දිවා සඳ (Mid Day Moon) - 06



දිවා සඳ (Mid Day Moon) - 06
[මා නිදනා විට ඔහු අවදියෙනි]

©උපුටා ගැනීම තහනම් 
-----------------------------------------------------
මසකට පසු....
==============================
“ටී. බී.” යනුවෙන් රිදී පාට විශාල අකුරු දෙකක් සවි කළ තට්ටු පහළවකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිටින රූපවාහිනී නිවේදක නිවේදිකාවන් කිහිප දෙනෙක් සහ කැමරාකරුවන් කීප දෙනෙකි. ඒ අතරින් එක් නිවේදිකාවක් තම වැඩසටහන කාටත් කලින් ආරම්භ කළාය.

“තෝමස් බ්රයන්ට්... කඩවසම් විද්යාඥයා. ඔහුව වඩාත් ප්රසිද්ධ සිහින නොදකින මිනිසා ලෙසයි. එයට හේතුව තෝමස්ගේ මව ඔහුව කුස දරා සිටි කාලයේ මුහුණ දුන් රිය අනතුරකින් තෝමස්ගේ මොලයට සිදු වූ හානියයි. එම හානිය නිසා ඔහුගේ ජීවිතයේ කිසි දිනෙක ඔහු නිදි චක්රයේ පස්වෙනි අවධිය හෙවත් REM නින්ද අත්දැක නැත. වසර තුනකට පෙර ඔහු මාධ්ය හමුවක දී කියා සිටියේ ඔහුගේ එකම සිහිනය සිහින දැකීම බව. ඔහු පසුගිය වසරේ තමාගේ ම පරීක්ෂණයක අත්හදා බැලීමකට මුහුණ දෙනවා. ඒ ඔහු කිසිදා අත්නොවිඳි REM නින්ද ලබාගැනීම සඳහා දියත් කළ පරීක්ෂණයයි. එහිදී ඔහු සාර්ථක වන නමුත් අවාසනාවන්ත ලෙස ඔහු එම නින්දෙන් අවධි වන්නේ නෑ. නමුත් පසුගිය මස ඔහු හදිසියේ ම එම නින්දෙන් අවධි වෙනවා. එම සිදුවීමෙන් පසු අද ඔහු ප්රථම වතාවට මාධ්යයට කතා කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා..... අන්න ඔහු එනවා...” නිවේදිකාව හදිසියෙන් ඉදිරියට යන විට කැමරුකරුද විගසින් ඈ පසුපස යන්නට විය. ඉතා ඉක්මණින් කැමරාකරුගේ කාචයට කඩවසම් තෝමස්ගේ රුව හසු විය.

“සර්... ඔබතුමාගේ පරීක්ෂණය සාර්ථක වුනාද...?”

“තෝමස් මහත්මයා... ඔබ REM නිද්රා අවධියේ සිටි කාලය ගැන අපට කියන්න පුළුවන්ද ?”

“නැවත මෙවැනි භයානක අත්හදාබැලීම් කරන්නට ඔබ සිතනවාද ?”

“ඔබතුමා නිද්රා වී සිටි කාලයේදී එක් සිහිනයක් හෝ දුටුවාද ?” ආදී අතොරක් නැති ප්රශ්න නගමින් නිවේදක නිවේදිකාවන් තෝමස්ව වට කර ගත්හ.

“ඔව්..., මම හීනයක් දැක්කා... ඒත්, ඒ හීනය තුළ මම හිර වුනා....” තෝමස් තම හඬ අවදි කළේය.

“ඔබතුමා කොහොමද එයින් ගැලවුනේ ? අපිට ඒ ගැන කියන්න පුළුවන්ද ?” එක් නිවේදකයෙකු ඇසුවේය.

“අනිවාර්යයෙන් ම...” තෝමස් කීවේය.

“හදිසියේ ම මගේ හීනයට දිවා සඳක් ආවා. ඒ හඳ තමයි මට සිහින ලෝකයෙන් එළියට එන්න පාර කිව්වේ...” තෝමස් ශෝකී හඬින් කීවේය.

“තීර්ෂා... ඒක හීනයක් විතරක් ම බව විශ්වාස කරන්න මට සෑහෙන්න කාලයක් ගත වෙයි....” ඔහු තව දුරටත් කීවේ දුක්බර වෙවුලන හඬිනි.

------------------------------------------------------------------
තීර්ෂාගේ මතකයෙන් පීඩාවට පත් තෝමස් දින කිහිපයක නිවාඩුවක් ගැනීමට තීරණය කළේය. ඔහු ඒ සඳහා තෝරා ගත්තේ මේපල් ගස් සුලභ වූ සුන්දර ගම්මානයකි. එහිදී දිනක් තෝමස් උදෑසන ඇඟ උණුසුම් කරගැනීම පිණිස දුවමින් සිටියේය. එක් තැනක දී ඔහු පුදුමයෙන් නතර වී ගල් ගැසුනාක් මෙන් බලා සිටියේය.

“කලූ....” ඔහු කීවේය. මේපල් ගසක බැඳ සිටි අශ්වයා සුපුරුදු කෙනෙකු දුටු කලෙක මෙන් හේෂාරාවය කරමින් ඉදිරිපස දෙපා ඉහලට ඔසවා දඟලන්නට වූයේය.

“හෙදර්... කට වහනවා...” මහලු මිනිසෙකු පැමිණ අශ්වයා නිශ්චල කරන්නට උත්සාහ කළත් අශ්වයා නිශ්චල වූයේ නැත.

“කලූ...” තෝමස් අශ්වයා අසලට ගොස් උගේ ඇඟට අත තබා සන්සුන් කළේ කඳුලු පිරි දෑසින් යුතුවය.

“එහ්... මහත්තයා... ඔයා කව්ද ? මොකක්ද මගේ අශ්වයා එක්ක තියෙන ගනුදෙනුව ?” මහලු මිනිසා පුදුමයෙන් ඇසුවේය.

“සමාවෙන්න... මම හිතුවේ මේ මගේ අශ්වයා කියලා...” තෝමස් කඳුලු පිරි දෑස් මහලු මිනිසාගෙන් සඟවමින් කීවේය.

“පිස්සුද මහත්තයා... මූ කොහොමද මහත්තයාගේ වෙන්නේ
? අවුරුද්දක් විතර පැත්ත වැටිලා සිහියක්පතක් නැතිව හිටපු මූව බොහොම අමාරුවෙන් ගොඩ ගත්තේ...” මහලු මිනිසා කී දේ අසා තෝමස් පුදුම විය. ඔහු එතැනින් පිටව යන විට අශ්වයා යළි නොසන්සුන්ව කෑ ගසන්නටත් දඟලන්නටත් විය.

පසුදින මහලු මිනිසා සොයා පැමිණි තෝමස් අශ්වයා මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය.

“පිස්සුද මහත්තයා ? මම මූව විකුණන්නේ නෑ....” මහලු මිනිසා අකමැති විය.

“ඉල්ලන ඕනම ගාණක් දෙන්නම්.... මට අශ්වයා දෙන්න...” තෝමස් කී දේ අසා මහලු මිනිසාගේ ඇස් උඩ ගියේය.

තෝමස් විශාල මුදලක් දී අශ්වයා මිලට ගත්තේය. එම අශ්වයා තම සිහිනයේ සිටි අශ්වයාම යැයි ඔහුගේ සිත කීවේ ඌ සැම අතින් ම කලූට සමාන වූ බැවිනි. අශ්වයා ප්රතිචාර දැක්වූයේ ද "කලූ" කියන නමට මිස "හෙදර්" කියන නමට නොවේ.

“කලූ... ඔයා හිතන්නේ තීර්ෂාත් ඇත්තටම කොහේ හරි ඉන්නවා කියලද ?” එදින සවස අශ්වයා අසලට වී තම ගිටාරය වාදනා කරමින් උන් තෝමස් කල්පනාභරිතව කීවේය. අශ්වයා එහි තේරුමක් නොදැන මෙන් සැනසිල්ලේ බිම වූ තණ උලා කෑවේය.

පසුදින තෝමස් දුරකථනයෙන් තම මිතුරු එෆ් බී අයි නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වූයේය.

“නම තීර්ෂා කියලා විතරයි මම දන්නේ. එයා ගොඩක් ලස්සනයි. ඝණ ඇහි පිහාටු, හීනි ඇහි බැම, උරහිසෙන් ටිකක් පහලට වැටෙන කැරලි කොණ්ඩය, රෝස පාට කම්මුල්.... එයා කෝමා වෙලා උන්න කෙනෙක් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. සමහරවිට මාසයකට විතර කලින් කෝමා එකකින් නැගිට්ටා වෙන්නත් පුලුවන්. ඒත් ඒක අනුමානයක් විතරයි..." තෝමස් එය කීවේ බිඳුණු හඬෙනි.

"උඹට හොඳට ම විශ්වාසද එයා ඇත්ත ම කෙනෙක් කියලා ? මම දන්න තරමින් කෝමා වුන අය හීන දකින්නේ නෑ." තෝමස්ගේ මිතුරා කීවේය.

"ඇත්ත. ඒත්, කෝමා වුන අයට පුලුවන් මේ ලෝකයට ඔබ්බෙන් තියෙන මානයන්ට ඇතුල් වෙන්න. සමහරවිට මම උන්නේ එහෙම තැනක වෙන්න පුලුවන්. තීර්ෂා උන්නෙත් එහෙම තැනක නම් ? එයා හදිසියේ කෝමා තත්වයකට පත් වෙලා මගේ මානයට ඇතුල් වුනා වෙන්න පුලුවන්. එයා උන්නේ සිහිය එමින් යමින් තිබුණු අවස්ථාවක වෙන්න පුලුවන්. එයා සැරින් සැරේ නින්දට වැටුනේ ඒකයි. මම REM නින්දේ ඉද්දි සැරින් සැරේ NREM නිද්රා අවධියට පත් වුන අවස්ථා රෙකෝඩ් වෙලා තිබුණා. මම එහෙදි නින්දට වැටද්දි මෙහෙදි ඒ තත්වය ඇති වුනා කියලා මම විශ්වාස කරනවා."

"ඔය සේරම අනුමාන විතරයි තෝමස්. ඒ නිසා ඕනාවට වඩා බලාපොරොත්තු ඇති කරගන්නෙපා.. හැබැයි එක දෙයක්, උඹ හැඩහුරුකම හරියට ම කියන නිසා එහෙම කෙනෙක් ඇත්තට ම ඉන්නවා නම් ස්කෙච් කරලා හොයාගන්න පුළුවන්.... ” තම මිතුරා කී දේ අසා තෝමස්ගේ මුහුණ සිනහවකින් ආලෝකමත් විය.

“අනිවාර්යයෙන් ම, ඒක තමයි කරන්න ඕනා. මම දැන්ම එන්නම්...” තෝමස් ප්රීතියෙන් කීවේය.

-----------------------------------------
[වසරකට පසු]

මම තීර්ෂා. පුළුවන් නම් ඔබ මා විශ්වාස කරන්න. සමහර හීන හීනයක් ම වී තිබිය යුතු නමුත් සමහර හීන අනිවාර්යයෙන් ම සැබෑවක් විය යුතුව තිබේ. තෝමස් බ්රයන්ට්.... මගේ ආදරණීය ස්වාමි පුරුෂයා..... ඔහු මා සොයා පැමිණි දිනය තරම් මා සංවේදී වූ, මා ප්රීතිමත් වූ දිනයක් තවත් නැති තරම්. අද ඔහු මා නිදන යහනේ මගේ පසෙකින් නිදාගෙන ඉන්නේ බොහෝ විට තවත් සිහිනයක් දකිමින් විය හැකියි. මා මෙන් ම ඔහු ද සිහිනයෙන් තවමත් තීර්ෂා නිම්නයත් රලු නිම්නයත් දකියි. සිහිනයෙන් මා ඔහු මුණ ගැසෙන්නට නම් මා ද නින්දට යා යුතුය. මා තෝමස්ගේ ළයට තුරුලුව දෑස් වසා ගතිමි.

“තීර්ෂා....” ඔහුගේ හඬින් මා දෑස් විවර කළෙමි. මා තවමත් සිටින්නේ ඔහුගේ ළමැදට තුරුලුවය. තීර්ෂා නිම්නය හරහා හමා එන සුලඟේ මුසු වූ මල් සුවඳත්, තණගොල්ලේ පිනි බිඳුවල පහසත් මගේ ගතට දැනේ.

නිමි....
================================

සැ : යු : REM අවධියේදී තරම් හොඳින් නොපෙනුනත්
NREM අවධියේ දී ද සිහින පෙනේ. 😁😁

[දිවා සඳට ආදරය කළ, මට ශක්තියක් වූ ඔබ සැමට ස්තූතියි  ]

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02