දිවා සඳ (Mid Day Moon) - 01
දිවා සඳ (Mid Day Moon) - 01
[මා නිදනා විට ඔහු අවදියෙනි]
©උපුටා ගැනීම තහනම්
තෙරක් නොපෙනෙන තීර්ෂා නිම්නයේ පිපි විවිධ මල්වල සුවඳ මුහු කරගනිමින් හමා එන සුලඟ රූස්ස ගස් පේළියේ හැපෙමින් නංවන සර සර හඬ මට හොඳින් හුරු පුරුදුය. එය සදාකල්හි ම නොනැවතී ගැයෙන ගීයක් මෙනැයි මට හැඟේ. එහෙත් එම ගීය ආරම්භ වූයේ කවදාද කියා හෝ මා තීර්ෂා නිම්නය අසබඩ තනි වූයේ කෙසේද කියා හෝ මට මතකයක් නැත. මා දැන සිටි එක ම දේ මා විසූ පැල්පත ද, ඒ අසළින් ගලා යන දොල පාර අවට වැඩී තිබූ පලතුරින් පිරුණු ගස් වැල් ද මා පෝෂණය කරමින් රකින බවයි. මට දෙමව්පියන් සිටිය යුතු බව ද, මෙයට වඩා දියුණු ශිෂ්ඨාචාරයකට මා අයිති බව ද මට හැඟුණත් එබන්දක් සිදුවිය හැක්කේ කෙසේ ද කියා හෝ මා මතකයේ රැඳී තිබුණේ නැත. මා දැන සිටි එක ම කරුණ මා යම් දෙයක් වෙනුවෙන් බලා සිටින බවයි.
මා නිදිමත වී යහනට යන තුරු තීර්ෂා නිම්නයට රාත්‍රිය උදා වන්නේ නැත. රාත්‍රිය මැද දී කිසිවිටෙක මා අවදිවන්නේ ද නැත. මා යළි අවදි වන විට හැමදාමත් උදෑසන එළඹී තිබේ. විෂඝෝර සර්පයින්, මස් බුදින මෘගයින් ගැන මා දැන සිටි නමුත් ඔවුන් එකෙකු හෝ කිසිදාක මගේ ඇස ගැටී නැත. මා ඔවුන් පිළිබඳව දැන සිටින්නේ කෙලෙසදැයි යන්න මා විමතියට පත් කළේ නැත. ලස්සන ගී ගයන දේදුනු පැහැ පුංචි කුරුල්ලන්, හාවුන් සහ මුවන් වැනි අහිංසක සතුන්, දොළ පාරේ පීනන දේදුනු පැහැගත් මාලුන් මගේ ලෝකය ම වී තිබිණි. සිහින යනු කුමක්දැයි මා දැන සිටියෙමි. එහෙත් මා සිහින දුටුවේ නැත. මා රාත්‍රියේ සඳ දැකීමට ආශා කළෙමි. මා යහනට යන තුරු රාත්‍රිය උදා නොවන බැවිනුත් යහනෙන් පිටවන විට හිරු උදාවන බැවිනුත් මා කිසිදාක සඳ දුටුවේ නැත. එහෙත් සඳ යනු කුමක්දැයි මා දැන සිටියෙමි. එය අහසේ පායා බබළන අන්දම මට මතක ය. එය මතකයක් වී මගේ හදවතේ රැඳී ඇත්තේ කෙසේදැයි මම නොදනිමි.
තීර්ෂා නිම්නයේ යම් කිසි වරදක් ඇතැයි යන හැඟීමෙන් නිතර මා පීඩා වින්දෙමි. එහෙත් එම වරද කුමක්දැයි මට හරි හැටි තෝරා බේරාගත නොහැකි විය. තීර්ෂා නිම්නයේ කෙළවර ඇත්තේ කුමක්ද කියා හෝ අඩු තරමේ එහි කෙළවරක් තිබේද යන්න හෝ මම දැන නොසිටියෙමි. මගේ හදවතේ ඇති ගැටලුවට පිළිතුරක් තීර්ෂා නිම්නය කෙළවරේ තිබෙනු ඇතැයි මම අපේක්ෂා කළෙමි. එහෙත් මා මේ නිම්නයේ කෙළවර දකින්නට බිය වෙමි. එනිසාවෙන් ම මා සුපුරුදු සීමාවේ කොටු වී එහි ඇති දෙයින් සෑහීමකට පත්ව ජීවත් වූයෙමි.
සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ මගේ මුල් ම සිහිනයත් සමඟිනි. එය භයංකාර සිහිනයක් යැයි මා පවසන්නේ මා සිහිනයෙන් ලෙඩ ඇඳක වැතිරී සිටිනු දුටු බැවිනි. මුලින් ම මා දුටුවේ වහලයක සිවිලිමයි. ඔව්.... එය සිවිලිමක් බව මා හඳුතිමි. එහෙත් ඒ කෙසේද යන්න මට පැහැදිලි නැත. මක්නිසාද, මාගේ පැල්පතේ එවැන්නක් නොමැත. මා සිහිනයෙන් අවට බලන්නට උත්සාහ කළෙමි. මගේ නහය සහ කට මත යම් කිසි උපකරණයක් සවි වී තිබුනෙන් හිස සෙලවීම මඳක් අපහසු වූ නමුත් අසල වූ පුටුවක සිටි ගැහැණියක් මා දැක ඉන් නැගිට වේගයෙන් මා වෙත දිව එනු දුටුවෙමි. ඇගේ ඇස්වලින් කඳුලු ගලා ගිය අතර ඇය මා වෙත එබෙන විට ඇගේ කඳුලු බිඳුවක් මගේ දකුණත මතට වැටෙනු මට දැනිණි.
“තීර්ෂා....” ඇය හඬමින් දෝතින් ම මගේ කම්මුල අල්ලාගත්තාය. එම ස්පර්ශයෙන් කලබලයට පත් වූ මා නැගිටින්නට උත්සාහ කළෙමි.
“තීර්ෂා.... වස්තුවේ. දඟලන්නෙපා...” ගැහැණිය හඬමින් කීවාය.
“නර්ස්... ඩොක්ටට කතා කරන්න. එයාට සිහිය ආවා....” ගැහැණිය හැරී කෑ ගැසුවාය. මම ශරීරයට දැනෙන්නාවූ දැඩි වේදනාව මැද දඟලමින් නැගිටින්නට වෙර දැරුවෙමි. මම මඳක් ඉහලට එසවෙන විට මගේ අත් දෙකේ සහ ශරීරයේ අමුණා ඇති විවිධ බට සහ වයර් මා අවුල් ජාලාවකට පත් කර දමා තිබුණි. මම දඟලමින් වේගයෙන් හුස්ම ගන්නා විට අසල තිබූ යන්ත්‍ර වලින් අනතුරුදායක හඬක් නික්මිණි.
“අනේ වස්තුවේ.... දඟලන්නෙපා.” ගැහැණිය හඬමින් මා අල්ලාගත්තාය. එවිට ම විවර වූ දොරකින් මුහුණු වසාගත් යම් කිසි පිරිසක් ඇතුල් විය. මම බියට පත්ව වඩාත් දඟලන්නට වූයෙමි. ඒ සමඟ ම පැමිණියවුන් මා අල්ලාගත් අතර වමතට තියුණු ඉඳිකටු තුඩකින් අනින්නාක් බඳු වේදනාවක් ඇති විය. සුලු මොහොතකින් සියල්ල බොඳව යන්නට වූ අතර මා තිගැස්සෙමින් අවදි වූයෙමි.
මා ඇඳෙන් බැස තැනිතලාව දෙසට දිව ගියේ උන්මත්තිකාවක මෙනි. දුටු සිහිනය නිසා මා කෙතරම් බිය වී සිටියාදැයි වචනයෙන් විස්තර කළ නොහැක. සියල්ල දැනුණේ සැබෑවට ම සිදු වූ දේවල් ලෙසය. සිහිනය කුමක්ද, සත්‍යය කුමක්ද කියා තෝරා බේරා ගත නොහැකි තත්වයකට මා පත්ව සිටියෙමි. තීර්ෂා නිම්නය යනු සැබවින් ම මා අයිති තැනදැයි යන්න පිළිබඳව කුකුසක් ප්‍රථම වතාවට මගේ හදවතේ පැන නැගී තිබිණි. මෙතෙක් කාලයක් මට නොහැඟී තිබූ ප්‍රශ්න දහසක් හදවත තුළ පෙරලි කරන්නට වූයේ මගේ මනසට දරාගත නොහැකි අන්දමිනි.
“තීර්ෂා...” මා සිහිනයෙන් දුටු ගැහැණිය මා එනමින් අමතනු මගේ දෙසවන් තුළ දෝංකාර දෙන්නට වූ අතර ඇය ඉකිබිඳිමින් හඬනු නොනැවතී ඇසෙන්නට විය. මම දෝතින් ම දෙකණ් බදාගෙන තීර්ෂා නිම්නයේ සුවඳ මල් අතරින් ඉදිරියට ම දිවගෙන ගියෙමි.
පැයක් පමණ ගෙවෙන්නට ඇත. මේ වන විට හති වැටී සිටි මා අධික හිරු එළිය යට තැනිතලාව දිගේ ඔහේ ඇවිද යමින් සිටියෙමි. මේ වන විට දෙසවන් තුල දෝංකාර දුන් හඬ වියැකී ගොස් තිබුණෙන් මනසට දැනුනේ මඳ සහනයකි. එහෙත් මගේ දිව ගිලෙන තරමේ පිපාසයක් දැනෙන්නට වූයෙන් මා සිටියේ අඩපණවය. මෙවැන්නක් මීට පෙර සිදුව නොමැති බැවින් මගේ සිතේ කුතුහලය මුසු භීතියක් ඇතිවන්නට විය. එම භීතිය දෙගුණ තෙගුණ වන්නට වූයේ ඈතින් දිස්වන අන්ධකාරය දකින විටය. එය කෙසේ සිදු වන්නේද ? තැනිතලාවේ මා සිටගෙන සිටින තැන හොඳින් හිරු එළිය වැටී ආලෝකමත්ව ඇති විට ඈතින් දිස් වෙන අහසේ තරු පායා අඳුරින් වැසී ඇත. මම හුන් තැන ම ගල් ගැසුනෙමි. ඒ අහසේ තැනෙක වටකුරුවට පෙනෙන්නේ මා මෙතෙක් කල් දකින්නට පෙරුම් පිරූ සඳ ද ? මගේ දෙපා ආයාසයකින් තොරව ම ඒ දෙසට ඇදෙන්නට වූයේ ඒ සඳ නිසාම විය යුතුය.
තැනිතලාව මධ්‍යයේ අන්ධකාරයත්, ආලෝකයත් වෙන් කරන්නාවූ සීමාව අද්දර මම සිටගෙන මොහොතක් බලා සිටියෙමි. අන්ධකාරය කීවාට එය සෞම්‍ය සඳ එළියෙන් මඳක් ආලෝකමත්ව ඇත. ඒ එළියෙන් මට පෙනුනේ අන්ධකාරයට හසුව ඇති තැනිතලා බිමෙහි එකදු මලක්වත් පිපී නැති බවයි. එහි මලක් තියා පැළෑටියක්වත් නැත. ගල් සහ වැලි වලින් පිරි එම භූමිය රළු විය යුතුය. මා සිතූ දේ නිවැරදි බව තේරුම් ගියේ විනාඩි කිහිපයකට පසු එඩිතර හදවතින් යුතුව එම භූමියට තැබූ පළමු පියවරත් සමඟ ය. සැබවින් ම එම භූමිය රළුය. මගේ පාවහන් නැති නිරුවත් දෙපා රිදවන්නට එම භූමියේ කර්කෂබවට හැකි විය. මම බියෙන් නමුත් කුතුහලයෙන් ඉදිරියට ම ඇදුනෙමි. එම භූමියේ මා දුටු පළමු හද සනසන දසුන වූයේ පොළවෙන් මතුව ගලා යන දොල පහරයි. මම දෙවරක් නොසිතා එතැන දණ ඔබාගෙන ඇති තරම් වතුර බීවෙමි. මේ වන විට කුසගිනි ද දැනෙමින් තිබුනු මුත් ඉවසාගන්නට නොහැකි පිපාසය නිවාගැනීමට ලැබුනු අවසරයෙන් මා තෘප්තියට පත් වූයෙමි. දොල පාර ගලා යමින් තිබුණේ මා පියමනිමින් සිටි දිශාවට ම ය. එහෙයින් දොළ පාර අද්දරින් එය ගලා බසින දෙසට ම ගමන් කරන්නට මා ඉටා ගතිමි. එවිට පිපාසා වීම පිළිබඳව ගැටලුවක් ඇතිකරගැනීමට අවශ්‍ය නැත. අවැසි ඕනෑම මොහොතක මේ සිසිල් ජලය මගේ පිපාසය නිවනු ඇත.
තවත් පැයක පමණ වේලාවක් මා ඇවිද ගියෙමි. මේ වන විට දොළ පහරේ යම් වෙනස්කම් කිහිපයක් ඇති වෙමින් තිබිණි. පටන්ගැන්මේ දී අවර්ණව තිබූ ජලය දේදුනු පැහැයෙන් දිදුලන්නට වූ අතර ලා සඳ එළිය ඒ මත වැටී චමත්කාර දසුනක් මවාපෑවේය. මම පුදුමයෙන් ඒ දෙස බලමින් දිගට ම ගමන් කරන විට එක්වර ම ඈතින් මිහිරි සංගීත නාදයක් ඇසෙන්නට විය. දුර ඈතින් විසල් මාලිගාවක් වැනි යමක් පෙනෙන්නට වූයෙන් සංගීතය නික්මෙන්නේ ඒ තුලින් විය හැකි බව මම අනුමාන කළෙමි. ඒ පෙනෙන්නේ තීර්ෂා නිම්නයේ අනෙක් කෙළවර ද ? මා එසේ සිතුවේ මාලිගාව වටා ඇති රූස්ස ගස් දෙස පුදුමයෙන් බලමිනි. දේදුනු පැහැ ගත් දොළ පහර මාලිගාව වටා ඇති තාප්පයේ විවරයක් තුලින් ඒ දෙසට ගලා යයි. මම මාලිගාවේ වැසූ ගේට්ටුව අසලට වී පුදුමයෙන් ඒ දෙස බලා සිටියෙමි. මාලිගාව වටා ඇති සුන්දර ගෙමිදුලත්, මාලිගාවේ ජනේල තුලින් දිස්වන ආලෝකයනුත් මගේ සිත් ගත්තේය. ගෙමිදුල මැද ඇති උස් කිරි ගරුඬ ප්‍රතිමාව සුන්දර අඟපසඟින් යුත් යුවතියකගේ හැඩය ගත් එකකි. මාලිගාව වටා වැඩී ඇති උස පලතුරු ගස්වල අතු ඒවායේ පැසුනු ගෙඩිවලින් බරවී ඇත. මා ගේට්ටුව විවර කිරීමට උත්සාහ නොකළෙමි. මන්ද යත් මේ ස්ථානය කිසි සේත් මට අයිති තැනක් නොවේ. මම බොහෝ වේලාවක් එම ස්ථානයේ සුන්දරත්වය රස විඳගත්තේ ගේට්ටුවෙන් මෙහා වැඩුනු ගසකින් කඩාගත් පීච් ගෙඩි කිහිපයක රස බලමිනි. තාප්පය වටා වැවී තිබූ කැනස් වලට සමාන මල් කිහිපයක් මා කඩාගත්තේ ඒවායේ තිබූ අසාමාන්‍ය දීප්තිය ගැන කුතුහලයෙනි. මේ අද්භූත ස්ථානය පිළිබඳව මා බියක් ඇති කරගත යුතුව තිබුනේ වී නමුත් මම ඉමහත් අමනානන්දයට පත් වූ බැව් සැබෑවකි. දොළ පහර අද්දර වැවී තිබූ පඳුරු මත හටගෙන තිබූ බෙරි විශේෂය මා ඉන් පෙර රස විඳ තිබූ ඒවාට වඩා හාත්පසින් ම වෙනස් රසකින් යුක්ත විය. එහෙත් ඒ රසයට මා බෙහෙවින් ප්‍රිය වීමි. බෙරි ගෙඩි කිහිපයකින් ගවුමේ සාක්කුව පුරවා ගත් මා ආපසු එන්නට හැරුනේ කාලය බොහෝ සෙයින් ගතව තිබූ බැව් දැනෙන්නට වූ හෙයිනි.
අන්ධකාරය සහ ආලෝකය වෙන් කරන්නාවූ ස්ථානයේ නතර වූ මා යළිත් හැරී වටකුරු සඳ දෙස බැලුවෙමි. එය මනහරය. මම යළි මගේ පැල්පතට ආවේ දැඩි වෙහෙසකින් වූ නමුත් හදවත ප්‍රීතියෙන් පිරී තිබිණි. මා යළි එම මාලිගාව සොයා යන බවට දැඩි සිතින් අදිටන් කරගනිමින් යහනට වැටුනේ අධික තෙහෙට්ටුව නිවාගැනීමට සිතා ය. අඩවන් වන දෑසින් මා දුටුවේ මගේ පැල්පත වටා රොක්වන සුපුරුදු අන්ධකාරයයි. මා නිදාගන්නා ඕනෑම මොහොතක ඒ අන්ධකාරය මා සොයා එන්නේ කෙසේදැයි පළමු වතාවට මම පුදුමයට පත් වූයෙමි. එහෙත් ඒ ක්ෂණයකින් නින්ද මා කරා ආ බැවින් සියල්ල නිශ්චල විය. අද්භූත මාලිගාවෙන් කඩාගෙන ආ දීප්තිමත් කැනස් මල් පොකුරත් පපුවට තුරුලු කරගත් මා ගැඹුරු නින්දකට වැටුනෙමි.
--------------------------
තීර්ෂා නිම්නයට රාත්‍රිය උදාවන විට අද්භූත මාලිගාවට උදෑසන එළඹිණි. මාලිගයේ උඩු මහලේ තම සුවබර යහන මත තද නින්දට වැටී හුන් කඩවසම් තරුණයා අවදි වූයේ දේදුනු පැහැති කුරුලු රංචුවකගේ මිහිරි ගී හඬිනි. ප්‍රථමයෙන් ඔහුගේ දෑස් පුදුමයෙන් හැකිළිණි. පසුව ඔහු යහන මත වාඩි වී කුරුලු නාදයට හොඳින් සවන් යොමු කළේය. ඉන්පසු වහ වහා ඇඳෙන් බැස ජනේලය අසලට ගොස් පලතුරු ගසක් මත වාඩි වී සිටින කුරුල්ලන් දෙස මොහොතක් බලා සිටියේය.
“මේ මොන විකාර සත්තු ජාතියක්ද ?” තරුණයා නපුරු ලෙස තමාට ම කියා ගත්තේය. කාමරයේ විශාල කන්ණාඩිය අසළ එල්ලා තිබූ කැටපෝලය සහ රවුම් ගල් කිහිපයක් අතට ගත් ඔහු යළි ජනේලය අසලට ගොස් මිහිරි ගී ගයන කුරුල්ලන් දෙසට එය මෑනුවේය. කුරුළු රෑන එක්වරම පියඹාගෙන ගොස් ගේට්ටුව මත වැසූයෙන් තරුණයා එල්ල කළ ප්‍රහාරය ඉබේට ම වැළකී ගියේ ඔහුව කෝපයට පත්කරවමිනි. එහෙත් ඊ ළඟ නිමේෂයේ ඔහු ගල්ගැසී ගියේ පොළව මත සටහන්ව තිබූ යමක් දැකීමෙනි. ඔහු වේගයෙන් පඩිපෙල බැසගෙන ගොස් ගේට්ටුව විවර කළේය.
“මේවා කාගේද ?” පොළවට නැඹුරු වූ ඔහු බිම තිබූ අඩි සටහන් පිරික්සමින් තනිවම කියාගත්තේය. ඔහුගේ දීප්තිමත් දෑස් පුදුමයෙන් බර වූයේ එම පියවර පැමිණ තිබුණේත්, ආපසු ගොස් තිබුණේත් රළු තැනිතලාව දෙසින් බැව් දැකීමෙන්ය. ඉන්පසු ඔහුගේ පුදුමයට පත් දෑස් යොමු වූයේ දේදුනු පැහැ වතුර ගලා යන දොළ පාර වෙතටය.
“මේ මොන විකාරයක්ද ?” තරුණයා දොල පාර අසලට දිව ගොස් දෝතින් ම හිස බදාගෙන කීවේය.
“මේ මොනවද සිද්ධ වෙන්නේ ? කව්ද මගේ වතුරට මෙහෙම කළේ ?” ඔහු දේදුනු පැහැති වතුරට අත දමා බලමින් කියාගත්තේ කලබලයෙනි. ඒ සමඟ ම පොඩි වූ, අතු කැඩුනු බෙරි පඳුරු සහ මල් අඩු වූ කැනස් පැල දෙසත් ඔහු මාරුවෙන් මාරුවට බැලුවේය. යළි පියවර සටහන් දෙස බැලූ ඔහු කේන්තියෙන් දිදුලන දෑසින් යුතුව රළු තැනිතලාව දෙසට දැඩි බැල්මක් හෙලුවේය.
මාලිගාව තුලට ගිය තරුණයා විනාඩි කිහිපයකින් සූදානම් වී පිටතට ආවේ බඳ පටියේ රුවා ගත් කැටපෝලයත්, පිස්තෝලයකුත් සමඟය. දොළ පාර අයින දිගේ වැටී ඇති පියවර සටහන් ඔස්සේ ඔහු දිගට ම ඇවිදගෙන යන්නට වූයේ ඉමහත් කෝපයෙනි. ඔහුගේ ඝණ සපත්තු යුවලට තැනිතලාවේ රළු බව නොදැනෙන්නට ඇත. සිරුර ම හොඳින් වැසෙන සේ ඇඳ සිටි කලු කබාය නිසා අව් රශ්මියෙන් ඔහුට පීඩා නොවෙන්නට ඇත. පැයක පමණ කාලයක් ගත විය. ඔහු හුන් තැනම ගල් ගැසුනේ ඈතින් පෙනෙන්නට වූ අන්ධකාරය දැකීමෙනි. එය සිදු වන්නේ කෙසේද ? තැනිතලාවේ මේ පස හිරුගේ ආලෝකයෙන් බැබලෙන විට අනෙක් පස ඇත්තේ අන්ධකාරයෙන් පිරි අහසයි. ඒ අහසේ තරු පායා සඳ බැබලෙමින් තිබේ. ඔහු වේගයෙන් හුස්ම ගනිමින් සැලුන දෑසින් යුතුව ඒ දෙසට හෙමින් පියවර තැබුවේය. ඒ අතර තම පිස්තෝලය අසලට ඔහුගේ අත ඉබේට ම යොමු වී තිබිණි. ඔහු කල්පනාකාරීව අන්ධකාරයේ සීමාව අසලට පැමිණ විමසිලිමත් දෑසින් අවට බැලුවේය. තැනිතලාව පුරා පිපී තිබූ මල් වල සුවඳ ඔහුගේ නැහැය අතරින් රිංගාගෙන ගොස් ඔහුගේ පෙණහළු කුල්මත් කළේය. කුමක්දෝ තේරුම්ගත නොහැකි දෙයක් විසින් තමුන්ව ඒ දෙසට ආකර්ෂණය කරගන්නට උත්සා හදරන බවක් ඔහුට දැනිණි. ඔහුට එය මඟ හරින්නට වුවමනා විය. එහෙත් ඔහුගේ දෙපා ඔහුට ම නතු නොවූ සේ ඔහුව ආලෝකයෙන් අන්ධකාරය තුලට තල්ලු කර දැමුවේය. තැනිතලාවේ මල් අතරින් ඔහු දිගට ම ගමන් කළේය. යා යුතු නිවැරදි දිශාව දැන සිටියාක් මෙන් ඔහු එක එල්ලේ විශ්වාසයෙන් ගමන් කළේය. අවසානයේ ඒ කුඩා පැල්පත හමුවන තෙක් ඔහු ගමන් කළේය. ඔහු අනවසරයෙන් ම ඒ පැල්පත තුලට ඇතුල් විය.
පැල්පත තුළට හා ඉන් පිටතට නොනැවතී පියාඹමින් සිටින දේදුනු පැහැ කණාමැදිරියන් නොවෙන්නට එය අන්ධකාරයේ ගිලී යනු නොඅනුමානය. එහෙත් සිය ගණනක කණාමැදිරි එළියෙන් ඔහු පැල්පත තුල නිදා සිටින තරුණියව දුටුවේය. ඈ දුටු ඔහු එක්වරම ගල් ගැසුණේය. ඇගේ පපුව මැද දීප්තිමත්ව බබලන කැනස් මල් පොකුර දෙසත් කණාමැදිරි එළියෙන් දිලිසෙන තොල්පෙති දෙසත් ඔහු මාරුවෙන් මාරුවට බැලුවේ ගැහෙන හදවතින් යුක්තවය. ඇගේ අවිහිංසකව පියවුනු දෑසත්, ඝණ ඇහි පිහාටුත්, සිහින් ඇහි බැමත් ඔහුගේ සිත් ගත්තේය. උරහිසෙන් මඳක් පහලට වැටෙන කැරලි කොණ්ඩයත්, ප්‍රාණවත් දෙකම්මුලත් ඇගේ සුන්දරත්වය වඩාත් ඉස්මතු කළේය. තරුණයාගේ පපුව අන් කවරදාකටවත් වඩා වේගයෙන් ගැහෙමින් තිබිණි. තරුණිය කෙරෙන් දෑස් ඉවත් කරගැනීමට නොහැකිව ඔහු බොහෝ වේලාවක් ඈ අසල සිටගෙන සිටියේය. කාලය ගත වනු ඔහුට දැනුණේ නැත. ඇයව අවදි කිරීමට ඔහු සිතුවේ ද නැත. උදෑසන එළඹී ඈ අවදි වනු තුරු ඔහු ඉවසීමෙන් බලා සිටියේය.
Comments
Post a Comment