දිවා සඳ (Mid Day Moon) - 04


දිවා සඳ (Mid Day Moon) - 04
[මා නිදනා විට ඔහු අවදියෙනි]

©උපුටා ගැනීම තහනම් 

“තීර්ෂා... නැගිටින්න...” ඔහුගේ හඬට අවනතව මා අවදි වූයෙමි. ඒ වන විට මා සිටියේ ඔහුගේ උකුල මතය. ඔහු මගේ හිස ඔහුගේ උකුලේ තබාගන්නට ඇත්තේ මන්දැයි මට වැටහුණේ තණගොල්ල පිනි දියෙන් පෙඟී ඇති සැටි දුටුවාට පසුය. මම සීතලෙන් දෑත් බැඳගෙන සිටගත්තේ ඔහුට ද නැගිටින්නට ඉඩ හරිමිනි.

“ඔයා මුලු රෑම මං ළඟ උන්නද ?” මා පුදුමෙන් ඇසීමි.

“අපි දෙන්නම උන්නා...” ඔහු සිනාසෙමින් අශ්වයා දෙස බලමින් කීවේය. අශ්වයා එය නොදැන උගේ පාඩුවේ තණකොල උලා කමින් සිටියේය.

“ඔයාගේ මූණ මැලවිලා...” තරුණයා මගේ මුහුණ දෙස උනන්දුවෙන් බලමින් කීවේය.

“එහෙමද ? මම අමුතු හීනයක් දැක්කා. ඒක තවමත් මගේ හිතේ හොල්මන් කරනවා...” මම දොල පහර දෙසට ඇවිදිමින් කීවෙමි. තරුණයා ද අශ්වයා අල්ලාගෙන මා පස්සෙන් ආවේය.

“මොනවද හීන කියන්නේ ?” තරුණයා පුදුමයෙන් අසන විට මා වික්ෂිප්ත වූවෙමි.

“හීන මොනවද කියලා අහන්නේ ? ඔයා හීන දන්නේ නැද්ද ?” මා පුදුමයෙන් ඇසීමි. තරුණයා කුතුහලයෙන් හිස දෙපසට සලා තමන් එය නොදන්න බව හැඟෙව්වේය. මා කුතුහලයෙන් ගල් ගැසී ඔහු දෙස බලා සිටියෙමි. හීන නොහඳුනන මොහු කුමන ආකාරයක පුද්ගලයෙක් ද ? මා කල්පනා කලෙමි.

“ඔයා... මට කවදාවත් ඔයාගේ නම කියලා නෑ...” මා ගැහෙන හදවතින් යුතුව කීවේ පළමු වතාවට ඔහු කෙරෙහි සැකයක් ඇති වූ බැවිනි.

“ඔව්. ඔයා කවදාවත් ඇහුවේ නෑනේ...” ඔහු සැහැල්ලුවෙන් සිනාසී කීවේය.

“දැන් කියන්න මට... මොකක්ද ඔයාගේ නම ?”

“තෝමස් බ්‍රයන්ට්...” ඔහු කීවේය. ප්‍රථම වතාවට ඔහුව නමින් හඳුනාගන්නට ලැබීම මගේ සිතේ ඇති කළේ ඉමහත් ප්‍රීතියකි.

“තෝමස්... බ්‍රයන්ට්...” මම ආශාවෙන් මිමිණුවෙමි. ඔහු මා දෙස බලා සිනාසුණේය. අපි දෙදෙනා එකට දොල පාර අද්දර දණ නමා වතුර බීවෙමු. මා යලිත් ඔහු දෙස බලා සෙනෙහසින් සිනාසෙන විට ඔහු දිය දෝතක් ගෙන මගේ මුහුණට දමා ගැසුවේය.

“ආ... එහෙමද ?” මම ඔහුට එක පිට එක ජල ප්‍රහාර එල්ල කළෙමි. ඉන්පසු ඇරඹුනේ ජල ක්‍රීඩාය. ඔහු මා ඇදගෙන දොල පහරට පැන්නේය. අප එහි මඳ ගැඹුරු තැනෙක පිහිනා යළි ගොඩබිමට ආවේ මහ හඬින් සිනාසෙමිනි. මා තරමට ම ඔහු ද සිටියේ ප්‍රීතියෙනි.

“ඉතින්, තීර්ෂා... මට කියලා දෙන්න හීන ගැන...” යලි ගොඩට එන අතරතුර තෝමස් ඉල්ලා සිටියේය.

“හීන කියන්නේ කියලා තේරුම් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි තෝමස්. ඒක කෙනෙකුගේ හදවත එක්ක බැඳිලා තියෙන දෙයක්...”

“මට තේරෙන්නේ නෑ...” ඔහු අවිහිංසක ලෙස කීවේය.

“ඒක අමතක කරමු...” මා එසේ කීවත් මටත් නොදැනී මුවින් සුසුමක් පිට වූයේ සිහිනයේ සිටි අම්මා සිහි වීමෙනි.

තෝමස් එදින වෙනදාට වඩා කලින් නින්දට වැටුනේය. ඒ මගේ පැල්පතේ යහන මතය. ඔහු ඕනෑවට වඩා අවදි වී සිටීම ඔහුගේ සෞඛ්‍යයට හානිදායක වේයැයි පළමු වතාවට මා බිය වූයෙමි. එදින රැය උදාවන විට මා නොනිදා සිටීමට උත්සාහ කළෙමි. තෝමස් වෙනුවෙන් මා එසේ කළ යුතුය. එහෙත් මා මත් වූ එකියක මෙන් තෝමස්ගේ පපුව මතට කඩා වැටුනෙමි. උදෑසන මා අවදිවන විටත් ඔහු මා තුරුලුකරගෙන මා දෙස බලා සිටියේය. මා ලැජ්ජාවෙන් නැගිට යන්නට උත්සාහ කරන විට තෝමස් යළි මා ඇද ඔහු ළඟට ගත්තේය. ඔහුගේ දෑස් තුළ ජනිතවන හැඟීම් දෙස නොබලා මගේ දෑස් බිමට යොමා ගත්තේ ඔහු ඒ බැල්මෙන් මා ඔහුට නතු කර ගනු ඇතැයි යන බිය නිසාය. එහෙත් ඔහුගේ ඇඟිලි තුඩු මගේ කම්මුලත් ගෙල ප්‍රදේශයත් ස්පර්ශ කරන විට මා අඩපණව ගියාක් මෙන් ඔහුගේ තුරුලට යළි වැටුනෙමි.

“තීර්ෂා....” ඔහු සෙමින් මිමිණුවේය.

“තෝමස්....” මා දෑස් වසාගෙන ඔහුගේ උණුසුමේ තව තවත් ගුලි වූයෙමි.
එක්වර ම අප දෙදෙනා තිගැස්සීමකට ලක් කරමින් පිටත හුන් කලු අශ්වයා කෑ ගසන්නට විය. තෝමස් මා සමඟ ඒ දෙසට දිව ගියේ කලබලයෙනි.

“කලූ....” තෝමස් බිම වැටී හුන් අශ්වයා ළඟ දණින් වැටෙමින් කීවේය. අශ්වයා හුස්ම ගනිමින් සිටින්නේ අපහසුවෙනි. එය දුටු මා භීතියෙන් තෝමස්ගේ උරහිස තදින් මිරිකා ගත්තෙමි.

“කලූ....” තෝමස් හැඬෙන්නට ආසන්නව මෙන් අශ්වයාගේ හිස අතගාන්නට විය. ඔහුගේ දෑසේ ටිකෙන් ටික මතුවන කඳුලු බිඳු දෙසත් අශ්වයාගේ වේදනාබර දෙනෙත් දෙසත් මා මාරුවෙන් මාරුවට බැලුවෙමි.

“එයාට මොකද වෙන්නේ ?” මා ගැහෙන හඬින් ඇසුවෙමි.

“එයා මැරෙනවා....” තෝමස් පොඩි එකෙකු මෙන් හඬමින් කීවේය. මගේ දෑස්වලින් ද කඳුලු ගලා ගියේ අශ්වයා වෙනුවෙන්දැයි තෝමස් වෙනුවෙන්දැයි මට තේරුම්ගත නොහැකි විය. විනාඩි කිහිපයකට පසු කලූ අප දමා සදහට ම යන්න ගිය අතර අප දෙදෙනා මඳ වේලාවක් ශෝක වී කලූව තීර්ෂා නිම්නයේ වළලා දැමූවෙමු. කලූගේ සොහොන මත අත තබාගෙන වැතිරී හුන් තෝමස්ගේ දෑස් ක්‍රම ක්‍රමයෙන් බරව යනු මට පෙනිණි.

“තෝමස්....” මා කතා කළෙමි. එහෙත් ඔහු නින්දට වැටී සිටියේය. දරාගත නොහැකි පාලුවකින් ප්‍රථම වතාවට මගේ හදවත වෙලී යන විට මම තෝමස් අසල වාඩි වී ඔහු දෙස බලා සිටියෙමි. හිරු රැස් එන්න එන්න ම දැඩි වන විට මා සුවඳ මල් සිය ගණනක් කඩාගෙන විත් ඒවායින් තෝමස්ව වසා දැමුවෙමි. ඒ මල් හිරු රැස්වලින් ඔහුව ආරක්ෂා කරනු ඇතැයි මා සිතුවෙමි. සන්ධ්‍යා කාලය උදා වෙද්දි තෝමස්ගේ පපුවට තුරුලු වී දෑස් වසාගෙන ඔහු අසලම වැතිරී සිටියෙමි. තෝමස් අවදි වන විට මා නින්දට වැටෙන්නට ඇත. අප පිළිගත යුතු සත්‍යය එයය. මා නිදනා විට ඔහු අවදියෙනි. ඔහු නිදනා විට මා අවදියෙනි. අප දෙදෙනා කිසිදා ආදරයෙන් නොබැඳී සිටිය යුතුව තිබිණි.

-----------------------------------------------------------------------
දින කිහිපයක් ගත වූයේ එකම ලෙසිනි. වෙනසක් සිදු වූවා නම් ඒ තෝමස්ගේ මුහුණේ දිනෙන් දින වර්ධනය වූ සුදුමැලි පැහැයයි. ඔහු යම්කිසි අසනීපයකින් පෙළෙනවා විය යුතුය. ඔහු නිදා සිටින අතරතුර ඔහු ශීතලයෙන් මෙන් කඩින් කඩ වෙවුලුවේය. දිනෙන් දින දිරාපත් වන ඔහුගේ සුන්දර මුහුණ දෙස බලමින් මා හැඬුවෙමි. කලූ මෙන් තෝමස් ද මා අතැර යනු ඇතැයි මා බිය වූයෙමි.

දිනක් මා අවදිවන විට සිටියේ තෝමස්ගේ මාලිගයේ ය. ඒ වන විටත් මාලිගාවට අඳුර උදා වී තිබූ අතර මා තුරුලුකරගෙන සිටි තෝමස් තද නින්දකට වැටී සිටියේය. මා නිදා සිටි වේලාවේ ඔහු මා රැගෙන මාලිගයට එන්නට ඇත. මම කඳුලු පිරි දෑසින් ඔහු දෙස බලා සිටියෙමි. ඔහුගේ මුහුණ පෙර තිබුණාට වඩා ප්‍රාණවත්ව ඇතැයි මට සිතුණි. විශාල ශාලාව දෙසින් සංගීතයකුත්, කාගේදෝ හඬකුත් ඇසුණු බැවින් මා කඳුලු පිසලාගෙන ඒ දෙසට ගියේ කුතුහලයෙනි. ශාලාව මැද තැටියක් වාදනය වේ. ඉන් ඇසුනේ තෝමස්ගේ හඬ සහ පියානෝ හඬකි. ඒ වන විටත් වාදනයේ බාගයක් අවසන්ව තිබූ බැවින් මට ඇසුනේ ඉතිරි අඩයි.

“....ඔයා ඒ ගැන දන්නේ නැතුව ඇති. දන්නවද ? මම ආසම පියානෝ කණ්ඩය මේකයි. මම හිතනවා ඔයත් ආස වෙයි කියලා. මම හැමදාම දවල්ට ඔයා වෙනුවෙන් වාදනය කරන්නම්. ඔයාට පුලුවන් රෑට ඒවා අහගෙන මං ළඟින් ම ඉන්න. ඒත්...., ඔයා ඒකට අකමැති නම්... එදා වගේ ම අදත්, මාලිගාවේ දොර අගුළු දාලා නෑ. ඔයාට ඕන වෙලාවක පිට වෙලා යන්න පුළුවන්....” තෝමස් එසේ කියා සුසුමක් හෙලන හඬ මට ඇසිණි. මගේ දෑස් යළි කඳුලින් බර විය. රාත්‍රියෙන් බාගයකටත් වඩා වැඩි වෙලාවක් තෝමස්ගේ වාදනය ඇසෙමින් තිබිණි. ඔහු මා වෙනුවෙන් වෙහෙස වී වාදනය කර තිබීම මගේ සිතට ඇති කළේ දුකකි. එහෙත් එම මිහිරි සංගීතය මා රස වින්දේ ආශාවෙනි. වාදනය අවසන් වූ පසු මා තෝමස් විසින් පිළියෙල කර තිබූ පලතුරු සලාදය අනුභව කරමින් යළිත් තෝමස්ගේ තැටිය මුල සිට වාදනය කරවීමි.

“තීර්ෂා.... මට මේක තවදුරටත් හංගගෙන ඉන්න බෑ. මම ඔයාට ආදරෙයි. මට ආදරය කරන්න ඉන්න එක ම කෙනා ඔයා විතරයි. ඔයා මොන ලෝකයේ ඉඳලා මගේ ජීවිතයට ආවද මම දන්නේ නෑ. ඔයා එන්න කලින් මම හැමදාමත් මේ රළු තැනිතලාවේ තනි වෙලා උන්නා. මගේ තනියට උන්නේ කලූයි මගේ පියානෝවයි විතරයි... ඒත්, එක දවසක් හදිසියේ ම ඔයා ආවා. රළු තැනිතලාවේ මොනවත් ම නැති ප්‍රදේශයෙන් ඔයාගේ අඩි සටහන් මගේ මාලිගාවට ඇවිත් තිබුණා. මාව විශ්වාස කරන්න තීර්ෂා. මම ඉස්සර කලූ එක්ක දහස් වතාවකට වඩා ඔයා ආව පැත්තට ඇවිත් තියෙනවා. ඒත්, හැමදාමත් ගව් ගාණක් ඈතට යනකල් තිබුණේ හිස් රළු භූමිය විතරයි.” තෝමස්ගේ හඬ තැටිය වාදනය වන විට මා පුදුමයෙන් අසා සිටියෙමි.

“ඔයාගේ සුවඳ මලින් පිරුනු තැනිතලාව කවදාවත් මගේ තැනිතලාවට අයිති වෙලා තිබුණු එකක් නෙවෙයි. ඔයාටත් ඒක තේරෙනවා නේද ? අඩු තරමේ අපේ ලෝක දෙකට එකවර ඉර පායන්නේවත් නෑ.” ඉන්පසු ඇති වූයේ මඳ නිහැඬියාවකි. ඒ ඔහු කල්පනා කරන නිසා විය හැක. මම දුකෙන් සුසුමක් හෙලුවෙමි.

“තීර්ෂා, මම කියන්න හදන දේ ඔයාට තේරෙනවා නේද ? ඔයාගේ තැනිතලාව කලින් එතන තිබුණේ නෑ....... ඒක එතන තියෙන්න විධියකුත් නෑ....” ඔහු සුසුමක් හෙලමින් කීවේය.

“ඔයාගේ තැනිතලාවට මම ආදරෙයි. මගේ තැනිතලාවට වඩා ඒක ගොඩක් ලස්සනයි. ඒත්..., මම ළඟදි එක දෙයක් තේරුම් ගත්තා. ඔයාගේ තැනිතලාව මාව අඩපණ කරනවා. හරියට කලූට වුනා වගේ.... සමහරවිට ඔයා ඒ ගැන දන්නේ නැතුව ඇති....”

“දෙයියනේ.....” මට කියවිණි. මම දිව ගොස් තෝමස්ව තදින් බදාගෙන ඔහු අසල වැතිරී සිටියෙමි.

“දැන් සේරම හරි යයි. ඔයා ඉන්නේ ඔයාගේ මාලිගාවෙනේ....” මම දෑස් වසාගෙන මිමිනුවෙමි. එහෙත් මගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබුණි.
මාලිගාවේ කවුලු පියන්පත් අතරින් ගලා එන හිරු කිරණ මගේ අඩවන් දෑස් අතරින් පෙනුනා මතකය. ඉර උදාවත් සමඟ අවදි වන තෝමස්ගේ උණුසුම් දෙතොල් මගේ නළලත සිපගනු මට දැනුණි. ඒත් සමඟ ම මා ඔහුගේ ලෝකයෙන් මිදුනෙමි.

“තීර්ෂා... මගේ දුවේ....” මා කොහේදෝ පාවෙමින් සිටින්නාක් බඳු හැඟීමකින් යුක්තව සිටියදී මට ඇගේ හඬ ඇසිණි. මා එම හඬ ඔස්සේ නිතැතින් ම ඇදී ගියේ කුතුහලයෙනි.

“මගේ මැණික... ඔයාට මාව ඇහෙනවා නම් එක සලකුණක් පෙන්නන්න... අනේ, එක සලකුණක්....” ඇය හඬමින් කියන අයුරු මට ඇසේ. ඇයට ‘අම්මා..’ කියා කෑ ගැසීමට මට අවැසි විය. මා ඇය ළඟ ම සිටින බව කීමට දැඩි ඕනෑකමක් මට ඇති විය. එහෙත් මගේ මුවින් හඬ පිට වූයේ නැත.

“ඔයාට මතකද අපි ඉස්සර බැල්කනියට වෙලා හඳ බලනවා. එතකොට ඔයා මෙහෙම කවියක් කියනවා...
රෑ අහසේ දිලෙනා සඳ මගෙ අම්මා නම්...
ඒ සඳ මත පිනුම් ගසන සඳ සාවී මං....” ඇය එසේ කියා ඉකිගසන්නට විය. එම කවිය ඇසෙන විට මගේ පපුව රිදුම් දෙන්නාක් මෙන් මට දැනිණි. රිදුම් දෙන පපුව අල්ලාගන්නට උත්සාහ කළත් මගේ අත හෝ පපුව ඇත්තේ කොහිදැයි කියා මට දැනුණේ නැත. මම යලි වතාවක් අම්මාට කතා කිරීමට උත්සාහ කළෙමි. එම තැත නිශ්ඵල වන විට මට කෑ ගසා හඬන්නට තරම් දුකක් දැනිණි. ඒ සමඟ ම මා අවදිවන්නට ඇත.
මා අවදි වී බලන විට තෝමස් සුපුරුදු පරිදි මා තුරුලුකරගෙන සිටියේය. එහෙත් පුදුමයට කරුණ නම් ඔහු ද අවදි වී සිටීමය.

“ඔයා නැගිට්ටා....” තෝමස් සිනාසී කීවේය.

“ඔයත් නැගිටලා....” මම පුදුමයෙන් කීවෙමි.

“සමහරවිට තව ටිකකින් මට නිදි මත හැදෙයි. කොහොම වුනත්, ඔයාගේ තැනිතලාවේ ඉන්නවාට වඩා මෙහෙදි මම ශක්තිමත්. ඒ නිසා මම මට පුලුවන් උපරිම වෙලාවක් ඔයා එක්ක ඇහැරිලා ඉන්නම්.....” ඔහු එසේ කියා මගේ මුහුණ දෙස බලාගෙන මගේ කෙහෙරැලි අතරින් ඔහුගේ ඇඟිලි තුඩු යැවීය. අප දෙදෙනා අවදිව සිටිනු දෙදෙනා දුටුවේ බෝ කලකට වූ පසු බැවින්දෝ කියාගත නොහැකි ප්‍රීතියකින් අපි දෙදෙනා ම උද්දාමයට පත්ව සිටියහ. ආදරෙන් පිරි ඔහුගේ දෑස් දෙස මම සෙනෙහසින් බලා සිටියෙමි. ටික වෙලාවකින් ඔහු ළංවී මගේ තොල් සිපගත්තේය. මම හුස්ම ගන්නටත් අමතකව ඔහුව තදින් බදාගත්තෙමි. ටික වෙලාවකින් ඔහු මගේ තොල්වලින් ඈත්ව මගේ දෑස් දෙස බැලුවේය. මා සිටින්නේ ගැහෙමින් බව ඔහුටත් තේරුණාදෝ ඔහු මුහුණට නැගුණු මනමාල සිනහව යටපත් කරගෙන හොරැහින් මා දෙස බැලුවේය.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02