ඔහුගේ ආදර කතාව


....ඔහුගේ ආදර කතාව....
💓💙💚💛💜❤💛💚💙💓
Related image

ඔහු කවුද ? කාට හැකි වේවිද පැහැදිලි කරන්න. ආරම්භයත් අවසානයත් ඔහු නම්, සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නට යන්නාවූ තැනැත්තා ඔහු නම් එය කෙබඳු අභිරහසක්ද ? සැබවින්ම "ඔහු" අභිරහසකි. නමුත් එක් දෙයක් ඉඳුරා කියමි. ඔහුගේ සෙනෙහසට සම කළ හැක්කක් කලින් තිබුනේවත් මතු පවතින්නේවත් නැත. ආදරය උල්පතක් නම් ඒ උල්පත ඔහුගේ හදවතය. කොන්දේසි විරහිතව ඒ උල්පත් ජලයෙන් සැනසෙන්නට ඔහු අපිට ඉඩ දී ඇත. ඔහුට අවශ්‍ය වන්නේ සීමා රහිතව ගලනා ඒ සෙනෙහස අප සමඟ බෙදා ගන්නටයි.

ආරම්භය දෙසට මඳක් හැරෙමු. ඔහු සිටියේ සියල්ලේම ආරම්භයටත් කලිනුයි. ඔහු තීරණය කරනවා මේ සියල්ලක්ම ආරම්භ කරන්න. එනම් ලුසිෆර් ඇතුළු අනෙක් සියළුම දේව දූතයන් සහ මේ ලෝකයත් ඔහුගේ අවසන් උසස්ම නිර්මාණය වන මනුෂ්‍යයාත් නිර්මාණය කරන්න ඔහු තීරණය කරනවා. නමුත්... එක් ප්‍රශ්නයක්... එක විශාල ප්‍රශ්නයක් පැන නැගෙනවා. ඔහුට තිබෙනවා එක් විශේෂ හැකියාවක්. ඔහු "සියල්ල දන්නවා". ඔහු අනාගතය දන්නවා. ඔහුගේ පළමු මැවිල්ල වන ලුසිෆර් මතු දිනයක ඔහුට විරුද්ධව නැගී සිටින්නට යනවා. ඔහුගේ රාජ්‍යයේ තුනෙන් එකක දේව දූතයන් ලුසිෆර් සමඟ එකතු වෙනවා. ඔවුන් සියළු දෙනාම එකතු වෙලා ඔහුගේ උසස්ම නිර්මාණය වන මනුෂ්‍යයන්ව නාස්ති කිරීම උදෙසා ඔවුන්ව පාපයට පොළඹනවා. ඔහු වඩාත්ම ආදරය කරන දෙය ඔහුගෙන් ඈත් කරන්නට තිබෙන එකම ආයුධය පාපයයි. මක්නිසාද යත් ලුසිෆර් දැන උන්නා පාපය සමඟ කිසි ගනුදෙනුවක් කිරීමට හැකියාවක් මේ නිර්මාණකරුවාට නැති බව. ඔහු ශුද්ධකමින් මහිමයට පැමිනුනාවූ සියල්ලට ඉහලින් බලය ඇති ඥානයෙන් පූර්ණ වුනාවූ පුද්ගලයෙක්. ඔහුට ප්‍රීතිය, කෝපය, වගේම දුකත් දැනෙන බව ලුසිෆර් දැන උන්නා. ඔහුට රිදවිය හැකි හොඳම ක්‍රමය ඔහු වඩාත්ම ආදරය කරන මනුෂ්‍යයාව පාපයෙන් සහ රැවටීමෙන් වසා දමා ඔහුට ළං විය නොහැකි සේ ඔහුගෙන් බොහෝ දුරකට ඈත් කිරීමයි.

ඔහු දැක්කා මේ සියල්ල. ඔහු දැක්කා තමන්ගේ දරුවන් (ලුසිෆර් සමඟ එක් වූ දූතයන් හා මනුෂ්‍යයන්) තමන්ට ළං විය නොහැකි තරම් පාපිශ්ටයන් වන හැටි. ඔහු දැක්කා තමන් බොහොම ලස්සනට අංග සම්පූර්ණව නිර්මාණය කරන පොළව මනුෂ්‍යයා අතින් "සාතන්" එනම් ලුසිෆර් තම ආධිපත්‍යය යටතට ගන්න හැටි. නමුත්... මේ සියල්ල අතරින් ඔහුට පෙනෙනවා තවත් සුවිශේෂී වූ කාරණාවක්. ඔහුට හැකියාව තිබුනත් මේ සියල්ල නිර්මාණය නොකර ඉන්න, අර කී විශේෂ කාරණාව එය අභිබවා ඉස්මතු වෙනවා. එය නම් මේ තරම් කාරණාවල් සිදුවීමෙන් පසුත් සමහර දෙනෙක්ගේ හදවත් බොහොම පිරිසිදුව පවතිනවා. සාතන් පොළව අයිති කරගෙන අවුරුදු දහසක්, දෙදහසක්, තුන්දහසක් ගියත් මෙවැනි පිරිසිදු හදවත් ඇත්තන් පොළව මත ඉන්නට යනවා. සමහරවිට සියයක් අතරින් කෙනෙක්, දහසක් අතරින් කෙනෙක් වන්නට පුළුවන්. ඔවුන් පාපය අතරින් ධර්මිශ්ඨකම වෙන් කරගත්, රැවටීමේ අන්ධකාරය තුලින් සත්‍යයේ ආලෝකය දකින්නාවූ තම පියාණන් හැටියට තමාගේ සැබෑ නිමැවුකරු හඳුනාගන්නාවූ අය වෙති.
-------------------------------------------------------------------------------------
එතැන් සිට සියල්ල ආරම්භ වන්නේ ඔවුන් උදෙසාය. ආරම්භයට ප්‍රථම මේ නිමැවුම්කරුවා සම්පූර්ණ අනාගතය එක් පොතක ගොනු කරනවා. ඉන් පසු එම පොත කොටස් හතකට වෙන් කර ඔහු සීල් සතකින් මුද්‍රා කරනවා. එම පොතේ ඇති දේවල් වලට නියමිත කාලය එළඹෙන විට ඔහු සීල් එකින් එක කඩනවා. ශුද්ධවූ බයිබලයේ එළිදරව් පොතේ සඳහන් සීල් හත මේ මුද්‍රා හතයි. ඔහු පොළව මවන විටත්, මනුෂ්‍යයාට පළමු හුස්ම පිඹින විටත් දන්නවා ඔහුව තෝරගන්නෙත්, ප්‍රතික්ෂේප කරන්නෙත් කවුද යන වග. නමුත් සියල්ල මවනු ලැබුවේ මෙතුමන්ට ප්‍රේම කරන්නන් උදෙසාම මිසක් අන් කිසිවක් වෙනුවෙන් නොවේ. මතු දිනෙක එතුමන් සමඟ සදාකාලික ජීවනය භුක්ති විඳින්නෝ මොවුන් වෙත් අන් සියල්ලෝ ගිනි විලෙහි සදාකාලික මරණ වේදනාවට හසු වෙති.

සත් වෙනි මුද්‍රාව කැඩීමෙන් පසු ලෝකයම ගින්නෙන් විනාශ වේ. බොහෝ දෙනා පවසන අන්දමට පළමු මුද්‍රා පහ දැනටමත් විවෘත කර අවසන්ය. මෙම නිර්මාණකරුවා තවමත් බලා සිටින්නේ තම මුලා වූ දරුවන් සිත් හරවාගෙන තමන් ළඟට එන තුරුයි. එබඳු දරුවන් උදෙසා ලිවුවෙමි. 

(
මාර්ගය තවම විවෘතය... කරුණාවේ දොරටුව වැසෙන්නට ආසන්නය... සවන් ඇත්තෝ සවන් දෙත්වා...)


Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02