දිවා සඳ (Mid Day Moon) - 03


දිවා සඳ (Mid Day Moon) - 03
[මා නිදනා විට ඔහු අවදියෙනි]

©උපුටා ගැනීම තහනම් 

අද්භූත මාලිගයේ නුහුරු කාමරයක තනි වූ මා චකිතයෙන් යුතුව ම එහි වූ සුවපහසු යහන මත දිගා වූයෙමි. තරුණයා කී දේ සැබෑවකි. මේ රෑ මට අයිති නැත. එබැවින්දෝ නිදිමතක සේයාවක්වත් මට දැනුණේ නැත. සුලු මොහොතකින් යහනින් බිමට බට මා විශාල ශාලාවට ගියෙමි. එහි තැනින් තැන ඇති දොරටු අතරින් තරුණයාගේ නිදන කාමරයට යා යුතු දොර කුමක් විය හැකිද ? මා එක් දොරක් අසලට ගොස් මඳක් පසුබෑවෙමි. මා මේ යත්න දරන්නේ කුමකටද ? පැය කීපයකට පෙර මුණගැසුනු තරුණයෙකුගේ නිදන කාමරය මා සොයන්නේ කෙබඳු අරමුණක් උදෙසාද ? මා කෙතරම් නින්දිත ද ? මා වහ වහා මාලිගයේ පිටවන දොරටුව අසලට ගියෙමි. පුදුමයකි... එය අගුළු ලා නැත. මා දොර විවර කර මාලිගයෙන් පිටතට බැස ගේට්ටුව වෙත දිව ගියෙමි. එය ද අගුළුලා නොමැත. මා නතර නොවී දොල පාර දිගේ ගමන් කර සුවඳ මලින් වැසුනු මගේ තීර්ෂා නිම්නයට සේන්දු වූයෙමි. මා සතුටු විය යුතුය. මේ මා අයිති තැනයි. මේ මගේ නිවහනයි... එහෙත් මගේ ආත්මයේ කොටසක් දමා යන්නාක් බඳු හැඟීමකින් මගේ යටි හිත පීඩා විඳින්නට විය. මම මලානික දෙපාවලින් මගේ පුංචි පැල්පත වෙත සේන්දු වූයෙමි. හදවත කෙතරම් බරව තිබුනේද කියනවා නම් මා මුල් වතාවට මධ්‍යහ්නයේ යහන මතට වැටී දෑස් වසා ගත්තෙමි. නින්ද හෝ අන්ධකාරය මා වෙත පැමිණියේ කොයි මොහොතේදැයි නොදන්නෙමි. මා දෙවෙනි වතාවටත් සිහිනයක් දකිමින් සිටියෙමි. එම සිහිනය පෙර පරිදි ම විය. වෙනසකට තිබුණා නම් ඒ මගේ මුහුණේ සවිකර තිබූ උපකරණය ගලවා තිබීමයි.

“තීර්ෂා... මගේ මැණික. දැන් ඔයාට හොඳයි...” මා අසල හුන් සුපුරුදු ගැහැණිය මා දෙස බලා සිනාසෙමින් කීවාය. ඇගේ දෑස්වල සතුටු කඳුලු පෙනෙන්නට විය. මම පුදුමයෙන් අවට බැලීමි. ශරීරයේ ගසා තිබූ බට සංඛ්‍යාව ඒ වන විට අඩුවී තිබුණි. මා අසල හුන් ගැහැණිය නැවී මගේ නළලත සිපගත්තාය. ඒ ස්පර්ශයෙන් දැනුණු අමුතු හැඟීමකින් මගේ හදවත පිරී යන විට මම අවදි වූයෙමි.

මම පුදුමයට පත් වූයේ මගේ සිරුරට දැනෙන ගැස්මත් ඇස්වලට දැනෙන අපහසුතාවයත් නිසාය. මා ගැස්සෙන්නේ කවුරුන් හෝ මා ඔසවාගෙන යමින් සිටින බැවිනි. දෑස් රිදෙන්නේ අහසේ අව් රශ්මිය වැදීමෙනි. මා පුදුමයෙන් මා ඔසවාගෙන යමින් සිටින කෙනා දෙස බැලුවෙමි. ඒ අද්භූත මාලිගාවේ අද්භූත තරුණයාය.

“ඔයා මොකද මේ කරන්නේ ?” මා ගැහෙන හඬින් ඇසුවෙමි.

“ඔයාව මගෙ ලෝකෙට අරගෙන ආවා...” 

“ඔයාගේ ලෝකෙට ?”

“ඔව්, මම ඔයාව මගේ මාලිගාවට අරගෙන යනවා...”

“ඒත් ඇයි ? ඔයා මට කැමති නෑනේ...” මා පුදුමයෙන් කී විට ඔහු මා දෙස බලා තනිවම සිනාසෙන්නට විය.

“ඇයි ඔයා හිතන්නේ මම ඔයාට කැමති නෑ කියලා ?”

“ඒ කියන්නේ, ඔයා මට කැමතිද ?” මා දෑස් ලොකු කර බලමින් ඇසුවෙමි. ඔහු යලි සිනාසුනේය.

“මම ඔයාට අකමැති නෑ කියන එකේ තේරුම මම ඔයාට කැමතියි කියන එක නෙවෙයි. හැබැයි එකක් මතක තියාගන්න. මම කැමති නෑ ඔයා මට හොරෙන් මාලිගාවෙන් පිට වෙලා යන එකට. මම කැමතියි ඔයා හැමදාම මාලිගාවේ ඉන්නවා නම්...”

“හැමදාම ?” මා පුදුමයෙන් ඇසීමි. ඔහු මා බිම තබා මගේ දෑස් දෙස බලා සිටියේය. ඒ දෑස් තුලින් මට පෙනෙන හැඟීම ගැන මා පුදුමයට පත් වීමි. සැබවින්ම, ඔහුගේ දෑස් ස්නේහයෙන් පිරී ඇත. ඔහු මා දෙස ආදරයෙන් බලා සිටින විට මා ද ඔහුගේ දෑස් තුල අතරමංව බලා සිටියෙමි.

“යමු...” එක්වරම තම හැඟීම වෙනස්කරගත්තෙකු මෙන් ඔහු හැරුණේය. 

“හ්ම්...” මා නිහඬව ඔහු පස්සේ වැටුනෙමි. මම ආපසු හැරී ඈතින් පේන තීර්ෂා නිම්නය දෙස වරක් බැලුවෙමි. එහි පායා ඇති සඳ මම පලමු වතාවට දුටුවෙමි. එය රළු තැනිතලාවට පායන හඳට වඩා සුන්දර යැයි මට සිතිණි. 
රළු පොලව මගේ දෙපා රිදවන විට මගේ ගමන අඩාල විය. තරුණයා එය දැක මා අසලට පැමිණ මා ඔසවාගත්තේය. මම පුදුමයෙන් ඔහු දෙස බලා සිටියෙමි. තැනිතලාව හරහා හමා එන සුලඟ ඔහුගේ හිසකෙස් එහේ මෙහේ විසුරුවා දැමීය. ඔහු සෘජුව ඉදිරිය බලාගෙන ඇවිද යන අතරතුර මා ඔහුගේ මුහුණින් මගේ දෑස් ඉවත්කරගැනීමට අපොහොසත්ව බලා සිටියෙමි.

“ඔයා කිව්වා හරි...” ඔහු මාලිගාවේ ගේට්ටුව අසලින් මා බිම තබන අතර කීවේය. 

“දොළ පාරේ වතුර විෂ වෙලා නෑ...” ඔහු හිසින් දොල පාර දක්වමින් කියන විට මා ඒ දෙස හැරී බැලුවෙමි. සුදු පාට ගෝනුන් රංචුවක් දොල පහරේ වතුර බොමින් සිටියහ.

“අනේ... හරිම හුරතල්...” මා ආශාවෙන් සිනාසී කීවෙමි. ඒ සමඟ ම තරුණයා තම බඳ පටියෙන් පිස්තෝලය පිටතට අදිනු මා දුටුවෙමි.

“එපා...” තරුණයා තුවක්කුව ගෝනුන් දෙසට මානන විට මා කෑ ගසමින් ඔහුගේ අතේ එල්ලුනෙමි. 

“පිස්සුද ? තව පොඞ්ඩෙන් ඔයාට වෙඩි වදිනවා...” තරුණයා කෝපයෙන් කෑ ගැසුවේය.

“ඉතින්, මොකද ? ගෝනෙකුට වෙඩි වැදුනත් එකයි, මට වැදුනත් එකයි...” මම ද ඔහුට නොදෙවෙනිව කෑ ගැසුවෙමි.

“කොහොමද ඒ දෙක එකක් වෙන්නේ ? සත්තු ඉන්නේ අපිට කන්නයි. ඔයාට වෙඩි වැදුනා නම් මට මොකද වෙන්නේ ?” ඔහු අවසානයට බියෙන් මෙන් කී දෙයින් මගේ හදවත සසල විය.

“මට වෙඩි වැදුනා නම් ?” මා ඇසුවෙමි. ඔහු සැලෙන දෑසින් යුතුව ගොලුවතින් මා දෙස බලා සිටියේය. ඒ මොහොතේ මගේ හදවතේ ප්‍රථම වතාවට ඔහු කෙරේ සෙනෙහසක් මෝදු විය. 

“යමු...” එවර මාලිගාව දෙසට ඉස්සර වූයේ මම ය. තරුණයා කිසිවක් නොකියා මා පසුපස ආවේය. 

“අදින් පස්සේ ඔයා කන්නේ පලතුරු...” මම අවවාදාත්මක ස්වරයෙන් කීමි.

මාලිගාවෙන් කූඩයක් රැගෙන ගෙවත්තට ආ මා පලතුරු කඩන්නට උත්සාහ කළෙමි. එහෙත් මා ක්ලාන්ත වී තණගොල්ලේ ඇද වැටෙනු මතකය. යළි දෑස් විවර කරන විට සිටියේ මාලිගයේ කාමරයක යහන මතය. තරුණයා ඇඳ අසල පුටුවක වාඩි වී මා දෙස බලා සිටියේය.

“මොකද වුනේ ?” මා නැගිට වටපිට බලමින් පුදුමයෙන් ඇසුවෙමි.

“මම දන්නේ නෑ...” තරුණයා සැනසුම් සුසුමක් හෙලමින් මට වතුර වීදුරුවක් දිගු කළේය.

“මෙහාට රෑ වෙලා...” මම ජනේලයෙන් පිටත බලා පුදුමයෙන් කීමි.

“ඔව්... ඔයා ගොඩක් වෙලා සිහිය නැතිව උන්නා...” 

“නෑ. මට නින්ද යන්න ඇති. මොකද, මම මෙහෙට අයිති කෙනෙක් නෙවෙයි. මම ඔයා එක්ක මෙහෙට එද්දි මගේ රැය අවසන් වෙලා තිබුණේ නෑ.” මා සෙමින් කීවෙමි. තරුණයාගේ දෑස් යලි වතාවක් සසල විය. 

“දැන් ඔයාගේ රැය උදා වෙලා. යන්න... ගිහින් නිදාගන්න...” මම බිම බලාගෙන සෙමින් කීවෙමි. තරුණයා කිසිවක් නොකියා ජනේලයෙන් පිටත අඳුර දෙස ශෝකයෙන් බැලුවේය.

“මට නිදිමත නෑ...” ඔහු ජනේල පියන්පත් වසමින් කීවේ ස්ථිර හඬකිනි. එහෙත් එය සත්‍ය නොවන බැව් මා දැන සිටියෙමි.

“යමු...” ඔහු මා දෙස බලා කීවේය.

“ඒ පාර කොහෙද යන්නේ ?” 

“ඔයාගේ ලෝකයට....” තරුණයා මා ඇදගෙන යමින් කීවේය.

මාලිගයෙන් පිටතට ගොස් නතර වූ ඔහු කීප වරක් සිවුරුහන් කළේය. මඳ වේලාවකින් එතනට පැමිණියේ කලු පාට අශ්වයෙකි. මා ආශාවෙන් උගේ හිස අතගෑවෙමි. 

“එයා ඔයාට කැමතියි වගේ...” තරුණයා යන්තම් සිනාසී කීවේය. 
එදින රළු භූමිය තරණය කිරීම වෙනදා මෙන් අපහසු නොවූයේ කලු අශ්වයා අප රැගෙන ගිය බැවිනි. රළු නිම්නයේ අන්ධකාරය අතරින් තීර්ෂා නිම්නයේ ආලෝකය අතරට පැන්න අශ්වයා සිසිල් සුලං කපාගෙන වේගයෙන් ඉදිරියට දිව ගියේය. මා පසුපසින් මගේ සිරුරට දැනෙන ඔහුගේ උණුසුම නිසා සිසිල් සුලඟ මට පීඩාවක් වූයේ නැත. එදා මා භයානක සිහිනය නොදුටුවා නම් ? මා තීර්ෂා නිම්නයේ කෙළවර සොයා නොගියා නම් ? මොහු මට කිසිදා මුණ නොගැසෙනු ඇත. ඒ ගැන සිතන්නත් මා බිය වූයෙමි. දැන් මට ඔහුගෙන් තොර ලොවක් නැත.

----------------------------------------------------------
ඒ තීර්ෂාගේ පළමු සුන්දරත ම දහවලයි. ඇය තරුණයා සහ ඔහුගේ අශ්වයා සමඟ කෙලි දෙලෙන් දවස ගත කළාය. ඇගේ සුරතල් හා පැටවුන් සහ මුව පැටවුන් ද, දේදුනු පැහැ කුරුල්ලන් සහ මාලුවන් ද ඒ අතරට එක් වූහ. සවස් වන විට තෙහෙට්ටුවට පත් වූ තරුණයා සහ ඔහුගේ අශ්වයා තීර්ෂා නිම්නයේ සුන්දර තණගොල්ලක් මත වැතිර සුවසේ නිදා ගත්හ. සැන්දෑ හිරු කිරණ තරුණයාගේ මුහුණ මත පතිත වන තුරුත් තීර්ෂා ඔහු දෙස ආදරයෙන් බලා සිටියාය. ඉන්පසු ඇගේ දෑස් අඩවන් වන්නට විය. ඇය සෙමින් තරුණයා අසලට කිට්ටු වී ඔහුගේ පපුව මත හිස තබාගෙන දෑස් වසාගත්තාය.

“එයාට ආයෙත් සිහිය එනවා....” තීර්ෂාගේ සවන් අතර කාගේදෝ පිරිමි හඬක් රැඳෙන්නට විය. ඒ අතර සැර බෙහෙත් ගඳක් දැනෙන්නට වූ අතර ‘බීප් බීප්’ අනුකරණයෙන් යන්ත්‍රාණුසාර හඬක් ද ඇසෙන්නට විය. ඇය දෑස් විවර කරන්නට යත්න දැරුවාය. එහෙත් තමන් දෑස් විවර කරන්නට තැත් කරන විට තරුණයාගේ උණුසුම තමාගෙන් ඈත්ව යන බැව් තීර්ෂා වටහාගත්තාය. ඇයට දකින්නට අවැසි වූයේ ඔහුවය. එහෙත් දෑස් විවර කළොත් තමා දකින්නට යන්නේ ඔහුව නොවන බැව් ඇයගේ යටි සිත තේරුම්ගෙන තිබුණේය. තමන් එක වර ස්ථාන දෙකක සිටින්නාක් මෙන් තීර්ෂාට දැනෙන්නට විය. ඇය එම හැඟීමට බිය වූවාය.

“එයා මොනවා හරි කියන්න හදනවා....” කවුදෝ පවසනු තීර්ෂාට ඇසිණි. සැබවින් ම ඇයට කියන්නට යමක් තිබිණි. කිව යුතු දේ දෑස් නෑරම පවසන්නට ඇය තීරණය කළාය.

“අපිට පාඩුවේ ඉන්න දෙන්න....” තීර්ෂා මිමිණුවාය.

“අපිට පාඩුවේ ඉන්න දෙන්නලු....” යමෙක් පුදුමයෙන් ඈ කී දේ ම ප්‍රතිරාව කරන විට ගැහැණියක් හඬා වැටෙන්නට විය.

“තීර්ෂා... අනේ මගේ දුවේ...” එම ගැහැණියගේ හඬ තීර්ෂා හැඳින්නාය. ඒ තමා කලින් සිහිනයෙන් දුටු ගැහැණියයි. තම දෑස් විවර කර ඈ දෙස බලන්නට තීර්ෂාගේ හදවතේ බලවත් ආසාවක් පැන නැංගේය. තේරුම්ගත නොහැකි දැඩි ඇල්මක් තම හදවතේ ඈ කෙරෙහි ඇති බැව් තීර්ෂාට දැනෙන්නට විය. ඇගේ පපුව වේගයෙන් ගැහෙන්නට විය.

“එයාගේ හදගැස්ම වැඩි වෙනවා. ඔයාගේ කටහඬට, එයා ප්‍රතිචාර දක්වනවා....” පෙර කතා කළ පිරිමි තැනැත්තා උද්‍යෝගිමත් හඬකින් කීවේය.

“එන්න... එයාට අත තියන්න...” ඔහු යම් කෙනෙකුට ආරාධනා කරන හඬ තීර්ෂාට ඇසිණි. එකෙණෙහිම යම් කිසිවෙකුගේ දෝතට ඇගේ දෙකම්මුල් මැදි විය. තීර්ෂා එම ස්පර්ශයට නතු වූවෙකු සේ ක්ෂණයකින් දෑස් විවර කළාය. ප්‍රථම වතාවට තීර්ෂා ඈව හැඳින්නාය.

“අම්මා....” තීර්ෂා මිමිණුවාය. 

“මගේ දුව...” ගැහැණිය සතුටු කඳුලු වගුරුවමින් ඈව බදාගත්තාය. තම ඇඳ වටා සිටින වෛද්‍යවරයෙක් සහ හෙදියන් කිහිප දෙනෙකු දුටු තීර්ෂා වික්ෂිප්ත වූවාය. 

“මම කොහෙද මේ ඉන්නේ ?” තීර්ෂා පුදුමයෙන් ඇසුවාය. එකෙණෙහි ම තීර්ෂාට ඔහුගේ හඬ ඇසිණි.

“තීර්ෂා... නැගිටින්න...” ඇගේ දෙසවන් තුළ දෝංකාර දෙන්නට විය. ඇගේ මවගේ රූපයත් ඇඳ වටා හුන් අයගේ රූපත් ක්ෂණයකින් බොඳ වන්නට විය. අවට තිබූ යන්ත්‍රවලින් නිකුත්වන හඬ සංඥා වෙනස් වන්නට විය.

“රුධිර පීඩනය සීඝ්‍රයෙන් පහත බහිනවා....” වෛද්‍යවරයා කලබලයෙන් පවසන හඬත් තම මවගේ දුක්බර හැඬුම් ශබ්දයත් ක්‍රමයෙන් තීර්ෂාගේ සවනින් ඈත් වන්නට විය.

“තීර්ෂා... නැගිටින්න...” තරුණයාගේ මෘදු හඬත් සමඟ තීර්ෂා දෑස් විවර කළාය.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02