දිවා සඳ (Mid Day Moon) - 02
දිවා සඳ (Mid Day Moon) - 01
[මා නිදනා විට ඔහු අවදියෙනි]
©උපුටා ගැනීම තහනම්
එදින මා නින්දෙන් අවදි වන විට අමුතු හැඟීමකින් මුලු ආත්මය ම පිරී ගොස් තිබිණි. එම වෙනසට හේතුව මා මින් පෙර දැන නොසිටි අමුත්තාගේ ආගමනය ද ? මා යන්තමට දෑස් හරින විට මුලින් ම පෙනුනේ ඔහුගේ කලු කබායේ ඡායාවයි. මම ගැස්සෙමින් ඇඳ මත වාඩි වුනේ ඔහු දෙස සැලෙන දෑසින් බලමිනි. මා ඔහුට බිය වූ බව සැබෑය. එහෙත් ඔහු බෙහෙවින් ආකර්ෂණීය බව මට ඉඳුරා කිව හැක. මා දෙස යොමු වී තිබූ ඔහුගේ දෑසේ බැල්ම මගේ හදවත සසල කළේය. ඔහුගේ රුව ඇස ගැටී ගත වුනේ තත්පර කීපයක් වුවද ඒ කාලය ඇතුළත මා ඔහුට වශී වී හමාරය. මා ගල්ගැසී බලා සිටින ඔහු තමන්ගේ උගුර පෑදුවේය.
“ඔයා.... කව්ද ?” ඔහු අපහසුවෙන් මෙන් ඇසූ පළමු පැණය එය විය.
“ඔයා කව්ද ?” මා පෙරලා ඇසුවෙමි. ඔහු දෑස් කුඩා කර මා දෙස බැලුවේය.
“මුලින් ඔයා කියන්න...” ඔහු කීවේය.
“ඔයානේ මුලින් ම මගේ ගේ ඇතුළට අනවසරයෙන් ආවේ. ඒ නිසා ඔයා කියන්න...”
“මොනවා ? මම නෙවෙයි ඔයා තමයි මුලින් ම මගේ මාලිගාව ළඟට අනවසරයෙන් ආවේ. ඔයා තමයි මගේ මල්, පලතුරු කඩලා වතුරට විෂ කලවම් කළේ....” ඔහු කෝපයට පත් වූවෙකු මෙන් උස් හඬින් කීවේය.
“මොකක් ?” මම ක්ෂණිකව මගේ දෙපා මතින් සිටගතිමි. එසේ නම් ඒ මාලිගාවේ හිමිකරු මොහුය. එහෙත් වතුරට විෂ කලවම් කළා යැයි ඔහු පවසන දෙයෙහි අර්ථය කුමක්ද ?
“මම... මල්, පලතුරු කඩපු බව ඇත්ත. ඒත්... මම ඔයාගේ වතුරට කිසිම දෙයක් කළේ නෑ...”
“මට ඔයාව විශ්වාස නෑ. ඔයා ඇවිත් ගියාට පස්සේ හැමදේම වෙනස් වෙලා.” ඔහු පැවසූ දේ අසා මම පුදුම වීමි.
“කරුණාකරලා, මාව විශ්වාස කරන්න. බඩගින්නට පලතුරු කෑවට, හිතේ ඇතිවුන ආසාවට මේ ලස්සන මල් කීපය කඩාගත්තාට මම ඔයාගේ වතුරට කිසිම දෙයක් කළේ නෑ.” මා කී දේ අසා ඔහු නළල රැලිකරගත්තේය. සුලු මොහොතක් කල්පනා කළ ඔහු මා දෙස බැලුවේය.
“ඔයා සහතික වෙනවද වතුරට අතවත් නොතිබ්බ බව...?” ඔහු ඇසූ දෙයින් මගේ තොලකට පවා වියලී ගියේය.
“මට... එහෙම සහතික වෙන්න බෑ. මම... ඔයාගේ දොල පාරෙන් වතුර බිවුවා...” මම සෙමින් කීවෙමි.
“ඒ කියන්නේ ඔයා මගේ වතුරට අත තිබ්බා....” ඔහු අසන විට මම එය සත්‍ය බව හඟවන්නට සෙමින් හිස සැලුවෙමි.
“ඔයා මායාකාරියක් ද ?” ඔහු පුදුමයෙන් ඇසුවේය.
“නෑ. ඇයි එහෙම අහන්නේ ? මම ඇවිත් ගියාට පස්සේ එහේ මොනවද වෙනස් වුනේ ?”
“ඒ දේවල් ගැන කතාකරන්න කලින් ඔයා මට කියන්න ඔයා ඇත්තටම කව්ද කියලා ?”
“මම ? මම... මම....”
“ඔව්... කියන්න...” ඔහු නොඉවසිල්ලෙන් කීවේය.
“මම....”
ඇත්තට ම මම කව්ද ? මා ඒ ගැන මින් පෙර නොසිතා තිබුණේ මන්ද
“මම මමමයි...” මා එසේ කී විට ඔහු මහ හඬින් සිනාසුණේය.
“මේ අහන්න. හොඳ හිතින් මට ඇත්ත කියන්න. ඔයාගේ ඔය අහිංසකකමටවත් ලස්සන රූපයටවත් මාව රවට්ටගන්න බැරි බව තේරුම් ගන්න...” ඔහු කී දෙයින් මගේ හදවත යලි ගැස්සිණි. ඔහු කීවේ මා ලස්සන බවද ?
“මං... මං... තීර්ෂා...” මා තැනිතලාව දෙස බලමින් කීවේ ඔහු තැනිතලාවේ නම දන්නවා ඇත්දෝ යන සැකයද සිතේ ඇතිවයි.
“තීර්ෂා.... ඒකද ඔයාගේ නම ?”
“ඔව්... ඒක තමයි....”
“හරි, ඒත් මට ඔයාගේ නමෙන් වැඩක් නෑ. මට කියන්න ඔයා මොනවා කරන කෙනෙක්ද ?”
“මම... මොකුත් කරන්නේ නෑ...” මා පුදුමයෙන් කීමි. ඔහු යළි මහ හඬින් සිනාසෙන්නට විය. ඉන්පසු සිනාව නතර කළ ඔහු තරහින් මෙන් තම බඳ පටියේ ගසාගෙන සිටි පිස්තෝලයක් එළියට ඇද මගේ හිස මතින් තැබුවේය. මම බියෙන් ගැහෙමින් දෑස් තද කර වසා ගතිමි.
“දැන්වත්... ඇත්ත කතා කරනවා. නැත්නම් මේකේ උණ්ඩ ටික තමුන්ගේ ඔලුවට බහියි....”
“අනේ... මම කියන්නේ ඇත්ත...” මම හඬාවැටෙමින් කීවෙමි.
“තමුන් මායාකාරියක්. එහෙම නේද ? නැත්නම් කොහොමද මගේ මාලිගාවට හොඳට ඉර එළිය වැටෙනකොට තමුන්ගේ ලෝකය අඳුරු වෙලා තියෙන්නේ ?” ඔහු කී දෙයින් මා පුදුම වීමි.
“මං... මං දන්නේ නෑ. ඊයේ මේ තැනිතලාවට ඉර පායලා තියෙද්දි ඔයාගේ මාලිගාවට අඳුර වැටිලා තිබුණා. ඒත්, සත්තකින් ම... මම දන්නේ නෑ ඒකට හේතුව...” මම කී දේ අසා ඔහු මඳක් මෙල්ල විය. ඔහු පිස්තෝලය යලි බඳපටියේ ගසාගත්තේය.
“ඔයා කියන දේ ඇත්තක් නම්, මේ වෙද්දි මගේ මාලිගාවට අඳුර වැටිලා තියෙන්න ඕනා.” ඔහු කී දේ අනුමත කරන්නට මම හිස සැලීමි.
“යමු...” ඔහු කී විට මම යලි පුදුමයට පත් වූයෙමි.
“කොහේද ?”
“මගේ මාලිගාවට.... මට බලන්න ඕනා ඔයා කියපු දේ ඇත්තක්ද කියලා....” තරුණයා කී දේ මම හිස සලා පිලිගතිමි. ඉන්පසු මා නිහඬව ම ඔහු පසුපසින් වැටුනෙමි. තැනිතලාව මතින් දිගු වේලාවක් ඇවිද ගිය පසු ඈතින් අන්ධකාරයේ රේඛාව දිස්වන්නට විය. තරුණයා පුදුමයෙන් මා දෙස බැලුවේය.
“ඔයා හරි...” ඔහු කී විට මා කිසිවක් නොකියා තනිවම සිනාසුනෙමි.
“ඔයා මේ ගැන හිතන්නේ හරිම සැහැල්ලුවෙන්. නේද ?” මගේ මුහුණේ ඇති ප්‍රීතිය දැකීමෙන් පුදුමයට පත් වූ ඔහු ඇසුවේය.
“මම මේ ගැන හිතන්නේ සැහැල්ලුවෙන්ද ? මම දන්නේ නෑ. ඒත් මම එක දෙයක් දන්නවා. මේ තැනිතලාවේ මම ගත කරපු ලස්සනම දවස අද...” මම කී විට ඔහු සිටිවන ම නතරව පුදුමයෙන් මගේ මුහුණ දෙස බලා සිටියේය. ඉන්පසු කිසිවක් නොකී ඔහු යලි ගමන ආරම්භ කළේය. මා සුපුරුදු ලෙස ඔහු පස්සෙන් වැටුනෙමි. අන්ධකාරයෙන් වැසුනු රළු බිමට ඇතුල් වූ පසු පාවහන් නොමැති මගේ දෙපා යන්තම් රිදුම් දෙන්නට විය. සපත්තු පැළඳ සිටි තරුණයා වේගයෙන් ඇවිද යන විට මගේ ගමන අඩාල වූ අතර ඔහු වරින් වර නතරව මා එනතුරු බලා සිටියේය.
“මේ බලන්න. මේ විකාර පාට දිහා...” සුලු මොහොතකින් දිස් වුනු දේදුනු පැහැති දොල පාර පෙන්වමින් ඔහු කීවේය.
“ඕක ඊයෙත් තිබුනේ ඔහොමමයි...” මම කීමි.
“ඔයා දොල පාරෙන් වතුර බිවුවාට පස්සේ තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ ඔයා මායාකාරියක් ම තමයි... අද උදේ මම කවදාවත් දැකලා නොතිබුණ ජාතියේ කුරුල්ලන් වගයක් මාලිගාව ඉස්සරහා උන්නා. උන්ව එව්වෙත් ඔයාද ?”
“ඔයා කියන කිසිම දෙයක් මම දන්නේ නෑ. ඒ නිසා ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න විධියක් නෑ. මම මායාකාරියක් නෙවෙයි කියලා විතරක් මට කියන්න පුලුවන්...” මම මඳක් තරහෙන් කීවෙමි. ඉන්පසු දොල පාර අසලට ගිය මා ඉන් දිය දෝතක් බීවෙමි. තරුණයා කිසිවක් නොකියා පුදුමයෙන් මා දෙස බලා සිටියේය.
“ඒකේ කිසිම විසක් නෑ... ඔයත් බීලා බලන්න.” මා කීවෙමි.
“ඕන නෑ. ඔයාට විෂ නොවුනාට මට විෂ වේවි...”
“විකාර.... ඔයා තෙහෙට්ටු වෙලා ඉන්න බව පේනවා. ඔයා අන්තිමට වතුර බිවුවේ කොයි වෙලාවේද ?”
“අද උදේ, මාලිගාව ඇතුලේ කෙණ්ඩියෙන්... හොඳ වෙලාවට තමුන් මගේ දොල පාර විෂගන්වන්න කලින් ගත්ත වතුර ටිකක් තවමත් මාලිගාව ඇතුලේ ඉතිරි වෙලා තියෙනවා.” ඔහු එසේ කියමින් මාලිගාවේ ගේට්ටුව විවර කළේය. මා කුතුහලයෙන් වටපිට බලමින් ඔහු පසුපසින් ඇදුනෙමි. මාලිගාවේ විසල් දොර විවර කරගත් ඔහු මා ද කැටුව ඒ තුලට ගියේය. මාලිගාව ඇතුලත තැන් තැන්වල දැල්වී ඇති විදුලි පහන්වලින් එය ආලෝකමත්ව තිබිණි. විශාල සාලාවක් මැදින් ගිය තරුණයා වෙනත් විශාල කාමරයකට ඇතුල් විය. සුවිසල් කෑම මේසයකින් සමන්විතව තිබුණු එය කෑම කාමරය විය යුතු යැයි අනුමාන කළෙමි. මේසය මත තිබූ ජෝගුවෙන් වීදුරුවකට වතුර වත්කරගත් ඔහු එය බීගෙන බීගෙන ගියේය.
“මෙහේ තව කව්ද ඉන්නේ ?” විශාල කෑම මේසය දෙස බලමින් මා ඇසුවෙමි.
“මම විතරයි....” කෙටියෙන් පිළිතුරු දුන් ඔහු මා පසුකර යළි විශාල ශාලාව දෙසට ගියේය. මම කුතුහලයෙන් ඔහු පසුපස වේගයෙන් ගියේ ඔහුත් මාත් අතර ඇති වූ පරතරය අඩු කර ගැනීමට සිතාය.
“දැන් මගේ පස්සෙන් එන එක නතර කරන්න. ඔයාට පුලුවන් අර කාමරයට ගිහින් විවේක ගන්න....” ඔහු හැරී විශාල කාමරයකට අත දිගු කර පෙන්වා කීවේය. මම චකිතයෙන් ඒ දෙස බැලුවෙමි.
“මට ඔයා ළඟින් ඉන්න දෙන්න....” නුපුරුදු අද්භූත මාලිගාව ගැන හිත යට හොල්මන් කරන අමුතු චකිතය නිසාවෙන් මා කීමි. ඔහු දෑස් කුඩා කර මා දෙස බැලුවේය.
“මට ඒක කරන්න බෑ. මම සාමාන්‍යයෙන් ඉන්නේ තනියමයි...”
“අනේ... හෙට උදේ වෙනකල් විතරක්වත්...” මම බැගෑපත් වීමි.
“ඔයාට දෙයක් අමතක වෙලා...”
“මොකක්ද ?”
“ඔයාට දැනටමත් උදේ වෙලා. මේ රෑ මට මිසක් ඔයාට නෙවෙයි...” ඔහු පවසන දෙයෙහි සත්‍යතාවයක් ඇත.
“ඒත්, දැන් මම ඉන්නේ ඔයා ළඟයි. මේ රෑ මටත් අයිතියි...” මම කී දෙයින් ඔහු සසල වූ බවක් පෙනිණි.
“ඔයා මගේ කාමරයේ රැය ගත කරනවාට මම කැමති නෑ.”
“ඇයි ?”
“ඒක ගෑණු ළමයෙකුට සුදුසු දෙයක් නෙවෙයි....”
“මට ඒක ප්‍රශ්නයක් නෑ...”
“තීර්ෂා...” ඔහු සැරෙන් කීවේය.
“අර කාමරයට යන්න.... දැන්ම....” ඔහු මට කලින් පෙන්වූ කාමර ම නැවත පෙන්වමින් කෝපයෙන් කීවේය. මම බිම බලාගෙන දුකෙන් සහ චකිතයෙන් පිරි හදවතින් යුතුව ඔහු කී කාමරය වෙත පිය මැන්නෙමි. කාමරයේ දොර අසලට ගොස් යලි ඔහු දෙස හැරී බලන විට ඔහු මා දෙස බලා සිටින බැව් දුටුවෙමි. ඔහු මගෙන් දෑස් සඟවගන්නට පෙර ඒ ඇස්වල සටහන්ව තිබූ සන්තාපය මා දුටුවෙමි. ඔහු ශෝක වන්නේ මට නපුරු වූ නිසාද ? එසේ නම් මා ආයාචනාත්මක දෑසින් ඔහු දෙස බලා සිටින විටත් ඔහු එය නොදැක්කා සේ මා මඟ හැර ගියේ කෙසේද ?
Comments
Post a Comment