහැදිලි විය.

“ලෞරා, මට ඇතුළට එන්න දෙන්න..” දොරටුව අසළින් ඇසිණි. දොරටුවට පිටතින් සිටින්නේ මා බේරාගත් තරුණයා බැව් මා තේරුම් ගතිමි. නිවසින් පිටත තැබිය යුතු කෙනා නිවස තුළට ගෙන නිවස තුළට ගත යුතු පුද්ගලයා පිටතින් තබන්නට තරම් මා මෝඩ වී ඇත. යක්ෂයාගේ ගැටයට මා හසු වුණෙමි.

“එයාට එන්න දෙන්න එපා...” මා ඉදිරිපිට සිටින තරුණයා කීවේය. මා සිටියේ වෙවුලමින් ඔහුගෙන් අඩියෙන් අඩිය පසුපසට යමිනි.

“එයාට එන්න දුන්නොත් මම ඔයාව මරනවා....” ඔහු කීවේය. ඒ සමඟ ම බෲනෝගේ කෙඳිරිය ඇසිණි. තරුණයා එක්වර ම ඌ දෙස බැලුවේය. ඊ ළඟ තත්පරයේ බෲනෝ වෙත පිනූ ඔහු බෲනෝගේ බෙල්ල සපා කෑවේය. මා යටිගිරියෙන් කෑ ගසන විටත් ඔහු යක්ෂ ස්වරූපයට හැරෙමින් බලු පැටවාගේ ලේ උරා බිවුවේය.

“ලෞරා...” පිටත සිටින යක්ෂයා ගේ කලබලයට පත් හඬ නිවසේ හතර වටෙන් ඇසෙන්නට වූයේ ඔහු නිවස තුළට එන්නට මඟක් සොයමින් සිටින්නාක් මෙනි. ඔහු දොරක් හෝ ජනේලයක් බිඳගෙන ඇතුළට එනු ඇතැයි මා බලාපොරොත්තුවෙන් සිටි නමුත් එවැන්නක් සිදු වූයේ නැත. ඒ වෙනුවට ඔහුගේ වේදනාබර හඬින් නිවසට පිටතින් මොර දෙමින් සිටියේය.

“මට ඇතුළට එන්න දෙන්න....” ඔහු එක ම දේ කියමින් කෑ ගසමින් සිටින අතර නිවස තුළ සිටින යක්ෂයා බෲනෝගේ අවසන් ලේ බිඳුවත් උරා බී මා දෙස හැරුණේ ලේ වැකුණු දත්විලිස්සාගෙනමය. එය දුටු මා කෑ ගසමින් පසුපසට ගොස් බිම ඇදගෙන වැටුනෙමි. ඔහු සිටි තැනින් අතුරුදන්ව මා ළඟින් මතු වූයේ භයානක අවතාරයක් මෙනි.

“එපා....” ඔහු මා ඔහුගේ පපුවට තදකරගන්නා විට මා කෑ ගැසුවෙමි.

“මට ඕන වුණේ ඔයාව මගේ මනමාලිය කරගන්න විතරයි....” ඔහු කලින් සිදුරු කර තිබූ මගේ ගෙල පෙදෙස තදින් ආඝ්‍රාණය කරමින් කීවේය.

“ඔයාව මිගෙල් වලව්වේ රැජිණ කරන්නයි මං හීන මැව්වේ. ඔයාව විතරක් නෙවෙයි. බෲනෝවත් එහෙට අරගෙන යන්නයි මට ඕන වුණේ...” ඔහු එවර මියගිය බෲනෝ දෙස හැරී බලා කීවේ කණගාටුවෙනි. මා බියෙන් ගැහෙමින් සිටි නමුත් ඔහුගේ කණගාටුවට පත්වූ මුහුණ දුටු විට සිතේ ඇති වූයේ කුතුහලයකි.

“ඔ... ඔයා... බෘනෝව... මැරුවා...” මා වෙවුලන හඬින් කීවෙමි.

“ඌ කොහොමත් මැරෙමින් උන්නේ... උගේ වේදනාව අවසන් කරන්න මට ඒ දේ කරන්න වුණා...” ඔහු එවර ද කීවේ ශෝකයෙනි.

“මම කළේ වරදක්.... මට ඌව ආපහු ඔයාට ගෙනවිත් නොදී ඉන්නයි තිබුණේ...” ඔහු යළි එසේ කී විට මගේ දෑස් පුදුමයෙන් විසල් විය.

“ඒ...ඒ කිව්වේ ? ඔයාද එදා... බෲනෝව මට ආපහු... ගෙනත් දුන්නේ ?” මා තවමත් වෙවුලන්නා වූ හඬින් ඇසුවෙමි.

“ඔව්... ඔයා දුකෙන් ඉන්නවා බලාගෙන ඉන්න මට බැරි වුණා...”

“මො..මොනවා ?”

“කොහොම වුණත් එදායින් පස්සේ බෲනෝ මට බිරුවේ නෑ...” ඔහු තනිවම සිනාසෙමින් කීවේය.

“එ..එතකොට... ඔයාද බෲනෝට මස් දුන්නේ ?”

“ඔව්...” ඔහු එසේ කියමින් සිට ගත්තේය. ඉන්පසු ඔහු ඇඳ සිටි කබාය සහ කමිසය ගලවා පසෙක ලා තම අතෙහි වූ නියපොතු දිග හැරියේ මා බියට පත් කරවමින්ය.

“අනේ... එපා...” මා පසුපසට යමින් කීවෙමි. එහෙත් ඔහු නියපොතුවලින් මට හානියක් සිදු කරනු වෙනුවට ඔහුගේ ම පපුව ඉන් තුවාල කරගත්තේය. ඉන්පසු ඔහු මා අසළට පැමිණ මා ළං කරගත්තේ මට මරණ බිය යළිත් දැනෙන්නට සලස්වමිනි.

“බොන්න....” ඔහු කීවේය.

“මො...ක...ක්...?” මා දියෙන් ගොඩ දැමූ මාලුවෙකු සේ ගැහෙමින් කීවෙමි.

“බොන්න....” ඔහු මගේ මුහුණ තම ලේ ගලන ලමැද දෙසට ළං කරමින් කීවේය.

“එපා... මං උඹව මරනවා....” නිවසට පිටතින් සිටින තරුණයා කෑ ගැසුවේය. ඔහු බොරුවට කෑ ගසනු විනා මා බේරාගන්නට එන පාටක් නැත.

“බොන්න....” මා අල්ලාගෙන සිටින තරුණයා එවර කෝපයෙන් කීවේය. මා පිළිකුලෙන් නමුත් භීතිය නිසාම ඔහුට කීකරු වී ඒ රුධිරය මතින් මගේ කට තැබුවෙමි. මා පළමු උගුර මා ගිලගත් මොහොතේ ම මට ඒ රුධිරය කෙරෙහි දැනුණේ පුදුමාකාර ගිජු බවකි. මා දෙවෙනි උගුර ගිල දැමුවේ ඉතා කෑදරකමිනි.

“අන්න හරි.... දැන් ඔයා මගෙ විතරයි....” මා උමතුවෙන් මෙන් ලේ උරා බොන විට ඔහු පවසනු මට ඇසුණේ සිහිනයෙන් මෙනි. මක්නිසාද යත් මේ වන විට මා අමුතු ම මත් බවකින් වෙලී සිටියෙමි.

“අහ්.... දැන් ඇති... ලෞරා....” ඔහු වේදනාවෙන් මා පසෙකට කරන්නට උත්සාහ දරනු මට දැනිණි. එහෙත් මට දැනෙමින් තිබුණේ අසීමිත ශක්තියකි. මා ඔහුව තද කර අල්වාගෙන හිත පුරා ඔහුගේ රුධිරය උරා බීවෙමි. මගේ මත් බව එන්න එන්න ම දැඩිවන විට ඔහු කපා හෙලූ කෙසෙල් කඳක් මෙන් බිම ඇද වැටුනේය. ඔහුත් සමඟ ඔහු මත ම ඇද වැටුණු මා ඔහුගේ පපුව මත ම දෑස් වසා ගතිමි.

“ලෞරා...” දෑස් පියවෙන්නට පෙර පිටත සිටින තරුණයාගේ වේදනාබර හඬ යන්තමට ඇසුණා මට මතකය.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02