දිවා සඳ (Mid Day Moon) - 05



දිවා සඳ (Mid Day Moon) - 05
[මා නිදනා විට ඔහු අවදියෙනි]

©උපුටා ගැනීම තහනම් 

“ඔයා හිතුවේ මේක පළවෙනි වතාව කියලද ?” ඔහු අසන විට මා දෑස් විසල් කර ඔහු දෙස බැලුවෙමි. එය දුටු ඔහු සිනාසෙන්නට විය. 

“ඔයා නම් මහා හොරෙක්. මම නිදාගෙන ඉන්න ඇසිල්ලේ ඔයා මට තව මොන මොනවා කළාද දන්නේ නෑ....” මම නෝක්කාඩුවෙන් ඔහුව තල්ලු කරන ගමන් කීවෙමි.

“වෙන මොනවා කරන්නද ?” ඔහු පුදුමයෙන් මෙන් ඇසුවේය. ඔහුගේ මුහුණේ තිබූ කුතුහලය මගේ මනස අවුල් කරවන්නට සමත් විය.

“වෙන...? මොකුත් නෑ....” මම අපහසුතාවයට පත්ව කීවෙමි.

“එහෙනම් එහෙම කිව්වේ ඇයි ? මම නොදන්න දෙයක් ඔයා දන්නවද ?” ඔහු ඇසූ පැණයෙන් මගේ හද ගැස්ම වැඩි විය.

“එහෙම දෙයක් නෑ...”

“නෑ, ඔයා මගෙන් මොනවා හරි දෙයක් හංගනවා...”

“තෝමස්... පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙපා... ඔයා දන්නවා මම අදහස් කරපු දේ...” මම තරහෙන් කීමි.

“මම දන්නේ නෑ. මට කියන්න....” ඔහු පොඩි එකෙකු මෙන් ඇවිටිලි කරන්නට වූ අයුරු මගේ මනස තවත් කළඹවන්නට සමත් විය.

“තෝමස්....” මම කේන්තියෙන් කෑ ගැසුවෙමි. ඔහු නිශ්ශබ්දව පුදුමයෙන් මා දෙස බලා සිටියේය. ඉන්පසු දුකෙන් බිම බලාගත් ඔහු කාමරයෙන් පිටතට ගියේය. මම අවුල් වී ගිය හිසෙන් යුතුව කල්පනා කරන්නට වීමි. තීර්ෂා නිම්නයත්, තෝමස්ගේ මාලිගයත් මට ඉමහත් අවුල් ජාලාවකි. දැන් දැන් තෝමස්ගේ ද යම් යම් පැටලිලිසහගත තැන් ඇති බැව් මට පෙනේ. එහෙත්, ඒ මා ආදරය කරන තරුණයා ය.

සුලු මොහොතක් ගත වූ පසු මා තෝමස් සොයා ගියෙමි. මා යන විට ඔහු මිදුලේ කිරි ගරුඬ ගැහැණු ප්‍රතිමාව දෙස බලා සිටියේය. මා එනු දුටු ඔහු මා දෙස බැල්මක් හෙලා යලි ප්‍රතිමාව දෙස බැලුවේය. මම ද කිසිවක් නොකියා එම සුන්දර නමුත් නග්න ස්ත්‍රියගේ මූර්තිය දෙස බලා සිටියෙමි.

“ඒක ලස්සනයි...” මා කීවෙමි. එහෙත් ඔහු ඈ දෙස බලා සිටීම මගේ සිතට ඇති කළේ ඊර්ෂ්‍යාවකි. ඔහු මා දෙස බලා යන්තම් සිනාසුනේය.

“මේ ලෝකේ තියෙන ලස්සන ම දේ ඔයා...” ඔහු කී විට මා ගොළු වීමි. ගැහැණියකට එතරම් ආදරය කරන්නට පිරිමියෙකුට හැකිද ? මා සෙනෙහසින් ඔහුට තුරුලු වී දෑස් වසාගතිමි.

“තීර්ෂා.... ඇයි මට දැනෙන්නේ අපේ බැඳීම තවමත් අසම්පූර්ණයි කියලා....?” සුලු මොහොතකට පසු තෝමස් ඇසූ පැණයෙන් මා යළි අවුල්ව ගිය මනසින් යුතුව ඔහු දෙස බලා සිටියෙමි.

“තෝමස්, අපි දෙන්නම දන්නවා අපේ බැඳීම තවම සම්පූර්ණ නැති බව....” මා කුතුහලයෙන් යුතුව කීවෙමි.

“ඒක ඔයාටත් දැනෙනවද ? ඔයා හරියට ඒක ගැන මටත් වඩා දන්නවා වගේ. මට කියන්න, අපේ බැඳීම සම්පූර්ණ කරන්න මම මොනවද කරන්න ඕනා...?” ඔහු පුදුමයෙන් ඇසුවේය.

“ඔයා... මාව විවාහ කරගන්න ඕනා....” මා පුදුමයෙන් කීමි.

“විවාහය කියන්නේ මොකක්ද ?” තෝමස් පුදුමයෙන් අසන විට මා යළි අවුල් වූයෙමි.

තෝමස් බ්‍රයන්ට්.... ඔහු සදාකල්ම මේ නිම්නයේ තනිව විසුවා නම් ? ඔහුට මුණගැසුනු එක ම මනුෂ්‍ය ස්ත්‍රිය මම නම් ? ගැහැණියක සහ පිරිමියෙකු අතරේ ඇති විය හැකි බැඳීම ගැන ඔහු නොදන්නවා විය හැක. එහෙත් මට ඇත්තේ එක් පැණයකි. ඔහු නොදන්නා දේ මා දන්නේ කෙසේද ? මා පුදුමයෙන් මොහොතක් කල්පනා කළෙමි.

“තීර්ෂා....” ඔහු මා නිහඬව සිටීම පිළිබඳව කුතුහලයෙන් මෙන් කීවේය.

“තෝමස්....” මම ඔහුගේ දෑස් දෙස බලා කීවෙමි.

“මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා. ලොකූ වැරැද්දක්...” මා ගැහෙන හඬින් කී විට ඔහු නළල රැලි කරගත්තේය.

“මොන වරදක්ද ? තීර්ෂා.... මොකක්ද වැරැද්ද ?” ඔහු භීතියෙන් මෙන් ඇසුවේය.

“අනේ මන්දා... මට එක වෙලාවකට හිතෙනවා මේ සේරම හීනයක්ද කියලා....” මම දෑත ඔලුවේ තබාගෙන නොඉවසිල්ලෙන් එහෙට මෙහෙට ඇවිදිමින් කීවෙමි.

“තීර්ෂා... ඔයා හොඳින්ද ?” තෝමස් ඇසූ පැණයට මා පිළිතුරක් නොදුන්නෙමි. මම ඉන්නේ හොඳින් නොවේ. මට ඒ බව ඔහුට කියන්නට සිත් නොදේ. මම හිස ඔසවා තෝමස්ගේ අහසේ පායා ඇති සඳ දෙස බැලුවෙමි. ඒ සඳේ සාවෙක් සිටිය යුතුය. එහෙත් මට සාවෙකු නොපෙනේ.

“ඔයාගේ හඳේ... හාවා පේන්නේ නැත්තේ ඇයි ?” මම පුදුමයෙන් ඇසුවෙමි. තෝමස් නළල රැලිගන්වා මා දෙස බලා පුදුමයෙන් සඳ දෙස බැලුවේය.

“හඳේ හාවෙක් ඉන්නේ කොහොමද ? හඳ ගොඩක් පුංචියිනේ...” ඔහු කීවේය.

“ඔව්... නෑ... මං කියන්නේ. හඳේ හාවෙක්ට ඉන්න බැරි එක ඇත්ත. හාවෙක් වගේ පේන්නේ හඳේ ආවාට. ඒත්, හඳ පුංචි නෑ. ඒක ගොඩක් ලොකුයි. මොකද හඳ කියන්නේ... හඳ කියන්නේ... අපේ උපග්‍රහයා...” මා අවසන් වැකිය කීවේ මවිතයෙනි. මා මේ දන්නා දේවල් මින් පෙර මට සිහි නොවුනේ මන්ද ?

“උපග්‍රහයා ? ඔයා මොනවද මේ කියන්නේ ? තිර්ෂා... ඔයා අද අමුතුයි. ඔයා කියන සමහර වචන මම දන්නේවත් නෑ...” තෝමස් පවසන විට මා හිස තදින් බදාගතිමි.

“කව්ද ඔයාට මේ අපබ්‍රංස කියලා දුන්නේ ?” තෝමස් යළි පුදුමයෙන් මෙන් ඇසුවේය.

“අම්මා... අම්මා තමයි කියලා දුන්නේ...” මම පුදුමයෙන් ඔහු දෙස බලා කීවෙමි. තෝමස් ගල් ගැසී බලා සිටින විට මගේ දෑසින් කඳුලු කැට කිහිපයක් බිමට වැටිණි. ඒත් සමඟ ම භූමියේ මඳ සෙලවීමක් ඇති වී නැති වී යනු මට දැනිණි.

“ඒ මොකක්ද වුනේ ?” තෝමස් පුදුමයෙන් ඇසුවේය. මා කිසිවක් නොකීවෙමි. මගේ හදවතට දැඩි වේදනාවක් දැනෙමින් තිබූ අතර දෑසින් ගලන කඳුලු නවතාගත නොහැකි විය.

“තීර්ෂා... ඔයා අඬනවා...” තෝමස් පැමිණ මා බදාගත්තේය. මා වචනයකුදු නොකියා ඔහුගේ ලමැදට හිස තබාගෙන හැඬුවෙමි.

“මං මේක කියන්නවත් කැමති නෑ... ඒත්... මට අමුතු හැඟීමක් දැනෙනවා. හරියට... මට ඔයාව අහිමි වෙන්න යනවා වගේ...” තෝමස් එය කියන විට ඔහුගේ කටහඬ වෙවුලනු මට දැනිණි.

“අම්මා....” මම හඬමින් කීවෙමි.

“අම්මා ?” තෝමස් පුදුමයෙන් කීවේය.

“මට එයා ළඟට යන්න ඕනා...” මම අඬමින් කීවෙමි.

“හොඳයි... එයා ඉන්න තැන කියන්න. මම ඔයාව එයා ළඟට අරගෙන යන්නම්....” තෝමස් කීවේය.

“ඔයාට බෑ....” මා ඔහුගේ තුරුලෙන් මෑත් වෙමින් කීවෙමි.

“ඇයි බැරි...?”

“මොකද... ඔයා... එහෙට අයිති නැති නිසා...

“එහෙට කිව්වේ ? කොහෙටද ?” තෝමස් පුදුමයෙන් මගේ මූණ දෙස බලා ඇසුවේය.

“අම්මා ඉන්න ලෝකෙට...” මා කී විට ඔහු නළල රැලි කරගත්තේය.

“මගේ ලෝකෙට....” මා එසේ පවසන විට යළි මගේ මුවින් ඉකියක් පිට විය. ඒත් සමඟම පොළව වේගයෙන් දෙදරන්නට විය. මගේ ශරීරයට අමුත්තක් දැනුනෙන් මා ඇද වැටෙන්නට ගිය අතර තෝමස් පැන මා අල්ලා ගත්තේය.

“තීර්ෂා....” ඔහුගේ කඳුලු ගලන සුන්දර දෑස් යුගල මගේ දෑස් අතර බොඳ වන්නට විය. ඔහුගේ උණුසුම කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් වන්නට විය.

“තෝමස්....” මගේ දෑසින් ගලා යන උණු කඳුලු වල පහස මට කවරදාටවත් වඩා හොඳින් දැනිණි.

“තීර්ෂා....” මගේ දෑස් පියවී සියල්ල අඳුරු වන විට ඔහුගේ හඬ වෙනත් ලොවකින් ඇසෙන්නාක් මෙන් මගෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වන්නට විය.

“තීර්ෂා....” අවසන් වතාවට ඔහු වේදනාත්මකව නැගූ හඬ මට මතකය.
මගේ දෑසින් තවත් උණුසුම් කඳුලු ගුලියක් ගලා යන විට මා අවදි වූයෙමි.

“මගේ දුව.....” අම්මා මා බදාගෙන සතුටු කඳුලු වගුරුවන විට මම ඉකි ගසමින් හැඬුවේ ඉවසාගත නොහෙන වේදනාවෙනි.

තෝමස්..... ඔහු මගේ සිහිනයයි.... මක්නිසාද මාස එකහමාරක කෝමා වීමකින් අනතුරුව මා දැන් සැබෑවට ම අවදි වී සිටින බැවිනි. සිහිනයත් සැබෑවත් අතර වෙනස මා දැන් හඳුනමි. තෝමස් බ්‍රයන්ට්..... ඔහු සිහිනයක් යැයි කිව හැක්කේ කාටද ? ඔහු එතරම් සැබෑ ලෙස මට දැනුන බව සත්‍යයකි. තෝමස් යළි කිසි දිනෙක මගේ සිහිනයට පැමිනියේ නැත. එබැවින්දෝ මා යනෙන හැම මාවතක ම, මුණ ගැසෙන සැම දෑසක් තුල ම මා ඔහුව සොයමින් සිටියෙමි. එහෙත්, සිහින යනු හුදෙක් සිහින පමණක්ම ය. මා පිළිගත යුතු සත්‍යය එයයි. ඔබ පිළිගත යුතු සත්‍යය ද එයමය.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02